Home » දේශීය සිනමා කර්මාන්තයේ 20 වැනි මහා කලා මංගල්‍යය

දේශීය සිනමා කර්මාන්තයේ 20 වැනි මහා කලා මංගල්‍යය

සම්මාන 53කට රුපියල් ලක්ෂ 71ක් වටිනා මුදල් ත්‍යාග

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

විවිධාකාර දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙමින් පැමිණි හැත්තෑහය වසරක ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය සිනමා කලාකරුවන්ට පිදෙන ගෞරවනීයම උපහාරය වන ජනාධිපති සම්මාන උලෙළ ලබන නොවැම්බර් 14 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. ජනාධිපති සිනමා සම්මාන උලෙළ මෙරට දේශීය සිනමා කර්මාන්තයෙහි විශාලතම කලා මංගල්‍යය වන අතර, රාජ්‍ය අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන්ට සම්මාන සහ මුදලින් තිළිණ පිරිනමන එකම සම්මාන උලෙළ ද වේ.

ජනතා ආකර්ෂණය දිනාගත හැකි නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ අධීක්ෂණය අනුව ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජනාධිපති සිනමා සම්මාන උලෙළ සංවිධානය කෙරේ. මෙය සිනමා කලාකරුවන්ට පිදෙන ගෞරවනීයම උපහාරය වන බැවින් සම්මානයට පාත්‍රවන සහ ඊට සහභාගි වන කලා ශිල්පීන්ට ඉහළම ගෞරවය හිමිවන ආකාරයට සහ හැකිතාක් පිරිමැසුම්දායක ලෙස සම්මාන උලෙළ සංවිධාන කරන ලෙස ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් සංවිධායක මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

මෙවර සම්මාන උලෙළේදී 2019 සහ 2020 වසරවල තිරගත වූ චිත්‍රපට 42ක් අතරින් තෝරා ගන්නා චිත්‍රපට සඳහා සමස්ත සම්මාන 53ක් සඳහා රුපියල් මිලියන 7.1ක මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.

මේ වසරේ ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 20 වැනි වරට වන අතර, අවසන් වරට මෙම සම්මාන උලෙළ පවත්වනු ලැබුවේ 2019 වසරේදීය. වසර හතරකට පසුව මේ වසරේ පැවැත්වෙන ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත මෙරට සිනමා කලා ශිල්පියකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මානය සමඟ මීට පෙර සම්මාන උලෙළවලදී පිරිනැමූ මූල්‍ය ත්‍යාගයට වඩා වැඩි මුදලක් පිරිනැමීමට පියවර ගත් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, නීතිඥ දීපාල් චන්ද්‍රරත්න පැවසීය.

ප්‍රදර්ශනය සඳහා මුදා හරිනු ලබන චිත්‍රපට ඊට අදාළ වර්ෂ තුළදී ඇගැයීමකට ලක් කර එම සිනමා කෘතීන්ට විවිධ අංශ යටතේ දායක වූ රංගන හා කාර්මික ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතා ඇගැයීම සහ ප්‍රණාම දැක්වීම මෙම සම්මාන උලෙළේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව මෙවර සම්මාන උලෙළේදී 2019 වසරේදී ප්‍රදර්ශනය කළ චිත්‍රපට 30ක් සහ 2020 වසරේදී තිරගත වූ චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් ඇගැයීමට පාත්‍ර වේ.

ඒ ඇසුරෙන් අංශ 25ක් යටතේ ඇගැයීම් කර සම්මාන 25ක් පිරිනැමෙන අතර, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම ගීත රචක ආදී ප්‍රධාන අංශ 19ක් යටතේ සම්මාන 19ක් පිරිනැමේ.

සෙසු සම්මාන 06 වෙන් වන්නේ උත්තම ප්‍රේක්ෂක ප්‍රතිචාර, විශේෂ ජූරි කුසලතා සම්මාන, කුසලතා සම්මාන, පුරෝගාමී සම්මාන, විශ්ව කීර්ති සම්මාන සහ ස්වර්ණ සිංහ සම්මානය වෙනුවෙනි.

පුරෝගාමී සම්මාන සහ ස්වර්ණ සිංහ සම්මාන කලාකරුවකුගේ ජීවිතය තුළ වරක් පමණක් පිදෙන සම්මාන වන අතර, එයින් ස්වර්ණ සිංහ සම්මානය පිරිනැමෙන්නේ වසරකට එකක් පමණි.

පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් පිරිනමන සම්මානය එක් වසරකදී පුද්ගලයන් දෙදෙනකුට පිරිනැමේ. විශේෂ ජූරි කුසලතා සම්මානය සහ ජූරි කුසලතා සම්මාන ද්විත්වය ජූරියේ අභිමතය මත තීරණය වේ. විශ්ව කීර්ති සම්මානය පිරිනමනු ලබන්නේ සලකා බලනු ලබන වර්ෂයේදී පිළිගත් ජාත්‍යන්තර සම්මාන උලෙළේදී ඇගැයීමට ලක්වූ චිත්‍රපට වෙනුවෙනි.

විද්වතුන් පස් දෙනකුගෙන් සමන්විත ජූරි සභාව විසින් අදාළ සිනමාපට නරඹා ඒවා ඇගැයීමට ලක් කිරීම ඉකුත් අගෝස්තු 20 වැනිදා ආරම්භ විය. මෙවර සම්මාන උලෙළේ අනුග්‍රාහකත්වය දරන්නේ ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් වන ගොඩකන්ද හර්බල්ස් පුද්ගලික සමාගමයි.

වසර හතරකට පසු පැවැත්වෙන මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ අභියෝග අතරෙන් දිවෙන ලාංකේය සිනමාවේ හෙට දවසට සුබ පෙර නිමිත්තක් වනු ඇත.

   

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division