Home » පෞරුෂ අංක 2 හිමියෝ හිතහොඳ ඇත්තෝ

පෞරුෂ අංක 2 හිමියෝ හිතහොඳ ඇත්තෝ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– ඉහළ රසඥතාවකින් යුක්ත අය
– කාගෙත් සිත් රිදවීමට අකමැතියි
– ඇසුරු කරන අය අතර ඉතාම ජනප්‍රියයි

පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයාගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු

රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය.

ඊට උදාහරණයක්ද පළ වේ.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි ඔබ පෞරුෂ අංක 2 හිමි ඔබ ඉතාමත් සාමකාමී, එලෙසම කලබලයක් නැති බොහොම සංවේදී, නිවුණු පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බව සඳහන් කළ හැකිය. ඔබ කිසි විටෙකත් අන් අය සමඟ වාද විවාද කිරීමට හෝ තර්ක විතර්ක කිරීමට යාම එතරම් යහපත් නොවේ. තම ආත්ම ගරුත්වය උපරිමයෙන් ආරක්ෂා කරගැනීමට ඔබ උත්සාහ දරයි. අන් අය අතර අගැයීමට ලක් වෙනවාට පෞරුෂ අංක 2 හිමියන් ඉතා ප්‍රිය කරයි. මනා ලෙස තම චිත්ත වේග පාලනය කරගෙන කටයුතු කිරීමට ඔබ දක්ෂ වෙයි.

ඉතාමත් ඉහළ රසඥතාවක් සහ හොඳ හදවතක් සහිත පුද්ගලයෙක් ලෙස පෞරුෂ අංක 2 හිමි ඔබ හඳුන්වා දීමට හැකිය. කිසි විටෙක කාගෙවත් සිතක් රිදවීමට කැමති නොවේ. නිහඬ නිසංසල සොබා සෞන්දර්යයෙන් අනූන පරිසරයක් තුළ ජීවත් වීමට ආසා කරයි. ඒ වගේම එවැනි තැන්වල සංචාරය කිරීමට ද ඉතා කැමතිය. කලබලකාරී ඝෝෂාකාරී හිත අවුල් කරන තැන්වල සිටීමට ප්‍රිය නොකරයි. නිදහසේ කාටත් කරදරයක් නොවී තම පෞද්ගලික ජීවිතය ගෙවීමට ඉතා කැමතිය.

ස්වභාවයෙන්ම ඔබ ඉතා හොඳ සමාදානකාරයෙක් ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. ඕනෑම අයෙක්ගේ හිත සැනසවීමේ විශේෂ හැකියාවක් ඔබට තිබේ. නිරන්තරයෙන් මහත්මා ගතිගුණ සහිතව ජීවත් වීමට උත්සාහ කරයි. ගමන්බිමන්වලදී මෙන්ම සෑම අවස්ථාවකදීම වැදගත් විදිහට අඳින්නට පලඳින්නට ඔබ උත්සාහ දරයි.

පෞරුෂ අංක 2 හිමි ඔබ සැබෑම මිත්‍රයෙක් ලෙස හැඳින්විය හැකිය. ඇසුරු කරන අය අතර ඉතාම ප්‍රියමනාප ලෙස කටයුතු කරයි. සෑම විටම කතාබහෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔබ, ඔබගේ උසස් තත්ත්වය පෙන්වීමට ක්‍රියා කරයි. ඉතාම සැහැල්ලුවෙන් මෙන්ම සැප පහසුවට සිටීමට නිතරම ප්‍රිය කරයි. පිරිසිදුකම සහ පිළිවෙළ ඉහළින්ම අගය කරයි. සෑම අවස්ථාවකදීම මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම ඔබේ සිරිතය. කිසිවෙකුත් කිසි විට විවේචනය කරන්නට පෙලඹෙන්නේ නැත. අන් අයගේ ආත්ම ගරුත්වය රැකෙන ආකාරයෙන් ක්‍රියා කරයි.

ඔබ තුළ තිබෙන මනා පෞරුෂය නිසාම බොහෝ දෙනෙක් සමාජය තුළ ඔබව ඇසුරු කිරීමට ප්‍රිය කරයි. විශේෂයෙන් ඔබට අන් අයගේ ආකර්ෂණය ලැබීමේ සුවිශේෂී ගුණයක් පවතී. ඔබ කාන්තාවක් නම් පිරිමින්ද පිරිමියෙක් නම් කාන්තාවන් ද ඔබට වඩාත් ආකර්ෂණය වීමේ හැකියාවක් පවතී. ඔබ තම පවුල තුළ සහ ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයක් ලෙස ප්‍රකටව පෙනේ. ඔබ නිහඬ පිළිවෙතක් අනුගමනය කළත් ඔබෙන් ඉටුවිය යුතු කාර්යයන් මනා ලෙස නොපිරිහෙළා ඉටු කිරීමට උනන්දු වෙයි. ඉතාමත් හොඳ යහපත් පෞරුෂයක් සහිත ඔබට තම ජීවිතය සාර්ථකව ගත කිරීමේ වාසනාව පවතින බව සඳහන් කළ හැකිය.

පෞරුෂ අංක 3 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division