Home » අල්ලේ පිහිටි ලප හෙළිකරන ජීවන තොරතුරු

අල්ලේ පිහිටි ලප හෙළිකරන ජීවන තොරතුරු

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– අල්ලේ කළු ලප අසුබයි දුඹුරු ලප එතරම් අසුබ නෑ
– රවි මණ්ඩලයේ ලපයෙන් නින්දා අපහාස
– මැදඟිල්ලේ මුල ලපයෙන් හදිසි අනතුරක් පෙන්නුම් කරයි

අල්ලේ පිහිටන ‘රේඛා මණ්ඩල‘වල ස්වභාවය මෙන්ම අල්ලක පිහිටන විවිධ සලකුණු මඟින්ද කෙනෙකුගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන්ද විග්‍රහ කළ හැකිය. මේ අයුරින් පිහිටන ලප සලකුණු සමහර අයගේ අල්ල මත දැකිය හැක. බොහෝ විට ඒ පිළිබඳව ඔබ නොසලකා හැරියත් ඒ තුළින් ඔබේ ජීවිතයේ වැදගත් සිද්ධීන් අනාවරණය වෙයි.

‘ලපය‘ කියා හැඳින්වුවත් සෑම ලපයක්ම රවුම් ආකාර නොවේ. නොයෙකුත් හැඩයට ඒවා පිහිටිය හැකිය. සමහර ඒවා දිගටි හැඩයෙන්ද සමහර ඒවා තිතක් මෙන්ද පිහිටිය හැක. සමහර ලප ප්‍රමාණයෙන් ලොකු වුවත් පුංචි ලපද දැකිය හැකිය. පාට ගැන කිව යුත්තෙත් එපරිදිමය. හැම ලපයක්ම කළු නොවන අතර රතු පාට ලපද පිහිටිය හැකියි. අල්ලේ පිහිටි කළු පාට ලපවලින් අසුබ පල වැඩි වන අතර දුඹුරු හෝ රතුපාට ලපවලින් එතරම්ම අශුභ තත්ත්වයක් සිදු නොවන බව හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි.

ඇතැම් පුද්ගලයන්ගේ අත්වල උපතින්ම ලප පිහිටිය හැකි අතර ඇතැමුන්ගේ ටික කලකට පසු ලප ඇතිවිය හැකිය. මේ අයුරින් කුමන විදියේ ලප වුවත් අල්ලෙන් එම ලප දර්ශනය වන තාක්කල් ඒවායෙහි විපාක ලැබෙන බව විශේෂයෙන් අමතක නොකළ යුතුය. මේ අයුරින් අල්ලේ එක් එක් ස්ථානවල ලප වැටීමෙන් ඇතිවන පලාපල කෙසේද කියා දැන් අපි සලකා බලමු.

