Home » ආර්ථික ගැටලුව විසඳන්න රජය හා පෞද්ගලික අංශය එක් විය යුතුයි

ආර්ථික ගැටලුව විසඳන්න රජය හා පෞද්ගලික අංශය එක් විය යුතුයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිහාල් හෙන්නායක

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

ය වැය ඉදිරිපත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පුරෝකතනයක් කිරීම වඩා සාධනීය වෙයි. පසු ගිය වසර 30ක 40ක කාලයක සිටම අය වැය සම්බන්ධයෙන් ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණි. එනම් ජනතාවගේ අපේක්ෂාව නම් අය වැය මඟින් සහන ලබා ගැනීමයි. ඒ සහන ලබා ගැනීමේ සංස්කෘතියට අපි සියලු දෙනා පුරුදු වී සිටියෙමු. මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති සුවිශේෂ වටපිටාවක් තුළ ජනතාවගේ පැත්තෙන් සහන බලාපොරොත්තු වීම සාධාරණයි. අය වැය කියන්නේ සහන දෙන පැකේජයක් යැයි සිතීමම සාවද්‍ය කරුණකි. නමුත් ජනතාවගේ පාර්ශ්වයෙන් යම්කිසි සහනයක් අපේක්ෂා කිරීම සාධාරණ වෙන්නේ පහුගිය ආර්ථික අර්බුදය නිසා සෑම භාණ්ඩයකම මිල 100%කින් වැඩිවීම නිසයි.

ආර්ථික අර්බුදයක් ඇති විටකදී පවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම යහපත් ක්‍රියාවකි. නමුත් එය සිදුවිය යුත්තේ තවදුරටත් අය වැයට බරක් සිදු නොවන ආකාරයටයි.

අය වැය ප්‍රතිපත්ති හදන ප්‍රමාණික දැනුම ඇති පිරිස් අය වැයට බරක් නොවී කෙසේද වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කළ යුත්තේ යන කරුණ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මේ අවස්ථාවේදී ජනතාවගෙන් අනිවාර්යයෙන් වැටුප් වැඩි විය යුතුයි යන්න ඉල්ලීමක් නැත. එහෙත් මේ ඉහළ ජිවන වියදම දරාගත නොහැකි බව ජනතාවගේ මැසිවිල්ලයි. මෙයට පිළිතුරක් ලෙස වැටුප් වැඩි වීම අනිවාර්ය නැත. හැකි නම් ක්‍රම සහ විධි අනුගමනය කර ජීවන වියදම අඩු කිරීමට වඩා ඵලදායි වෙයි.

15%ක්ව පැවැති බදු 18% වැඩි කිරීමට රජය කටයුතු කර ඇත. නමුත් වැට් බදු යනු සියලුම භාණ්ඩ සහ සේවාවලට බලපානු ලබන බද්දයි. ඒ අනුව තවත් වටයකින් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමට නියමිතව ඇත. එසේ කිරීමෙන් අනතුරුව භාණ්ඩ සහ සේවා වැඩිවීමෙන් පසුව වැටුප වැඩි වීමක් සිදු වුවත් ජීවන වියදම පිළිබඳ ගැටලුවට පිළිතුරක් නොවනු ඇත. ඒ නිසා විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ජීවන වියදම වැඩි වීමට පිළිතුරු සෙවීමයි. අද වෙළෙඳපොළ තරඟකාරි වෙළඳපොළක් වුවත් මේ වෙළෙඳපොළ තුළ ඇතැම් වෙළෙඳ ආයතනවලට භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ දැමීමට හැකියාව ලැබී ඇත. බොහෝවිට සිදු වන්නේ මිල පාලනයකින් තොරව සදාචාරාත්මක භාවයකින් තොරව වෙළෙඳ මාෆියාවක් විසින් ඉහළ දැමීමයි. මේ තැනට මැදිහත් පාර්ශ්වයක් වීමට රජයට හැකි නම් එය වැටුප් වැඩි කිරීමට වඩා කිහිප ගුණයකින් ගුණාත්මක යැයි කිව හැකියි. එයින් අදහස් කරන්නේ රජය මේ අය අත්අඩංගුවට ගැනීමට යාම නොවෙයි. සමාජය දැනුම්වත් කිරීමක් අවශ්‍යයි. රජය අතින් ඉටු නොවන කාර්යයක් නම් මේ පෞද්ගලික අංශයට මේ පණිවුඩය ලබා නොදීමයි. අර්බුදයක් ඇති මේ අවස්ථාවේදී පෞද්ගලික අංශයේ සහය ලබාගත යුතුයි; මේ ආර්ථික අර්බුදයෙන් රජයට පමණක් ගොඩ ඒමට හැකි යැයි සිතීමත් මිථ්‍යාවකි. මේ අර්බුදයෙන් ගොඩ එන්න හවුල් වන්න යැයි රජය පෞද්ගලික අංශයට ආරාධනා කළ යුතුයි. පෞද්ගලික අංශය එසේ ඉල්ලීමක් කළහොත් මඟ හරීවි යැයි අපිට සිතිය නොහැකිය. අතරමැදි පාර්ශ්වයක් නොමැතිව එක එල්ලේ නිෂ්පාදනයන් වෙළෙඳපොළට මේ මඟින් ඉදිරිපත් කිරීමට අවකාශ ලැබෙයි. එහි වාසිය පාරිභෝගික ජනතාවට හිමි වෙයි.

