Home » කතාවට වඩා වැඩට දක්ෂ මකර ලග්න හිමියෝ

කතාවට වඩා වැඩට දක්ෂ මකර ලග්න හිමියෝ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– පොළොවටත් වැවිලි කර්මාන්තයටත් ආශාවක් ඇත්තෝ
– කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නෑ
– අන් අය කෙරෙහි ලෙහෙසියෙන් විශ්වාසයක් නොතබයි

නැකත් තාරකා හතකින් සහ පහකින් සමන්විතව නැගෙනහිර ක්ෂිතිජයේ මෙම රාශිය උදා වන විට ඔබ උපත ලබා ඇත්නම් රාශි චක්‍රයේ දසවැන්නට හිමි මකරය ඔබේ ජන්ම රාශිය වනවා ඇත.

චර රාශියකට අයත්ව බලය ලබා ගැනීමේ ආශාව, සෑම දෙයක්ම රැස්කර ගැනීම් සමඟ තමාගේ දුර්වලතාවන් පිටට නොපෙන්වා ලාභ අලාභයන් ගැන චංචල සිත් ඇතිව තමාට ජයග්‍රහණයක් ලැබෙන්නේ නම් ඉදිරියටත් අලාභයක් නම් ක්‍රමානුකූලව පසුබෑමටත් චර රාශි ගුණයේ ලක්ෂණ ඔබගෙන් දක්නට හැකි වනවා ඇත.

මෙම ගුණය නිසාම පෘඨවි රාශියක් වුවද ස්ථිර භාවය අඩුම පෘඨවි රාශිය ලෙසට ජ්‍යොතිෂයේ දක්වා ඇත. ආශාව නිසාම දේපළ රැස්කර ගැනීමට වැඩපළ මඟින් දුක් කරදර වෙහෙස නොබලා කටයුතු කරන්න යෑමෙන් ඒවා ලබා ගැනීමට ප්‍රියතාවක් දක්වන, පොළොවටත්, වැවිලි කර්මාන්තයටත් ආශාවක්, ලැදියාවක් ඇති වුවද, චංචල භාවය නිසා අන් අය කෙරෙහි ලෙහෙසියෙන් විශ්වාසයක් නොතබයි. ඒ නිසාම කිසිම යහපත් මිතුරන් එකතු කර ගැනීමට මොවුන්ට අසීරු වනවා ඇත.

එසේම කතාවට වඩා වැඩපළවල යෙදීමට කැමැත්තක් ඇතිවනවා සේම එම කටයුතු කාරණාවලදී බැරිකමක් දුර්වලතාව, පසුබෑමක් ඇතත් එය පිටට නොපෙන්වා වැඩ කටයුතු කරගෙන යෑමට සමර්ථ භාවයක්ද මොවුන් සතු වනවා ඇත.

පොතපත කෙරෙහි ආශාවක් දක්වයි. එසේම වැඩ කටයුතු කිරීමේදී පොතපතේ ඇති දෙයට පිටින් දෙයක් කිරීමට, අත්හදා බැලීමට මැලිකමක් දක්වනවා ඇත. එසේ වුවද කරන-කියන වැඩවලදී හොඳින් එය ඉටුකර අන් අයගේ ප්‍රශංසා ලැබීමට ආශාවෙන් එම වැඩය හොඳින් ඉටු කරයි. වැඩ කිරීමේදී කතාවට දක්ෂතාවක් දැක් වුවද ක්‍රමානුකූලව එය කරගෙන යෑමට හැකියාවක් නැත.

එසේම කරන-කියන දේවලින් පාඩු ලැබීමට කොහෙත්ම කැමැත්තක් නොමැති නිසා ප්‍රවේශමෙන් එය සිදු කිරීමට වගබලා ගන්නා අතර නියමිත වැඩය නිමකර එයින් ලාබ ප්‍රයෝජන ලැබීම උත්සාහ දරනවා ඇත. කිසිම දෙයක් නොමිලයේ දීමට කැමැත්තක් නැති වුවද තමාට හිතවත් අයට උදවු දීමට ඉදිරිපත් වුවද, තමාට අගහිඟකම් ඇතිවූ අවස්ථාවලදී අන් අයගෙන් උපකාර ඉල්ලා සිටීමට මැළිවන බැවින් එදිනෙදා ක්‍රියාවෙන් කටයුතු කාරණාවලින් තමාගේ වටිනාකම පෙන්වනවා ඇත.

මෙම ගතිගුණ පෙරදැරි කරගෙන වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව, ලාභ ලැබීමට හැකියාව ඇති බවද සිතට ගන්න. එහෙත් එකම දේ ගැන ගැඹුරින් සිතීමට ගොස් පාඩු සිදු කර ගන්නා අවස්ථාවන්ද නැත්තේ නොවේ.

මකර ලග්නය ගැන ජ්‍යොතිෂයේ සඳහන් ආකාරයට ඉතාම බලසම්පන්න ගුණයක් පවතින හෙයින් විශ්ව ශක්තීන් කෙරෙහි යොමු කරන්නාවූ සෑම දෙයක්ම එහි ක්‍රියාකාරිත්වයට පත් කිරීමේ ඇති හැකියාවත් නිසාම මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය වේගවත් වන බැවින්ද, මෙම රාශියට මකර රාශිය යනුවෙන් නම් කර ඇති අතර එම සංකේතයද මේ සඳහා යොදාගෙන ඇති බවද සඳහන් වේ.

