Home » වැස්ස අස්සේ මතක් වුණු ඉන්ද්‍ර ගුරුළුවේ නිධාන කතාව

වැස්ස අස්සේ මතක් වුණු ඉන්ද්‍ර ගුරුළුවේ නිධාන කතාව

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment
මාටින් ගුරුන්නාන්සේ කී ඉන්ද්‍ර ගුරුළුවේ නිධාන කතාව මට මතක් වූයේ වැස්ස දෙස බලාගෙන කල්පනාවේ නිමග්නව සිටියදීය. සිතුවම චමලි තෙන්නකෝන්

වර්ෂාව නවතින මානයක් නැත. පාසලේ බොහෝ ඩෙස් පුටු තනිවමය. එදිනෙදා දිවිපෙවෙත ගැටගසාගත නොහැකිව මේ ගම්වාසීහු විඳින ගැහට මා නෙතඟට කඳුළක් ගෙනේ. මා ඉස්කෝලෙ හාමිනේගෙන් ලද පුස්කොළ පොත් කීපයක් රැගෙන ආවත් ඒවා කියවීමේ හැකියාවක් නැති බව මට පෙනේ. ගිය සතියේ මාටින් ගුරුන්නාන්සේ ‘ඉන්ද්‍ර ගුරුළුව’ ගැන කළ පාඩම මා සිත් ගත්තේය.

“මහත්තයා දන්නවද ඉන්ද්‍ර ගුරුළුව ගැන” ඔහු එසේ අසන විට මා කුමන පිළිතුරක් නම් දෙන්නද? ඔහුම ඊට පිළිතුරු සැපයුයේ මාව අපහසුතාවට පත් කිරීම නුසුදුසු යැයි සිතූ නිසාවෙන් විය යුතුය. “මහත්තයා ඔය වචන දෙකේ ලොකු අර්ථයක් තියෙනව. ඒත් ගැඹුරුම අර්ථය මම දැන් කියන්න යන්නෙ නෑ. මහත්තයට තේරුම් ගන්නත් පුළුවන් වෙන්න මෙහෙම මතක තියා ගන්නකෝ. ‘ඉන්ද්‍ර‘ කියන්නෙ නැඟෙනහිර දිසාවට. ඒ දිශාවට අධිපති දේවතාවුන් වහන්සේගේ නම ඉන්ද්‍රා අට දිශාවටම මේ වගේ අධිපති දේවතාවුන් වහන්සේලා ඉන්නව. ‘ගුරුළු‘ කියන්නෙ එක පැත්තකින් විෂ්ණු දෙවියන්ගේ වාහනය කියා සිතන දේවතාවෙක්. අපි දැනට පක්ෂියෙක්, කුරුල්ලෙක් කියා හිතමුකො. නැඟෙනහිර ප්‍රධාන කරගෙන ගුරුළු පක්ෂියා මුල්කරගෙන ගණින ගණිත ක්‍රමයක් තමයි ඉන්ද්‍ර ගුරුළුව කියන්නේ.“

“ඒත් කමල් මහත්තයා මේ අර්ථකථනය ඉතාමත් ළාබාල මට්ටමේ එකක් කියල හිතාගත්තට කමක් නැහැ. මම මහත්තයට මේක ඉස්සර වෙලාම කියා දෙන්න හිතුවෙ ජ්‍යොතිෂයට වගේම මන්ත්‍ර ශාස්ත්‍රයට තවත් ආශාවක් ඇති කරන්න… ගෞරවයක් ඇති කරන්න ඕනි නිසා. මේක මහ පුදුම ශාස්ත්‍රයක්. හිතූ හිතූ වැඩ කරගන්න පුළුවන් ශාස්ත්‍රයක්. මේක දැනගත්තහම තම තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු වුණත් සාර්ථක කරගන්න පුළුවන්. භාරතයේ යම් ඉගැන්වීමක් තියෙනවා ‘ඉන්ද්‍ර ගරුඬ‘ කියලා. ඒත් මේ ශාස්ත්‍රය රාවණ රජ්ජුරුවන්ගෙ සීයා, ඒ කියන්නෙ පුලස්ති මහ සෘෂීන් වහන්සේ ලෝකයට දුන්න කියල තමයි අපේ පොත්පත්වල ලියැවිලා තියෙන්නෙ. රාවණ රජ්ජුරුවන්ගේ පුතා ඉන්ද්‍රජිත් ඒ කියන්නෙ මේඝනාද… මේ ඉන්ද්‍ර ගුරුළු ශාස්ත්‍රයෙන් ගරුඬ පාෂාණයක් යවලා ඉන්ද්‍ර කියන දෙවියන්ව මරා දැම්මලු. ඒක නිසාත් මේ ශාස්ත්‍රයට ඉන්ද්‍ර ගුරුළුව කියල කියනව කියල මතයක් සමාජයේ තියෙනවා. ඒත් ඒක ශාස්ත්‍රීය මතයක් වශයෙන් පිළිගන්න බැහැ.“

“මහත්තය දන්නවනෙ අපිට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියල ලග්න දොළහක් තියෙනවනේ. අපි විශ්වාස කළත් නොකළත් කේන්දර බැලුවත් නැතත් ඔය ලග්න දොළහෙන් එකක් අපි කාටත් හිමි වෙනවා. ඒ වගේම මහත්තයා අපේ ලෝකයේ හැම සෙල්ලමක්ම කරන්නේ ඉලක්කම් නවයකින්නේ.