ඒ අනුව රජය මූලික අවධානය ලබා දිය යුත්තේ භාණ්ඩ හා සේවා මිල පහත හෙළීමටයි. මෙය රජය සහ පෞද්ගලික අංශය එක්ව පිළිතුරු සෙවිය යුතු අවස්ථාවකි. රජය සහ පෞද්ගලික අංශය විසින් අවබෝධතාව සහ සම්බන්ධතාව අඩුයි. ලංකාවේ මේ වැනි දේවල් වර්ධනය කරන්න රජය කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධතාව රජය සහ පෞද්ගලික අංශය විසින් වර්ධනය කළ යුතුයි. දූෂණ වංචා නැවැත්වීම, නීතිය ස්ථාපිත කිරීම හරහා ජනතාවට යම් සහන දිය හැකියි. මේ අවස්ථාවේදී වැටුප් වැඩි කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය අසාර්ථක විය හැකියි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම තුළ රජයේ වියදම් ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදු වෙයි. එසේම බිලියන ගණනකින් ඉහළ යාම ආවරණය කර ගන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙන් මනා වැටහීමක් රජයට තිබිය යුතු සේම, එම වැඩපිළිවෙළ ජනතා පීඩාකාරී නොවිය යුතුය. එසේ වන්නේ නම් එය ක්‍රමවේදයක් නැති වැඩපිළිවෙළකි.

උදාහරණයක් ලෙස පසුගිය කාලයේ රුපියල් 100කට පැවැති භාණ්ඩ 200ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එවිට එය රුපියල් 100%කින් මිල ඉහළ යාමකි. එම 100%කින් මිල ඉහළ ගිය භාණ්ඩය මේ වන විට රුපියල් 180 දක්වා අඩු වීමක් සිදු විය. උද්ධමනය ඉලක්කමක් ලෙස ගත් විට මිල අඩුවීමක් වුවත් රුපියල් 100 භාණ්ඩයකට මේ වන විට 180ක අධික මිලක පවතියි. නමුත් එය පෙර පැවැති මිල නොවෙයි. සුපර් මාර්කට් ජාලයට ආරාධනා කළා නම් මිල යම් ප්‍රමාණයක් අඩු කරගත හැකියි. උදාහරණයක් ලෙස; සුපර් මාර්කට් ජාලය ගත් විට ලංකාව පුරා වෙළෙඳසැල් සේවා ආයතන 2000කට වැඩි ප්‍රමාණයක් වෙයි. මේ නියෝජිතයන් මඟින් නිෂ්පාදිත එළවළු පළතුරු වෙනත් නිෂ්පාදන විකිණීමට හැකි නම් විශාල මිල පහත දැමීමක් කළ හැකියි. අර්බුදවලින් රටක් ගොඩ එන්න නම් රජය සහ පෞද්ගලික අංශ දෙකම එකතු වීමට අවශ්‍යයි. මිල සැලකිය යුතු අඩු වීමක් නොවුණු අතරම ස්ථාවර ආදායම් ලැබෙන අයගේ වැටුප වැඩි වීමක් සිදු නොවුණි. මේ පිරිස ලබන වැටුපට සරිලන වියදම සකස් කර ගෙන තිබිණි. නමුත් අද වන විට එවැනි ක්‍රමවේදයක් නැත. මේ තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත්තේ ස්ථිර වැටුප ලබන පිරිසටයි. රජය විසින් වැටුප් වැඩි කර බදු වැඩි කළහොත් එහිදී බලපෑමක් සිදු නොවෙයි. ජනතාවගේ ඉල්ලීම වන්නේ ජීවන වියදම අඩු නොකරන්නේ නම් පමණක් ඒ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු බවයි. එසේම වැටුප් වැඩි කිරීමට තුළ ඉදිරියේදී නැවත වරක් වැටුප් ගෙවිමේ අර්බුදයට රජය මුහුණ දීමට සිදු වෙයි.

