Home » රාහු කේතු ග්‍රහ මාරුව: අපලවලින් වළකින්න මේ වත්පිළිවෙත් නිවැරැදිව ඉටු කරන්න

රාහු කේතු ග්‍රහ මාරුව: අපලවලින් වළකින්න මේ වත්පිළිවෙත් නිවැරැදිව ඉටු කරන්න

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– රාහු කේතු ග්‍රහ අපල වළක්වන ශාන්තිකර්මය
– බෝධි පූජාව නිවැරදිව තබන්නේ මෙහෙමයි

මේ රාහු කේතු ග්‍රහ මාරුව හේතුවෙන් ඇති වන අපල තත්ත්වයන්ට පහත සඳහන් ග්‍රහ ශාන්තිකර්ම අනුගමනය කළ හැකිය. එම නිසා ඉතා කල්පනාකාරීව ආගම-දහමට මුල් තැන දෙමින් ඉවසිලිවත්ව කටයුතු කිරීම තුළින් ඉහත දැක්වූ අපල-උපද්‍රව අවම කර ගත හැකිය.

ඒ අනුව පහත සඳහන් විශේෂ බෝධි පූජාව සෙනසුරාදා හා අඟහරුවාදා දින 21ක් සවස 6 – 7 අතර නිවැරැදිව තැබීම තුළින් ඔබටත් රාහු කේතු අපල සමනය කර ගත හැකිය.

බුදුරජාණන් වහන්සේට රාහු, කේතු ග්‍රහ අපල වෙනුවෙන් බෝධි පූජා තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න.

තමන්ට පහසුවෙන් යාමට හැකි පුද පූජා පවත්වන නාග රුව සහිත බෝධින් වහන්සේ නමක් තෝරාගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන සහ අදාළ ස්ථානද පිරිසිදු කිරීමෙන් අනතුරුව අගිල් මිශ්‍ර සුවඳ දූපයක් දල්වා සුවඳ දුම් අල්ලා තෙරුවන්ට පිරිසිදු තැඹිලි තෙල් පහන් තුනක් සහ විෂ්ණු, කතරගම දෙවියන්ට, ගම්භාර දෙවියන්ට මෙන්ම තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට එළඟි තෙල් හෝ පස් තෙල් පහන් 05ක් යකඩ හෝ ලෝහයෙන් තැනූ පහන්වල දල්වා නිල්, රතු මල්, නිල්, රතු මල් මාලා, වැටකෙයියා මල් සහ නිල්, රතු කොඩි පුදකර අදාළ බෝධි පූජා ගාථා කියා බෝධි පූජාව තබන්න.
සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කරගත්තා වූ මෙම සියලු පින් තමාගේ/තම දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් තම ආත්ම පාලක දේවතාවුන්ටත් විෂ්ණු, කතරගම දෙවියන්ට හා ගම්භාර දෙවියන්ට පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ පින් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරන්න.

මා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්භාරය මාගේ /මගේ දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේටත් විෂ්ණු, කතරගම දෙවියන්ට හා ගම්භාර දෙවියන්ටත් අත් වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ/මගේ දරුවාගේ පූර්ව ආත්ම භවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර රාහු, කේතු ග්‍රහ අපල සහ ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ /මගේ දරුවාගේ බලාපොරොත්තු ඉෂ්ට කර නීරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල, බාධක දුරු කර ශක්තිය, සැනසීම, සැපත ලබා දුන් මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

නිවසේ දී තෙරුවන් නැමදීමේදී

ඔබ ගව සූකර ඇතුළු මාංස කෑමෙන් සහ මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී ධාර්මික දිවි පෙවතක් ගතකරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස වෙන්කර ගත් වේලාවක් තුළ බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් සහ ගිලන්පස තබා තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව චන්ද පිරිත හා සූරිය පිරිත 07 වරක් හා ජයෝ මුනින්දස්ස ගාථාව බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විට කියන්න.

