“කේරළය – දෙවියන්ටම වෙන්වූ රට” මෙම පාඨය මඟින් පුද්ගලාරෝපණය කරන්නේ ඉන්දියාවේ නිරිතදිග කොටසේ පිහිටි සශ්‍රීක භූමියේ සංචාරය කිරීමේ සහ ජීවත්වීමේ සැබෑ අත්දැකීම පිළිබඳවයි. මෙම ප්‍රදේශයේ බටහිර දෙසින් ඝාට්ස් කඳුවැටිය සහ අරාබි මුහුද ද, දකුණු දෙසින් ඉන්දියන් සාගරය ද පිහිටා තිබේ.
කේරළය විවිධ සංස්කෘතික උරුමයන් සහ නොයෙක් වෘක්ෂලතා ආදියෙන් පොහොසත් වන අතර, එය 100%ක සාක්ෂරතාවයට හිමිකම් කියන පළමු ඉන්දියානු ප්‍රාන්තය බවට පත් විය. එහි දිවි ගෙවන්නන්ගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ තැනක් හිමි කර ගනී.
ස්වාධීන ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස 1956 දී කේරළය පිහිටුවන ලද්දේ ස්වාධීන පළාත් තුනක් භාෂාමය පදනමක් මත ඒකාබද්ධ කිරීමත් සමඟ වන අතර, මෙම ප්‍රාන්තයේ ජනතාව ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ මලයාලම් භාෂාවයි. මෙහි ජනයා කේරළ පිරවි නොහොත් කේරළ දිනය නොවැම්බර් මස 1 වැනි දින සමරනු ලබයි.
නමුත් විවිධ මිථ්‍යා විශ්වාස වලට අනූව සහ පුරාවෘත්තයේ සඳහන් පරිදි කේරළය නිර්මාණය වූ ආකාරය පිළිබඳව බොහෝ කතන්දර තිබේ.
විෂ්ණුගේ අවතාරයක් වන පරසුරාම් මෙම භූමිය පිටතට ඇද දමා ඉවත් කිරීමට තම පොරව ඉන්දියන් සාගරයෙහි ගිල්වූ බව බොහෝ දෙනා විශ්වාස කරන කරුණකි. පසුව වාසුකී නම් සර්පයා එම භූමියට ශුද්ධාත්මයෙන් ආශීර්වාද කර, එහි සාරවත්, සදාහරිත භූ විෂමතාවයක් ඇති කිරීමට වග බලාගෙන ඇත. එම සාරවත් භූමිය අද දක්වාම එහි වැසියන්හට කුළුබඩු, පොල්, සහල්, රබර් ආදිය සපයා, ඔවුන්ව සුපෝෂණය කරයි.
කේරළය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක සිටම ඉතා ගැඹුරු, ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් සම්බන්ධතාවයක් ඇත. අපගේ විවිධ ආහාර වර්ගවල ඇති සමානකම් කේරළය සහ ශ්‍රී ලංකාව අතර ඇති මෙම සම්බන්ධතාවය මනාව පිළිබිඹු කරයි. ආප්ප සහ පිට්ටු (කේරළයේ අප්පම් සහ පුට්ටු නමින් හඳුන්වයි) කේරළය විසින් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාව විසින් කේරළයට හඳුන්වා දුන් ආහාර වර්ග ද්විත්වයක් ලෙස සැලකේ. තව ද, කේරළයට ආවේණික සටන් කලාවක් වන කලරිපයත්තු ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාවට බෙහෙවින් සමාන ය. ඔවුන් මැයි මාසයේ දී පවත්වන සුප්‍රසිද්ධ ත්‍රිසූර් පූරම් මංගල්‍යය, ශ්‍රී ලංකාවේ පවත්වන පෙරහර හා සමාන උත්සවයක් වන අතර, එහිදී විවිධ සංගීත අංග, ගිනිකෙළි සහ අලි ඇතුන් ගෙන් සමන්විත මහා පෙරහරක් වඩ්ඩකුන්නාදන් විහාරස්ථානයේ දී පවත්වයි. කතකලි සහ මෝහිනියාට්ටම් යනු කේරළයේ සුප්‍රසිද්ධ නැටුම් ක්‍රම දෙකක් වේ.
මීට අමතරව, අස්වැන්න නෙළන මංගල්‍යය වන ඕනම් සමයේදී පවත්වන සර්ප බෝට්ටු ධාවන තරඟ මෙම ප්‍රාන්තයටම ආවේණික වේ.
කේරළ සමාජම් යනු 1959 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද කේරළ සමිතියක් වන අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන කේරළ ජාතිකයින්ට සුහදව හමුවීමට, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම, හුවමාරු කර ගැනීමට සහ ඔවුන්ට ආවේණික විවිධ උත්සව සැමරීම සඳහා වන සංසදයකි.
මෙහිදී ඔවුන් වඩාත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන විශාලතම සංස්කෘතික අංගය වන්නේ ඕනම් උත්සවයයි. කේරළ සමාජය සමාජ සුබසාධන වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙමින් දේශීය ශ්‍රී ලාංකීය ප්‍රජාවට අර්ථවත් ලෙස සිය දායකත්වය ලබා දී ඇති අතර, ඔවුන් එම සමාජය පැවති මුළු කාලය පුරාවටම දේශපාලනයට කිසිදු සම්බන්ධයකින් තොරව, නිර්පාක්ෂිකව කටයුතු කිරීමට වග බලාගෙන ඇත. එහි සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, ව්‍යවසායකයින් සහ වෙනත් වෘත්තිකයන් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවේ යහපැවැත්ම, සුභසාධනය සහ සමෘද්ධිමත් බව වෙනුවෙන් ඉතා කැපවීමෙන් පෙනී සිට ඇත.