විශේෂයෙන් මේ අර්බුදය අවස්ථාවේදී රජය සේවකයන්ගේ ද ආකල්ප වෙනස් කළ යුතුයි. රජය වහාම සියලු පෞද්ගලික ආයතනවලට ආරාධනා කළ යුතු නමුත් කිසිදු පුද්ගලික ආයතනයකට ආරාධනාවක් කර නොමැති බව පෙනෙයි. මේ අවස්ථාවේදී රාජ්‍ය සහ පුද්ගලික අංශය එකමඟක යායුතුයි. රජයේ සේවකයන්ට ඍජුවම දෝෂාරෝපණ නොකළ යුතු අතර, කාලාන්තරයක් පුරා අපි පුරුදු පුහුණු වූ ආකල්ප ක්‍රමවේදයන් වෙනස් කිරීමට සියලු දෙනා වග බලාගත යුතුයි.

ජනතාවට අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේ මිලදී ගැනීමේ මට්ටම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමටයි. මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්න නම් වැටුප් වැඩි විය යුතුයි. එසේ නොමැති නම් භාණ්ඩ හා සේවාවල මිල පහත වැටිය යුතුයි.

මේ අවස්ථාවේදී භාණ්ඩ හා සේවාවල මිල පහත හෙළීමට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු ව තිබෙන බව මෙහිදි සාකච්ඡා කළෙමු. තිබෙන ගැටලුවට හේතුව රජයට ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම බවත් අපි දනිමු. අයිතිවාසිකම් ගැන පමණක් සිතන අපි රට පිළිබඳව ඇති ආකල්ප වෙනස් කළ යුතුයි. අපේ රටේ මේ අර්බුද පවතින කාලයක රටින් ඉවත් වී වෙනත් රටවලට යන බුද්ධිමතුන් උගතුන් රඳවා ගැනීමට වැඩපිළිවෙළක් අවශ්‍ය වුවත් එයට කිසිදු වැඩපිළිවෙළක් නොමැතිවීම කනගාටුවට කරුණකි. තරුණ කථිකාචාර්යවරුන් මෙරටට නැවත ඒම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් පවතී. මෙය ඉතා බරපතළ අර්බුදයකි. මේ ආකල්ප වෙනස් කළ යුතුයි.

ගියවර අය වැයේදී අය වැය කාර්යාලයක් දැමීමට කටයුතු කරන බව යෝජනා වුවත් එවැනි දෙයක් සිදු නොවුණි. ඒ නිසා අය වැය යෝජනාවක් ගෙන එන විට ප්‍රථමයෙන් ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් මුලිකව සිදු කිරීමෙන් අනතුරුව 2024 වසරේ අය වැය ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට සංචාරක කර්මාන්තය, විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීම, අපනයන වැඩි කර ගැනීම මෙන්ම ආනයන සීමා ඉවත් කිරීම මඟින් ද සිදු වෙයි. නමුත් ආනයන සීමා ඉවත් කිරීම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීමට හැකියාව ඇති බව රජයේ විශ්වාසය විය හැකියි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බදු අඩු කිරීම සිදු කරනු ලැබුයේ ද එවැනි අදහසකින් විය හැකියි. එයින් බිලියන 6ක් පමණ රජයේ ආදායම අඩු විය.