මණ්ඩල මත

1. මේ සමඟ පළවන රූප සටහනේ (1) සටහන් කර ඇති ස්ථානය දෙස දැන් බලන්න. එය ගුරු මණ්ඩලයයි. ගුරු මණ්ඩලය මත වැටෙන එම ලපය සුබ පිහිටීමක් නොවේ. කොපමණ සැප සම්පත් තිබුණත් නිරන්තරයෙන්ම එය මානසික පීඩාවක් ඇති වීමට හේතු වෙයි.
2. මැදඟිල්ලේ මුල පිහිටියේ ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයයි. ඒ මත පිහිටි ලපයෙන් හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවන බව පෙන්නුම් කරයි.
3. නොයෙකුත් විදියේ නින්දා, අපහාස විඳීමට සිදුවන බැවින් රවි මණ්ඩලයටත් ලපය අසුබය. එවැන්නන්ගේ ඇස්වල ආබාධ ඇතිවන අතර සමහර විට ඇස් අන්ධ වීමට ද හේතු වෙයි.
4. අංකය සටහන් වී ඇත්තේ බුධ මණ්ඩලයේය. ලප සලකුණ එම ස්ථානයේ පිහිටීම ස්නායු දුර්වලතා ඇති වීමට හේතු වන්නකි.
5. කැපීම්, කැඩීම්, වැටීම් වැනි දෙයකින් තුවාල සිදු විය හැකි බැවින් දෙවැනි කුජ මණ්ඩලයටත් ලපය අශුභය.
6. චන්ද්‍ර මණ්ඩලයේ කළු හෝ රතු ලපයෙන් හදිසි විපතක් මූර්තිමත් වෙයි. අනුන් හට ණය වී මානසිකව පීඩා විඳින අයගේ අත්වලද එවැනි සලකුණු පිහිටිය හැක.
7. යම් යම් සමාජ රෝගවලින් පීඩා විඳින අයගේ අත්වල සිකුරු මණ්ඩලය මත කළු ලප දැකිය හැක. එම ලප දුඹුරු පැහැයෙන් යුතු නම් ඔහු හෝ ඇය නෂ්ටකාමයෙන් පෙළෙන අයෙකු බව සඳහන් වෙයි.
8. වැනි අංකය සඳහන් ස්ථානය අයත් වන්නේ පළවැනි කුජ මණ්ඩලයටයි. කුජ ග්‍රහයා සටන්කාමියෙකි. මේ නිසා තුවක්කු, කඩු, කිනිසි වැනි අවි ආයුධවලින් මරණයට පත්වන අයගේ අත්වල මෙම කුජ මණ්ඩලයෙහි කළු පාට ලප පිහිටිය හැක.
9. මෙම ස්ථානය කුජ තලාව ලෙස හඳුන්වයි. මෙයත් කුජ ග්‍රහයාගේ බලපෑම් ලබන ස්ථානයකි. අල්ලේ මැද පිහිටි කුජ තලාවේ ඇතිවන ලපයෙන් නඩුහබ හෝ සතුරු කරදර ඇතිවන බව පෙන්වයි.
10. මහපට ඇඟිල්ලේ නිය පිහිටි පුරුකේ ඇති ලපයෙන් කියැවෙන්නේ එම අයට ස්නායු දුර්වලතාවක් ඇති බවයි.
11. කරන කියන කටයුතු සියල්ල නිෂ්ඵල වන බව දබර ඇඟිල්ලේ නිය පිහිටි පුරුකේ පිහිටි ලපයෙන් කියාපායි.
12. මෙම ස්ථානයේ ලපය ඉතා අශුභය. ඉතා සමීපව ඇසුරු කරන අයෙකුට විපතක් සිදු විය හැක.
13. එම ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ ලපයද අශුභය. රැකියා සම්බන්ධ අවුලකි.
14. එම ලපයෙන් ඔහුට හෝ ඇයට මැලේරියාව වැනි බෝවන රෝගයක් වැළඳිය හැක.
15. ජල යාත්‍රාවක ගමන් කරමින් සිටින අවස්ථාවක සිදුවන අනතුරක් පෙන්නුම් කරයි.
16. පදිංචි ස්ථානයට සම්බන්ධ සතුරු කරදර බලපාන බව පෙන්වයි.
17. වෙදඟිල්ලේ එවන් ලප නිසා ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටෙන බව මතක තබා ගන්න.
18. සමාජ තත්ත්වයේ කිසියම් බිඳ වැටීමකට හේතු වෙයි.
19. ඇස්, කන්, නාසය වැනි හිසට සම්බන්ධ ඉන්ද්‍රියක ආබාධ ඇති වේ.
20. සුළැඟිල්ලේ නිය පිහිටි පුරුකේ ලපය අධ්‍යාපන කටයුතුවලට අශුභය.
21. දුරදිග නොබලා කරන කටයුතුවලින් කරදර ඇති විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
22. ජලය, ගිනි, සුළි සුළං වැනි ස්වභාවික හේතුවකින් ලොකු අලාභයක් සිදුවේ.

රේඛා මත ලප සලකුණු

කිසිම රේඛාවකට ලපයේ සලකුණ සුබ පිහිටීමක් නොවේ. උමතු රෝග හෝ උණ රෝග වැළඳීමට හේතු වන බැවින් ජීවන රේඛාවට කළු ලපය අශුභය. ශීර්ෂ රේඛාවටත් ලපය අශුභය. මොළයට සම්බන්ධ රුධිර නාලවල දුර්වලතාවන් නිසාද එවැනි ලප පිහිටයි. හෘදය රේඛාව මත කළු ලපයක් පිහිටීම හෘදයාබාධයක් හෝ වකුගඩු සම්බන්ධ රෝගයක් ඇති බව පෙන්නුම් කරන අතර දෛව රේඛාවේ ලප දර්ශනය වේ නම් අදාළ වයස් සීමාවේදී තමාගේ ජීවන තත්ත්වයේ පහත වැටීමක් ප්‍රකට කරයි. සුඛ රේඛාවේ දිස්වන රක්ත වර්ණ ලපවලින් රක්ත වාතයෙන් පෙළෙන රෝගියෙකු හඳුනාගත හැකිය. ඉහත ලපවලින් හෙළිවන දෝෂ මඟ හැරෙන විදියේ වෙනත් සුබ ලක්ෂණද සමහර අයගේ අත්වල පිහිටිය හැකි බැවින් සමස්තයක් වශයෙන් අනිකුත් ලක්ෂණ ද බලා පලාපල ප්‍රකාශ කළ යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division