Home » හදාරන්නෙ නැතිව මුකුත් කරන්න බෑ

හදාරන්නෙ නැතිව මුකුත් කරන්න බෑ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– මෙතෙක් කරපු කිසිම චරිතයක් ෆේල් කියල කවුරුත් කියලා නෑ
– ජනප්‍රියත්වය ඇති කාල වගේම නැති කාලත් එනවා ඒක දරාගන්න පුළුවන් වෙන්න ඕන

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ඩබ්. ජයසිරිගේ මුරුගසන් ටෙලි නිර්මාණයේ අමරපාල, ආලෝක සම්පත්ගේ රංගන දිවියේ වෙනස් පැතිකඩක් ස්පර්ශ කළ චරිතයකි. සිවා – සද්ධා සුසංයෝගයේ නවතම ටෙලි නිර්මාණය වන සර්කස්කාරයෝහි මනුස්සකම අලෙවි කරන මාලි ද ප්‍රේක්ෂකයා තුළ ඔහු පිළිබඳ වෙනස් ප්‍රතිරූපයක් මවන්නකි. රංගනය ගැන මනා හැදෑරීමකින් ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන ආලෝක වේදිකාවට පමණක් සීමා වුණු තම අධ්‍යක්ෂවරයාගේ භූමිකාව පුංචි තිරයට හා සිනමාවට ගෙන ඒමේ ප්‍රයත්නයක ද නියැළෙයි.

මෙතෙක් ඔබ දායක වුණු නිර්මාණ ඒකාකාරී රාමුවකට කොටුවෙලා කියලා ඔබට දැනිලා නැද්ද?

ඇත්තටම මටත් ඒ වගේ දෙයක් දැනෙමින් තිබුණා. ඒත් මේ දවස්වල විකාශය වෙන නිර්මාණ දෙක නිසා ඒ හැඟීම ටිකක් වෙනස් වුණා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ඩබ්. ජයසිරිගේ මුරුගසන් ටෙලි නිර්මාණයේ අමරපාල කියන්නෙ මට ලැබුණු වෙනස්ම චරිතයක්. තුවක්කු බටයක් අතේ තියාගෙන, කිණිස්සක් ඉණේ ගහගෙන වලව්වක් බලාගන්න ඉන්න ඔහු ඒ වලව්වෙ මුරකරු ද එහෙම නැත්නම් අයිතිකරුවෙක් ද කියන කුතුහලයත් එක්ක දිවෙන ගුප්ත චරිතයක්. මං හරි ආසාවෙන් කළ මගේ රංගනයේ වෙනස් පැතිකඩක් දකින්න පුළුවන් නිර්මාණයක්. සිරස නාළිකාවේ විකාශය වන සර්කස්කාරයෝහි මාලි කියන්නෙත් අමුතුම චරිතයක්. මනුස්සකම අලෙවි කරමින් සමාජය ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන ඔහු පෙට්ටි කඩකාරයෙක්. ඒකෙත් ඊළඟ මෙයා මොනවගේද කියන කුතුහලය ප්‍රේක්ෂකයා මත පවරනවා.

තිර පිටපතට වඩා යමක් රංගන ශිල්පියා එකතු කරන අවස්ථාත් තියෙනවා. රංගනය උගන්වන කෙනෙක් විදිහට ඔබ ඒක දකින්නෙ කොහොමද?

තිර පිටපතේ කිසිම දෙබසක් නිර්මාණකරුවාගේ අවසරකින් තොරව වෙනස් කරන්නෑ කියන එක රංගනයේ තියෙන විනයක්. තිර රචකයාගේ අත්දැකීමක්, දන්න දෙයක් හෝ දැකපු දෙයක් තමයි එයා ලියන්නෙ. ඒ නිසා තිර රචකයා හෝ අධ්‍යක්ෂවරයාගේ දැනුම්වත් බවින් තොරව නිර්මාණයක දෙබස් වෙනස් කරන්නෙ නෑ. ඒක රංගනය කියන විෂය තුළම තියෙන මං අදහන මගේ ඩිසිප්ලීන් එකක්. එතනදි තමයි රංගනය හැදෑරීම වටින්නෙ. හැදෑරීම තුළ විනයක් ඇති වෙනවා. ඒ තුළ වෙලාවට වැඩ කරන එක, අනෙකාට ගෞරව කරන එක, සුහදව වැඩ කරන එක ඇතිවෙනවා. ඊට පස්සෙ දරාගැනීම ඇති වෙනවා. වැඩ වැඩි කාල එනවා. වැඩි නැති කාල එනවා. ජනප්‍රියත්වය ඇති කාල වගේම නැති කාලත් එනවා. මේ ඔක්කොම දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ මත තමයි පැවැත්ම රඳා පවතින්නේ.

ඔබ රංගනයට පිවිසුණු ආකාරය ගැන සඳහන් කළොත්?

