Home » ක්‍රිකට් පරාජයේ වගකීම් භාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් හා තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතුයි

ක්‍රිකට් පරාජයේ වගකීම් භාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් හා තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතුයි

ක්‍රීඩා ඇමැති රොෂාන්ගෙන් විශේෂ නිවේදනයක්

by Mahesh Lakehouse
November 4, 2023 12:39 am 0 comment

ක්‍රිකට් පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයකුට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

ලෝක ශූරතා දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට තවදුරටත් බලයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්න කරන ක්‍රීඩා ඇමැතිවරයා තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව ද අවධාරණය කරයි.

මෙම කරුණු අනාවරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාරජය පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ විසින් නොවැම්බර් 3 වැනි සිකුරාදා පස්වරුවේ නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මඟිනි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද එම විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ICCය වෙතින් අප රටට මුදල් ලැබෙනුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීම්, මාධ්‍ය විකාශන අයිතීන්, ජාත්‍යතර තරගාවලි සඳහා සත්කාරකත්වය ලබා දීම්, ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන කරුණු පදනම් කරගනිමින් වුවද, ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමිනි.

විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.

වර්ෂා දිනයන්හි පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බව ඔබ දන්නෙහිද? ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කරනු ලබයි.

මීට පෙර 2018 සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව නැවත තහවුරු කරන ලද අතර, එම ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැත.

ඕස්ට්‍රේලියානු T20 ලෝක කුසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගනුදෙනු පිළිබඳව ද සියලු දෙනා දන්නා කාරණයකි. ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර, එම තරගාවලිය පේන මානයේ තිබිය දී LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටලු සහගතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂ මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතුය.

තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත, රට දෙවෙනි කොට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවකි.

මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වීම වගකීම් භාරගැනීම් සබැඳිව කදිම උදාහරණයකි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීයකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාස්‍යයට මෙන්ම විමතියට කරුණකි.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටි මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදවා ගැනීම ඛේදනීය තත්ත්වයකි. සමස්ත ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳ සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division