Home » මම ආදරේ කළ කෙනා මට ආදරේ කළේ නෑ මට ආදරේ කරපු කෙනාට මං ආදරේ කළේ නෑ

මම ආදරේ කළ කෙනා මට ආදරේ කළේ නෑ මට ආදරේ කරපු කෙනාට මං ආදරේ කළේ නෑ

by sachintha
November 4, 2023 12:30 am 0 comment

අම්මා තමයි අදටත් හෙවණැල්ල වගේ මා එක්ක ඉන්නෙ 

කැමරාව මට ආධුනික වුණේ නෑ ඒ නිසා බයක් හිතුණෙත් නෑ

හර්ෂ උඩකන්දගේ ‘ලොක්කි‘ ටෙලි නිර්මාණය මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නිර්මාණයකි. එහි කල්පගේ නෑනා ලෙස රඟමින් කල්පගේ අයිතිය ලබාගන්නට වෙහෙසෙන මලිතිගේ රුව ඔබට අමතක නැතුව ඇති. මවුපිය ආශීර්වාද මධ්‍යයේ කල්පගේ වීමට පෙරුම් පුරන අහිංසකාවියක් වන මලිති, කල්පගේ ආදරය සමාධි කෙරෙහි යොමුවීමත් සමඟින් වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය කරන්නීය. මලිතිට පණ පොවන දිල්කි හංසිකා රංගනයට පිවිසෙන්නේ සංගීතේ ටෙලි නිර්මාණයේ අසනිගේ යෙහෙළිය සේ රඟමිනි. මේ ඇයගේ වතගොතයි.

දිල්කී ලොක්කී නාට්‍යයේ මලිති වෙමින් තම රංගන සිහිනය සැබෑ කරගත් ආකාරය අප හා පැවසුවේ මෙසේය.

“පාසල් වියේදීම මං ටීවී වෙළෙඳ දැන්වීම්වලට වගේම මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වුණා. රංගනයට එන්න හිතේ ලොකු ආසාවක් තිබුණත් තාත්තා ඒකට ඉඩ නොදුන්නෙ මගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේවි කියන බයට. අම්ම නම් මටත් වඩා ලොකු කැමැත්තකින් හිටිය මාව කලාව පැත්තට යොමු කරන්න. ටීවී වෙළෙඳ දැන්වීම්වල මං පෙනී හිටියෙ අධ්‍යාපන සම්බන්ධ වෙළෙඳ දැන්වීම්වලට. ඒ නිසා පාසලෙන් ගැටලුවක් වුණේ නෑ. ඔය අතරේ මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබුණා. තෝරා බේරා ගත් ඒවට විතරක් රංගනයෙන් දායක වුණා. හැමදේම කළේ මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට. ඒ නිසා තාත්තගෙන් ලොකුවට බලපෑමක් ආවෙ නෑ. උසස් පෙළ අවසන් වෙනවත් එක්කම තමයි මං 2021 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයට අයදුම් කළේ. ඒකෙ අවසන් දොළොස් දෙනා අතරට එන්න ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව මට රංගනයට දොරටු විවර වුණා කිව්වොත් හරි. කැමරාවක් ඉදිරියේ පළමුවෙන්ම ටෙලි නාට්‍ය රංගන අත්දැකීමක් ලැබුවේ සාරංග මෙන්ඩිස්ගේ සංගීතේ ටෙලි නිර්මාණයේ අසනිගේ යාළුවා ජයනිගේ භූමිකාවෙන්.

ඊට පස්සේ ලක්සිරි සර් හරහා ලොක්කි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණු පළමු නිර්මාණය ලොක්කි. පාසල් කාලෙ ඉඳන්ම ටීවී වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝවලට දායක වෙලා තිබුණු නිසා කැමරාව මට ආධුනික වුණේ නෑ. ඒ නිසා බයක් හිතුණෙත් නෑ.

මලිති කියන්නෙ මුලදි හරිම අහිංසක තරුණියක්. අහිංසකව කල්පගේ ආදරය දිනාගන්න වෙහෙසුණු මලිති කල්පගේ ආදරය සමාධි වෙත යොමුවෙනවත් එක්කම නපුරු වෙන්න පටන් ගත්තා. මලිතිගෙ චරිතය තුළ මට ඒ පැති දෙකම පෙන්නන්න අවස්ථාව ලැබුණා. නිතරම කෑගහල, රණ්ඩු කරලා නපුරුකමින් ඉන්න එකත් ලේසි නෑ. මලිති කල්පගෙ ආදරේ ලබාගන්න හූනියම් කරනවා. ඒ වගේ මිත්‍යාවල් පස්සෙ ගිහින් ආදරයක් ලබාගන්න බෑ කියන සත්‍යයත් මේකෙන් පෙන්නනවා. “

පාසල් වියේම මියුසික් වීඩියෝවලට රංගන දායකත්වය ලබාදුන් දිල්කි මේ වනවිට මියුසික් වීඩියෝ රැසකට දායක වී තිබීමත් විශේෂත්වයක්.

“මෑතක දි කළ සුමේධ ලක්මාල් අයියගෙ ‘තරහයි ද මා එක්ක‘ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම සුවාන් අයියගෙ තවත් අලුත් එකක් කළා. ඉන්දියාවෙ ආර්ටිස් කෙනෙක් එක්ක කළ මියුසික් වීඩියෝ එක විශේෂයි. ඒක ටැමිල් ගීතයක්. ඒ වගේ අවස්ථාවක් ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා. අරුණ අබේරත්නගේ අලුත් චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. දීවා ඩිටර්ජන් පවුඩර් වෙළෙඳ දැන්වීම ගොඩක් ජනප්‍රියයි. පහුගිය දා BOC වෙළෙඳ දැන්වීමකටත් පෙනී සිටියා..“

මෙතරම් දුරක් එන්න තම පවුලෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කරන්නත් දිල්කි අමතක කළේ නැහැ.

“මගේ පවුලෙ අම්මා, තාත්තා, අයියා, මල්ලි මගේ ගමනට ගොඩක් උදවු කරනවා. මුලදි මං කලාව පැත්තට එනවට තාත්තා අකැමැති වුණත් මේ වෙද්දි ගොඩක් කැමැත්තෙන් මට උදවු කරනවා. අම්මා නම් මටත් වඩා මං මේ ක්ෂේත්‍රයට එනවට කැමැති වුණා. ඇය තමයි අදටත් හෙවණැල්ල වගේ මා එක්ක ඉන්නෙ. මුල් කාලෙ මගේ මල්ලි තමයි මගේ තනියට ආවෙ. එයා විදෙස්ගත වුණාට පස්සෙ අම්මා ඒ කාර්ය ඒ විදිහටම ඉටු කරනවා.“

දිල්කි කියන්නෙත් සුරූපී හුරුබුහුටි තරුණියක්. ඇයට ආදරය කරන්න කෙනෙක් දෙවරක් නොසිතුවත් දිල්කි ආදරය ගැන පළ කළේ මෙවන් අදහසක්.

“දැනට මං ආදරවන්තියක් නොවුණත් මට ආදරය ගැන අත්දැකීමක් තියෙනවා. ඇත්තටම මම ආදරය කළ කෙනා මට ආදරය කළේ නෑ. මට ආදරය කරපු කෙනාට මං ආදරේ කළේ නෑ. මං ආදරය කරනවට වඩා මට ආදරය කරන කෙනෙක් ලැබුණොත් සතුටින් ඉන්න පුළුවන් වෙයි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division