ඔය බටහිර ඇත්තෝ වාසනා අංකය, දෛව අංකය කියල ප්‍රසිද්ධ කරගෙන ඉන්නෙ ඒක. අපි කාටත් ඔය ඉලක්කම් නවයෙන් එකක් අයිති වෙනවා. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. ඒත් මතක තියාගන්න ඕනි ඉලක්කම් නවයක් නෙවේ දහයක් තියෙනවනෙ. ඇයි බිංදුවක් මහත්තයත් ඉතින් ගණිතය කරන කෙනානෙ.“

ඉතින් ඔහුගේ වදන් වැල් මා දෙසවනෙහි රැව් දෙයි. ඔහු කී පරිදි අපි කවුරු නමුත් ගුරුළු – බළල් – සිංහ – දිවි – නයි – මී – ගජ – මුව කියන අට දෙනාගෙන් කෙනෙකුට අයිති වේ. ගුරුළු පක්ෂියාට, බළල් පක්ෂියාට, සිංහ පක්ෂියාට යනාදී වශයෙන් ඒ අට නම් කරනවා. ගුරුළු නම් පක්ෂියෙක්. ඒත් බළල්, සිංහ, ඇත්, මී, මුව යන සත්තු පක්ෂීහු වන්නේ කෙසේදැයි මා මාටින් ගුරුන්නාන්සේගෙන් විමසුවෙමි.

“මහත්තය ඇසුවේ බුද්ධිමත් ප්‍රශ්නයක්. ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒත් මහත්තයා යම් විෂයක් ඉගෙනගන්න කොට සමහර කරුණු ඒ ආකාරයෙන්ම මුලින් හෙළි කරන්නෙ නැහැ.“ ඒ ඔහුගේ වදන මට සිහි වේ. ගුරුන්නාන්සේ පවසන විදිහට යම් ශාස්ත්‍රයක් ඉගෙන ගන්නා විට ‘සුත්‍ර’ සහ ‘අංග සුත්‍ර’ කියා දෙකොටසක් වේ. සුත්‍ර පළමුව අවබෝධ කරගෙන අංග සුත්‍ර විමසිය යුතුය. කෙසේ නමුත් මේ අට දෙනාගෙන් අපට හිමි පක්ෂියා සොයන ක්‍රම රාශියක් තිබෙන බවත් එය විවිධ බවත්, භාවිතය එකිනෙකට වෙනස් බවත් පැවසු ඔහු එක් ක්‍රමයක් මට නිර්දේශ කරන ලදී. මා එය මෙසේ සටහන් කර ගත්තෙමි.

ඕනෑම පුද්ගලයෙකුට නමක් තිබේ. මේ නමේ ඇති අකුරු, ස්වර සහ ව්‍යාංජන වශයෙන් දෙකොටසකි. මගේ නම ‘කමල්’ ය. එය ක්+අ+ම්+අ+ල් – කමල් වේ. මා සඳමාලිගේ නම මෙසේ ගොනු කළෙමි. ස+අ+න්+ද්+අ+ම්+අ+ල්+ඉ – සඳමාලි දැන් මේ අකුරුවලට ලබාදෙන අගයන් ඊට තවරා, ලබා දී අටෙන් බෙදාගත යුතුය. අ, ඉ, උ, එ, ඔ අකුරු පහටම 1 හිමිය. ක, ග අකුරු සඳහා 2 හිමිය. ච, ජ අකුරු සඳහා 3 හිමිය. ට, ඩ, ණ සඳහා 4 හිමිය. ත, ද, න සඳහා 5 ද, ප, බ, ම සඳහා 6 ද හිමි වේ. ය, ර, ල, ව සඳහා 7 ද ශ, ෂ, ස, හ අක්ෂර සඳහා 8 අගය ද ලබාදිය යුතුය. මෙසේ ක්+අ+ම්+අ+ල් යන අකුරුවලට අගයන් ලබා දෙන විට 2+1+6+1+2 =12 කි. එය අටෙන් බෙදු විට ඉතිරි වනුයේ සතරකි. ඉතිරි වන සංඛ්‍යාව අනුව පක්ෂියා තෝරා ගැනේ. ස+අ+න්+ද්+අ+ම්+අ+ල්+ඉ යන නමට ඉලක්කම් ලබා දුන්නොත් 8+1+5+5+1+6+1+2+1 = 30 කි. 8න් බෙදු විට 6ක් ඉතිරි වේ.

මෙසේ ඕනෑම නමක ස්වර සහ ව්‍යාංජන වෙන්කර ඒ ඒ අකුරුවලට හිමි අගය ලබාදී අටෙන් බෙදා නමට හිමි ගුරුළු පක්ෂියා තෝරාගත යුතුය. 1ක් ඉතිරිවේ නම් පක්ෂියා ගුරුළුය. 2ක් නම් බළලාය.

මෙසේ ක්‍රමයෙන් සිංහ, දිවි, නයි, මී, ඇත්, මුව පක්ෂීන් හිමිවේ. මෙහි ඉතිරි නොවේ නම් මුවා වේ. ඉදින් මගේ නාම පක්ෂියා දිවියාය. සඳමාලිගේ නමේ අගයන් අටෙන් බෙදු කල 6ක් ඉතිරිවේ නම් මීයා වේ.

මාටින් ගුරුන්නාන්සේ ඉන්ද්‍ර ගුරුළුව ගැන කී කතා හරිම රසවත්ය. මගේ සිත ඒ දෙසට නැමී පවතී.

ඔහු එම ශාස්ත්‍රය භාවිත කර කළ කී දෑ කීපයක් මා හට පැවසුවේ මාගේ ආශාව වැඩිකර වීමට බැව් මට දැනෙයි.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division