ඉහත සඳහන් රාහු කේතු ග්‍රහ අපල තත්ත්වයන් සඳහා පහත දැක්වෙන ශාන්තිකර්මයන් අනුගමනය කරන්න.

1. සෙනසුරාදා (ශනිදා) දිනවල උදේ 6/7 ත් අතර එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුළි 8ක් තම හිස වටා/දරුවාගේ හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න )
2. දුගී මගී අත්පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදවු උපකාර කරන්න. (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල්)
3. හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉගිලී යන සතෙකුට කෑමට දෙන්න.
4. හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරාගෙන නිදහස් කරන්න.
5. ගලා යන ජලයේ ජීවත්වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.
6. මහා අභිසම්භිධාන යන්ත්‍රය හෝ ඛන්ධපරිත්ත යන්ත්‍රය 324 වාරයක් හෝ 1080 වාරයක් පිරිත් කරවාගෙන පස්ලෝ සුරයක දමා පැලඳ ගැනීම.
7. නයි පොළොං පත්තෑ ආදී උරගයන්ට හිංසා නොකිරීම හා මරණයට පත් නොකිරීම.
8. වෙහෙර විහාර තැනීමේදී ශ්‍රමයෙන් සහ මුදලින් උපකාර කරන්න.
9. කුඩා දරුවන්ට රසකැවිලි, ආහාර, ඇඳුම් පැලඳුම්, පොත්පත් අවස්ථානුකූලව ලබා දීමෙන් උදවු උපකාර කරන්න.
10. මරණයට සූදානම් කර ඇති ගවයන් සහ අනෙකුත් සතුන් නිදහස් කිරීමට උදවු උපකාර කරන්න. හිංසාවෙන් වැළකී හැකි සෑම විටම සියලුම සතුන්ට කෑම බීම ලබා දෙන්න.
11. ග්‍රහ ශාන්තිකර්මවල නිරත වන දිනවලදී හා අදාළ අපල කාරක ග්‍රහයාගේ අදාළ දිනවල නිර්මාංශ ආහාර ගැනීම ඉතාම සුබදායක වනු ඇත.
12. නිවසේ නිරිත දිශාවේ වැටකෙයියා පැළයක් සිටුවා එයට සාත්තු කරන්න.

මීට අමතරව රාහු ග්‍රහයාගේ අපලය සඳහා

• පුර පක්ෂය අළලා සෙත් කවි කියවීම අරඹා පසළොස්වක දිනයක දෙවියන්ට ඔප්පු කිරීම.
• සුදු මල් පූජා කිරීම.
• ඊතණ හා වැටකේ දලු මිශ්‍ර කොළ වතුර නෑම.
• නාගර්ජුන යන්ත්‍රය හෝ අභිසම්භිධාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.
• දේව කන්නලව්වක් කර පින් දීම.
• ගෝමේද ගලක් ඇල්ලූ පස්ලෝ නාගදරණ මුද්දක් මහා අභිසම්භිධාන යන්ත්‍රය හෝ ඛන්ධපරිත්ත යන්ත්‍රය 324 වාරයක් හෝ 1080 වාරයක් පිරිත් කරවාගෙන පැලඳ ගැනීම.

කේතු ග්‍රහයාගේ අපලය සඳහා

• සෙත් කවි කියවා සෙත් පැතීම.
• කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම.
• ඊතණ කොළොන් කොළ මිශ්‍ර කොළ වතුර නෑම.
• කෙසෙල් පත්‍ර මත සිටගෙන ස්නානය කිරීම.
• ඉදුණු කෙසෙල් සමඟ රසකැවිලි දන් දෙන්න.
• පිරිත් කියවා මළගිය ඇත්තන්ට පින් දීම.
• නවනාථ යන්ත්‍රය නවග්‍රහ යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.
දහඅට වසරකට පසු මීනයට යන රාහු සහ කන්‍යාවට යන කේතුගේ ග්‍රහ අපල ඉහත සඳහන් ග්‍රහ ශාන්තිකර්ම නිවැරැදිව අනුගමනය කිරීම තුළින් සමනය කරගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division