කන්තලේ ඉඳල මං කොළඹට එන්නෙ රංගනය ගැන හදාරන්න. පාසල් වේදිකාවෙ සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා ගියා. එතැනදි මට රංගනය ඉගෙන ගන්න ආසාව ඇති වුණා. මගේ ගුරුවරයා වුණු උපනන්ද වැලිකල සර් අපිට පොඩි පොඩි දේවල් කියල දුන්නා. අද තමයි තේරෙන්නෙ ඒ කරල තියෙන්නෙ වැඩමුළු කියලා. මං කොළඹට ඇවිත් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා එක හැදෑරුවා. ඒකෙම ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. තරුණ සේවා සභා රංගන පාසලේ වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා කටයුතු කරද්දි තමයි මට සම්පත් ජයවීර හඳුනගන්න ලැබෙන්නේ. ඔහු තමයි මට ටෙලි නාට්‍යයකට අවස්ථාව ලබාදුන්නේ. නමුත් ඒක විකාශය වුණේ ගිය අවුරුද්දෙ. ඊට කලින් ශාන්ත සොයිසාගේ පබා නාට්‍ය විකාශය වුණා. ඒ අවස්ථාව ලබාදෙන්නෙ වෙළෙඳ දැන්වීම් නිරූපණයෙදි හඳුනගත් කුමාර තිරිමාදුර අයියා. මේ වෙද්දි රංගනයට අමතරව ගිරිරාජ් කෞෂල්‍යගේ කතුරු මිතුරු සිනමාපටයේ දෙවන සහාය අධ්‍යක්ෂ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා.

එතකොට ඔබේ රංගන තිඹිරි ගෙය වෙන්නෙ?

ඇත්තටම මගේ රංගන තිඹිරි ගෙය වේදිකාව. පාසල් වේදිකාව වගේම තරුණ සේවා සභාවට සම්බන්ධ වුණාට පස්සෙ ප්‍රසිද්ධ වේදිකාවටත් සම්බන්ධ වුණා. ලංකාවෙ හොඳම අධ්‍යක්ෂ වගේම හොඳම නිෂ්පාදකවරයා විදිහට 2007 යෞවන සම්මාන, 2009 රාජ්‍ය සම්මාන හිමිවෙන්නෙ මගේම නිර්මාණයක් වුණු ‘තනියෙක් විශිෂ්ටයි‘ නිර්මාණයට. ඒකට සම්මාන 10ක් ලැබුණා. ඔය අතරෙ තමයි ශාන්ත සොයිසාගේ පබා ටෙලි නිර්මාණයට අවස්ථාව ලැබෙන්නේ. තිර රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ පුරුද්දක් තමයි යන හැම කොටසක්ම බලනවා. පබා එකේ මට පොඩි සීන් එකක් විතරයි තිබුණෙ. ඔහුගේ ඊළඟ නිර්මාණය වුණු පබළු එකේ රීකීගෙ චරිතයට මාව නම් කරලම එවන්නෙ ඔහු. අතිශයින් ජනප්‍රිය වුණු බෙනාගේ මස්සිනා රිකීගේ කැරැක්ටර් එක මට ලැබෙන්නෙ ඒ විදිහට. ඔහු පිටපතේම ලියල තිබුණා රිකීගේ කැරැක්ටර් එකට පබා එකේ පර්ස් එක හොරකම් කරපු කොල්ලවම ගන්න කියලා. ඒක අදටත් ජනප්‍රිය චරිතයක්. එතැන ඉඳන් ඔවුන්ගේ හැම නිර්මාණයකම මට චරිතයක් ලැබුණා. ඒ එක්ක තමයි ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට මට පය ගහන්න පුළුවන් වුණේ.

රංගනය කියන්නෙ හැමදාම අලුත් විය යුතු විෂයක් කිවුවොත්?

මං රංගනය ගැන හදාරලා ආව වුණත් අදටත් මං ඉගෙන ගන්නවා. අනෙක් රටවල චිත්‍රපට නරඹනවා. රංගනය ගැන ලියවුණු දේවල් යූටියුබ් එකේ හොයනවා. අපේ මිත්‍රයො ටිකක් ඉන්නවා අපි හමුවෙන හැම වෙලාවකම කතා කරන්නෙ රංගනය ගැන. අපි අපි වර්ක් ෂොප් කරගන්න වෙලාවල් තියෙනවා. මම උපරිම උත්සාහ කරන්නෙ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න. මෙතෙක් මට ලැබිල තියෙන්නෙ මැද මාවතේ චරිත. මෙතෙක් කරපු කිසිම චරිතයක් ෆේල් කියල මට කවුරුත් කියලා නෑ. ඒ සතුට මට තියෙනවා. මේ වෙද්දි මං ත්‍රිකුණාමලයේ ‘ආස‘ කියලා ඇක්ටින් ස්කූල් එකක් කරගෙන යනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division