දෙමළ සිනමාවේ සුපිරි නළු විජේ හෙවත් තලපති විජේ මේ දිනවල නැවතත් සිය රසික රසිකාවියන් තුළ උන්මාදයක් ඇති කිරීමට පටන්ගෙන තිබේ. ඒ ඔහු ගේ අලුත්ම සිනමාපටය වන ‘ලියෝ’ දැන් සිනමාශාලාවල තිරගත වෙමින් ඇති නිසාය. එය මේ වනවිට ඉතා ඉහළ ආදායම් උපයමින් ප්‍රදර්ශනය වන බව වාර්තා වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව දෙමළ සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ සිනමාපට පිළිබඳ ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි කර ගැනීමට ‘ලියෝ’ ට හැකි වී තිබිණි. පළමුවැනි තැන සහ දෙවැනි තැන සිටින්නේ පිළිවෙලින් ‘2.0’ සහ ‘ජේලර්’ යන චිත්‍රපට යි. මෙම චිත්‍රපට දෙකේම ප්‍රධාන නළුවා රජිනිකාන්ත් ය.
කෙසේ හෝ වේවා, විජේ ගේ ‘ලියෝ’ සාර්ථක අන්දමින් තිරගත වෙමින් තිබෙන පසුබිමක මෙම සුපිරි නළුවා ගැන ද මාධ්‍ය තුළ වඩ වඩාත් කතාබහට ලක් වෙමින් තිබේ. මෙම සටහන ද විජේගේ පෞද්ගලික ජීවන තොරතුරු බිඳක් ඔබ වෙත ගෙන එන්නකි.
මේ වනවිට 49 වැනි වියෙහි පසුවන විජේ උපත ලැබුවේ 1974 ජුනි 22 වැනිදා ය. අද ඔහු ජනප්‍රියව සිටින්නේ විජේ හෝ තලපති විජේ යනුවෙන් වුවත් ඔහුගේ සම්පූර්ණ නම ජෝසෆ් විජේ චන්ද්‍රසේකර්ය. විජේගේ මව්පියන් දෙදෙනා ද කලාවට සම්බන්ධ පුද්ගලයන්ය. ඔහුගේ පියා එස්. ඒ. චන්ද්‍රසේකර් දෙමළ චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. මව ශෝබා දක්ෂ ගායිකාවකි. ඇය චිත්‍රපටවල පසුබිම් ගායිකාවක ලෙස ද කටයුතු කර තිබේ. විජේට විද්‍යා නමින් සහෝදරියක සිටි නමුත් ඇය වයස අවුරුදු දෙකේ දී මරණයට පත් වූවාය.
විජේගේ ආදර කතාව ද අපූරු එකකි. ඔහු විවාහ වී සිටින සංගීතා සෝර්නලිංගම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකි. ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවීමට කටයුතු යෙදී තිබුණේ සංගීතා විජේගේ දැඩි රසිකාවියක වීම නිසාය. මේ දෙදෙනා මුල් වරට මුණ ගැසුණේ විජේගේ
‘පූවෙ උනකාග’ නැමැති චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ය. ඒ 1996 වසරේයි. මේ කාලය වනවිට සංගීතා ඇයගේ මව්පියන් සමඟ ජීවත් වූයේ එංගලන්තයේය.