උප්පත්තියෙන්ම මකර ලග්න හිමියා තම ලෞකික වශයෙන් උසස් දියුණුවක් ලැබීමට හේතු වාසනාව ඇත. එහෙත් එයද පිහිටන ග්‍රහ චාරය අනුව කාලානුරූපව වෙනස්වීම්වලටද භාජනය විය හැකි බවද පැවසිය යුතුය. බාහිර දේ ගැන සෙවීමට යාමෙන් තමාගේ කටයුතු කාරණාවලට දියුණුවට බාධාවක් ඇතිවිය හැකි ය යන සැකය හේතුකොටගෙන අවට වටපිටාව සමාජය ගැන එතරම් සොයා බැලීමට මොවුන් පෙළඹෙන්නේ නැත. තමාගේ මෙලොව දියුණුව ලබාගැනීමට ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමටය.

එක්තරා අයුරකින් මෙය මොවුන් තුළ ඇති දුර්වලතාවක් වන අතර මෙවන් අවස්ථාවලදී තමාගේ ප්‍රකෘති තත්ත්වය වෙනස් කර පෙන්වීමටද විශේෂ හැකියාවක් ඇත.

මෙම ලග්න හිමියන්ට බ්‍රහස්පති හෙවත් ගුරු මෙම රාශියේ ගමන් කරන කාලය තුළ පහත් හැඟීම් ඇති කිරිමත්, බුධ, ශුක්‍ර, කුජ ග්‍රහයන් මෙසේම රාශිගත වීමෙන් සිත්සතන් අවිද්‍යාවෙන් භව තෘෂ්ණාවෙන් පීඩිතව චේතනාව වේගවත් වීමෙන් මෙම පුද්ගලයන් ප්‍රපාතයට ඇද වැටීමෙන් තමන් හට බොහෝ පාඩු, විපත් සිදුකර ගැනීමට සිදුවිය හැකි නිසා එවන් වකවානුවල කල්පනාවෙන් තමාගේ කල්ක්‍රියාව යහපත් ලෙස ගෙන යන්න සිතට ගන්න.

මෙම ලෞකික හැඟීම් බොහෝ විට පෝෂණය වනුයේ සිකුරු තම තාරක බලයන් කුජ හෙවත් අඟහරුට සිවුවැනි භාවය සහ එකොළොස්වැනි භාවය හිමි වීමත් හේතු කොටගෙනය.

මේ දෙදෙනා සංයෝග වීමෙන් ලග්නගතව ඇත්නම් ලග්න හිමියන්ට උසස් සැප සම්පත්ද, සිවුවැන්නේ යෙදුණහොත් ඉඩකඩම්, වස්තුව, යානවාහන අතුළු සියලු සැප සම්පත් සහිතව ජීවිතය ගෙන යෑමට වාසනාව ඇති බවද දක්වා ඇත. එහෙත් මෙම සංයෝගය හත්වැන්නට එතරම් සුබ නැත. විවිධ ආකාරයෙන් කම්සැප විඳීමට රුචියක් ඇතිවීම නිසා බොහෝ විට විවාහ ජීවිතය, හිත මිතුරු ඇසුර අවුල් සහගත තත්ත්වයකට පත්වීමට බොහෝ ඉඩ ප්‍රස්ථාව ඇති බැවින් ඒ ගැනද කල්පනාකාරීව ජීවිතය ගෙන යෑමට සිතට ගන්න.

එසේ වුවද ශනි හෙවත් සෙනසුරු මෙම ලග්න කේන්දරවල දෙවැන්නට අධිපතිත්වය දරන නිසා මාරක විපාකද ගෙන දීමට ඇති ඉඩ ප්‍රස්ථාවද, සිකුරු සමඟ යෙදීමෙන් සෙනසුරුගේ බලය උසස් තත්ත්වයකට පත්කරන බලයක් ඇති වුවද එයද මාරක විපාකයන් හට මුහුණ දීමට ජන්මියා පොළඹවන අතරම සිවුවැනි භාවයේ යෙදුණහොත් ස්නායුගත ආබාධයන්ට මුහුණ දීමට සිදු වුවද තමාගේ ආර්ථික ශක්තිය යහපත් වීමෙන් සැප සම්පත් ලබා දීමද සිදු කරනවා ඇත. ගුරු හෙවත් බ්‍රහස්පති සුබදායක අයෙක් වුවද මෙම ජන්මියාගේ කේන්දරයේ බලවත් උපචය ස්ථානයක් වූ තුන්වැන්නත් දොළොස්වැන්නත් ගුරුට හිමිවීම නිසා ගුරු මකර ලග්න හිමියන් හට පාපී ග්‍රහයකු වනවා ඇත.

යම් ආකාරයකින් ගුරු සමඟ, සිකුරු සමඟ යෙදුණහොත් සිකුරුගේ ඉෂ්ට බලය හීන වීම නිසා ජන්මියාගේ සුඛ විහරණය හීනවීමට බොහෝ සෙයින් බලපානවා ඇත.

මෙම ලග්නයෙන් උපත ලද කාන්තාවන්ද එක්තරා ආකාරයක විෂම ගති ලක්ෂණවලින් යුත් අය වනවා ඇත.

මස්, මාංශවලට දැඩි ගිජුකමක් දක්වන ඔතෑනි සියුමැලි භාවයක් දක්වන්නේ වුවද අන්‍යයන්ගේ හැඟීම් පාලනය කරගෙන ජීවත්වීමට යෑමෙන් ඔවුන්ගේ කාමාධික බව දැඩි වුවද පිටතට නොපෙන්වා සිටීමටද දක්ෂය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division