Home » නොවැම්බර් 06 වැනිදා බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ලග්න නවයකට සුබපල රැසක්

නොවැම්බර් 06 වැනිදා බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ලග්න නවයකට සුබපල රැසක්

by sachintha
November 4, 2023 12:54 am 0 comment

ලග්න නවයකට සුබපල උදා කරමින් ග්‍රහ ලොව කුමාරයා මෙන්ම ඥානකාරක ග්‍රහයාද වන බුධ 2023 නොවැම්බර් 06 වැනිදා සවස 4.26ට සේනාධිපතිට අයත් වෘශ්චික රාශියට ප්‍රවිෂ්ට වෙයි. ඒ අනුව මෙම ග්‍රහ මාරුවත් සමඟ වෘෂභ, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ සහ මීන ලග්න හිමියන්ට සුබපල උදා වනු ඇත.

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරය අනුව බුධ ප්‍රවිෂ්ට වන්නේ 10 වැනි භාවයටයි. එය රටේ ක්‍රියාව, කර්මය පෙන්වන ස්ථානයයි. එහිදී රටේ නීති අණපනත් සෑදීම වෙනස් වේ. නැතහොත් ඍජුව හා තදින් ක්‍රියාත්මක වන කාලයකි. ඒ අනුව මාධ්‍ය, නීති, සන්නිවේදනය, බැංකු මූල්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රවල උන්නතිය උදෙසාත්, ආරක්ෂක අංශවල දියුණුව උදෙසාත් මෙවර අය වැයෙන් ද වැඩි වාසි අත්වනු ඇත.

මෙම ග්‍රහ මාරුව ඒ ඒ ලග්නවලට බලපාන ආකාරය මෙසේ ය.

මේෂ – නීතිමය හෝ සන්නිවේදන ගැටලු උදා කරයි. සාමාන්‍ය වැඩ කටයුතු වෙනස් කෙරේ. සමාජ සබඳතා රහසිගතව පවත්වාගෙන යයි. ගුප්ත ක්‍රමවලින් ආරක්ෂාව සොයන කාලයකි. වෘෂභ – හවුල් ව්‍යාපාර දියුණු වේ. සමාජ සබඳතා ගොඩනැඟේ. තමාට වඩා වයසින් බාල අය ඇසුරට ලැබේ. විවාහ සබඳතා ශක්තිමත් කෙරේ. අලුත් මිතුරන් නිසා ලාබ ලැබෙන කාලයකි.

මිථුන – ස්නායුගත, උදරගත රෝග උදාවිය හැකි කාලයකි. මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රවලදී බොහෝ ප්‍රවේසම් විය යුතුයි. දද, කුෂ්ඨ වැනි රෝග උදා වේ. මන්ත්‍රවලින් පීඩා ඇතිවිය හැකි කාලයකි.

කටක – අධ්‍යාපනික කටයුතු දියුණු කරයි. අලුත් දේ ඉගෙනීමට ලැබේ. භාෂාව, සන්නිවේදනය, නීතිය හැදෑරීමට ඉතා යහපත් කාලයකි. සෙම් රෝගවලින්, පෙණහලු පීඩාවලින් ප්‍රවේසම් වන්න.

සිංහ – යහපත් නිවාස වටාපිටාවක් තනා ගනී. දේපළ මිලදී ගැනීම්වලට යහපත් වේ. නිවාස, යානවාහන පිරිසිදුව, ලස්සන කර ගන්නා කාලයකි. තමා අවට අසල්වාසීන් සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගනී. අලුත් තැනක පදිංචියට යාමට වුව ඉඩ ඇත.

කන්‍යා – තම සහජ කුසලතා ඔප්නැංවෙන කාලයකි. ගෞරවය, තත්ත්වය ඉහළ යයි. රැකියා ලාබ ලැබේ. අලුත් දේ ඉගෙනීමට හැකියාව යොමු වේ. මානව දයාව ඉහළ යයි. සමාජ සබඳතා දියුණු වේ.

තුලා – වචන භාවිතය ඉහළ යාමෙන් බොහෝ වැඩ සාර්ථක වෙයි. මනස ශක්තිමත් වන කාලයකි. කරන වැඩ දියුණු වේ. අතිරේක ආදායම් ලැබේ. කෙටි ගමන් බහුල වේ. අන් අයගේ ආකර්ෂණය උරුම වේ. ජය ලැබෙන සතුට හිමිවන කටයුතුවලට අත ගැසීමට හැකිය. වෘශ්චික – තම අභිමතය පරිදි වැඩ කිරීමට පෙළඹේ. ජීවිතය සුන්දර වන කාලයකි. බුද්ධිය වර්ධනය වෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලැබේ. කෙටි ගමන්බිමන් යෙදේ. සිතේ ප්‍රීතිය ජනිත වෙයි. මූල්‍ය දැනුම ඉහළ මට්ටමක පවතී.

ධනු – නීතිමය ගැටලු උදාවිය හැකිය. සන්නිවේදන බාධා නිර්මාණය වෙයි. අන් අයත් සමඟ ගැටුම් සාදා නොගත යුතු කාලයකි. තමාගේ පරාජයට නීති කෙටුම්පත් සැකසෙන කාලයකි. දුර බැහැර ගමන්වලදී සතුරු බාධා උදා කරයි.

මකර – වෙළෙඳාම් ඉහළ යයි. තාර්කික දැනුම වර්ධනය වෙයි. මූල්‍ය කළමනාකාරිත්වය යහපත් වන කාලයකි. සමාජයීය කටයුතුවලට පෙළඹේ. නිතර අලුත් පිරිස් මුණ ගැසේ. ආර්ථික, සමාජයීය තත්ත්වය උසස් කරගැනීමට වෙහෙසේ. දැනුම ද වර්ධනය වේ.

කුම්භ – නව රැකියා ලාභ හිමි වේ. තනතුරු ලාබ ලැබීමේ භාග්‍යය ද ඇත. නව ධන මාර්ග විවෘත වීම නිසා කටයුතු සපල වේ. නව දැනුමද ලබාගත හැකිය. ජීවිතයට නව ජවයක්, ශක්තියක් හිමිවන කාලයකි. කෙටි ගමන් බහුල වේ. ආයතන නිලධාරින්ද උදවු කරනු ඇත.

මීන – පෙර පින ඉස්මතු වේ. තවෙකුට කුසල් කිරීමට සිතේ. හොඳ අධ්‍යාපනයක් ලැබීමට පෙළඹේ. උගත්කමින් ප්‍රයෝජන ගත හැකිය. නිතර අලුත් දැනුම සොයා යයි. නීතිය, භාෂාව, සන්නිවේදන ක්ෂේත්‍රවල දියුණුව උදා වේ.

මෙම කාලය තුළ බදාදා දින තුනක් අලුයම 6 – 7 අතර මුං ඇට කිරිබත් දන් දීමෙන් පින වර්ධනය කරගැනීමටත්, ඉහත යම් දෝෂයක් වේ නම් දුරු කරගැනීමටත් හැකියාව ඇත. එහිදී දන් දෙන පිරිස සංඛ්‍යාත්මකව ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය ජී.එස්.එම්. කැලුම් ගුණතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division