‘පූවෙ උනකාග’ සිනමාපටයෙහි විජේගේ රඟපෑම් ගැන සංගීතා තුළ විශාල කැමැත්තක් ඇතිව තිබිණි. ඒ නිසාම ඔහු දැකබලා ගෙන කතා කිරීමේ ආසාවක් ඇය තුළ තිබෙන්නට ඇත. විජේ ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිය දී ඇයට මෙම අවස්ථාව උදා විය. ඒ වනවිට ඉන්දියාවට පැමිණ සිටි සංගීතාට චෙන්නායි හි චිත්‍රාගාරයක දී විජේ හමු වීමට ලැබිණි. එහිදී ඇය විජේගේ රඟපෑම් ගැන ඇය තුළ ඇති කැමැත්ත ඔහු වෙත ප්‍රකාශ කර තිබුණාය. මෙහි දී සංගීතා කතා කළ ආකාරය එවකට තනිකඩයකු වූ විජේ තුළ විශාල බලපෑමක් ඇති කරන්නට සමත්ව තිබූ බවක් පෙනේ. ටික දිනකට පසු ඔහු සංගීතාට විශේෂ ආරාධනයක් කළේය. ඒ ඔහුගේ නිවසේ භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙසයි. තම සිනමා වීරයාගෙන් ලැබුණු මෙම ඇරයුම සංගීතා තුළ මහත් විස්මයක්, ප්රමෝදයක් ඇති කරන්නට ඇතුවාට සැකයක් නැත.
විජේගේ නිවසේ දී ඇයට ඔහුගේ මව්පියන් ද හඳුනාගන්නට ලැබුණු අතර ඔවුන් තුළ ද සංගීතා ගැන මහත් ප්‍රසන්න හැඟීමක්. පැහැදීමක් ඇතිව තිබිණි. නමුත් මේ තරුණිය කවදා හෝ තම ලේලිය බවට පත්වනු ඇතැයි එදා ඔවුන්ට සිතුණේ නැත. මෙම පළමු භෝජන සංග්‍රහයෙන් ටික දිනකට පසු විජේ නැවතත් සංගීතාට සිය නිවසට ඇරයුම් කර තිබිණි. එදින මේ දෙදෙනාගේ හැසිරීම් දෙස බලා සිටි විජේගේ මව්පියන්ට ඔවුන්ගේ සිත්වල එකිනෙකා පිළිබඳ ආදර හැඟුම් ඇති බව වැටහිණි. ඔවුන් දෙදෙනා ඒවා කියා ගන්නට බැරිව සිටිය දී ඒ මාතෘකාව එළියට ගන්නට මුල පුරා තිබුණේ විජේගේ මව්පියන් බව සඳහන් වේ. විජේ සමඟ විවාහ වීමට කැමැතිදැයි එක් අවස්ථාවක ඔවුන් සංගීතාගෙන් විමසා තිබිණි. සංගීතා ‘ඔව්’ යයි කියන්නට ඇත්තේ දෙවරක් නොසිතාමය. සංගීතා සමඟ විවාහ වීමට කැමැතිදැයි විජේගේ මව්පියන් තම පුතුගෙන් ද විමසා තිබූ අතර ඔහු ද ඊට එකපයින් කැමැත්ත පළ කර තිබිණි. එයින් පසු විජේගේ වැඩිහිටියන් ලන්ඩනයට ගොස් සංගීතාගේ මවුපියන් මුණ ගැසුණු බව සඳහන් වේ. විජේ-සංගීතා යුග දිවියට මඟ පෑදී ඇත්තේ මේ ආකාරයෙනි. ඔවුන්ගේ විවාහය සිදු වූයේ 1999 වසරේයි.
මේ වනවිට මෙම දෙපළ දරු දෙදෙනකුගේ මවුපියන්ය. වැඩිමල් පුතු වන ජේසන් සංජේ විජේ ගේ වයස අවුරුදු 23කි. දිව්‍යා සාෂා නැමැති දියණිය 18 වැනි වියෙහි පසුවෙයි. මේ දෙදෙනා ද පියා මෙන්ම සිනමාවට ලැදිය. මේ වනවිටත් ඔවුන් චිත්‍රපටවල සුළු චරිත රඟපා තිබේ. ජේසන් පසුගිය කාලයේ කැනඩාවේ විශ්ව විද්‍යාලයක සිනමාකරණය පිළිබඳව හදාරා තිබිණි. ඔහු ළඟදීම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන බවක් ද සඳහන් වේ.