මේ රජයේ වියදම වැඩි වීම හා ආදායම අඩු වීම ගැන පමණක් කතා කරන අපි වියදම වැඩි වීමට බලපා ඇති හේතු පිළිබඳව සැලකිලිමත් නොවෙයි. එයට බලපාන බරපතළම හේතුවක් නම් දූෂණය හා නාස්තියයි. එය පහළ සේවකයාගේ නිලධාරීන්ගේ සිට ඉහළ දක්වා වෙනස් විය යුතුයි. දූෂණය, නාස්තිය අඩු වූ විට විශාල සහනයක් ජනතාවට අත්වෙයි.

ආනයන සීමා ඉවත් කිරීමෙන් ඇතැම් ව්‍යාපාරිකයන්ට පිටරටින් භාණ්ඩ ගෙනවිත් නැවත විකිණීමට අමුද්‍රව්‍ය ගෙන ඒමේ හැකියාව ඇති නිසා නිෂ්පාදන සඳහා සහනයක් වෙයි. එයින් කිසියම් ආකාරයක දිරි ගැන්වීමක් වුවත් සීමිත ඩොලර් ප්‍රමාණය පවතින අවස්ථාවක නැවත රටින් එම ඩොලර් ප්‍රමාණ්‍ය එළියට යාම ද මෙහිදී සිදු වෙයි. දේශීය ආර්ථිකයට නැඹුරු වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම මෙහිදී වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන කරුණ වෙයි. අපනයන අභිමුඛ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම වැදගත් වෙයි. වටිනාකමින් ඉහළ අගයක් ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සහ අපනයනය කිරීම තුළින් අපිට යම් කාලයකදී නැවත නැඟී සිටීමට හැකියාව ලැබෙයි. වෙළෙඳ ශේෂයට යම් බලපෑමක් ඇති නොවන ආකාරයට අපි කටයුතු කළ යුතුයි.

අපේ රටේ මෑතකාලීන හොඳම රාජ්‍ය ආදයම 2019 වසරේදී ලබාගෙන ඇත. එයින් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා 85%ක් වැය විය. දැනටමත් ඒ වැටුප් සහ විශ්‍රාම වැටුප් ඒ ආකාරයෙන් ගෙවීමක් සිදු වෙයි. අද වන විට අපේ ආදායම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇත.

අනෙක් කරුණ නම් වැටුප් වැඩි වීම පමණක් අපේක්ෂා නොකර මේ අවස්ථාවේ තමන්ගේ කාර්යක්ෂමතාව ගැන ද සිතිය යුතුයි. වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අපේක්ෂාව අතිශයින්ම සාධාරණයි. නමුත් තමතමන්ගේ සේවාවන්වල ඵලදායිතාව, කාර්යක්ෂමතාව ඉහළ දමා ගැනීමට කටයුතු කර නැත. රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කිරීමක් ඉල්ලුවත් එය සාධාරණීකරණය කළ ද සියල්ලෝම අපේ සේවයේ ගුණාත්මක මට්ටම ඉහළ දමා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් කොතරම් වැටුප් වැඩි කිරීම් ලබා දුන්නත් අපේ ඵලදායිතාව අංශු මාත්‍රයකින්වත් ඉහළ නොයයි. ඒ නිසා වැටුප් වැඩිවීමට සමාන්තරව රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. අද දවසේ අපි කළ යුත්තේ තමතමන්ගේ වගකීම් කොටස හඳුනා ගෙන ඉටු කිරීම යි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි කිරීම අසීරු කරුණක් නොවෙයි. රාජකාරි කාලයේදී තමතමන්ගේ රාජකාරි කොටස හරියාකාරව ඉටු කරන්නේ නම් එය වඩා වැදගත් වෙයි. එක් අයකු රාජකාරී කාලයෙන් පැයක් පුද්ගලික කාර්යයක් සඳහා වැය කළ හොත් දවසට රාජ්‍ය සේවයට අහිමි ශ්‍රම පැය ගණන ලක්ෂ පහළොව ඉක්මවයි.එවිට කොතරම් ශ්‍රම පැය ගණනක් රටට අහිමි වන්නේ ද? රටට අහිමි වන ආදායම කොතරම් ද යන්න දෙවරක් සිතිය යුතුයි. වැඩ කරන ජනතාව ලෙස අපි ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මෙවැනි අර්බුදයකින් ගොඩ එමින් පවතින අවස්ථාවක අපි වැඩ කරන ජනතාව ලෙස රට පිළිබඳව සිතා කටයුතු කළ යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division