Home » ළිඳ ගැඹුරුයි කඹය කොටයි පොලී මුදලාලිලා පරිස්සමෙන්

ළිඳ ගැඹුරුයි කඹය කොටයි පොලී මුදලාලිලා පරිස්සමෙන්

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

මනුෂ්‍යයා ඉතිහාසයේ මුල් වරට මුදල් නමැති ඒකකය නිෂ්පාදනය කරන්නේ මීට අවුරුදු 7,000 ට පමණ පෙර මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළය. මුලදී කාසි සාදන ලද්දේ සතුන්ගේ ඇට කැබලිවලිනි. ඉතාම කෙටි කලක් තුළ මෙසපොතේමියානු වැඩ්ඩෝ ඇට කැබලි කපා හොර සල්ලි නිපදවීමට පටන් ගත්හ. මෙයින් කලබලයට පත් මෙසපොතේමියානු ආණ්ඩුවේ මහමුලාදෑනිලා ලෝහවලින් සල්ලි සෑදීමට පටන්ගත්හ. ලෝකයේ පැරණිම ලෝහ සල්ලි අවුරුදු 5000 ක් පමණ වයස් බව කියනු ලැබේ. එහෙත් පොලියට දීම නමැති කර්මාන්තය සල්ලි අච්චු ගැසීමට වඩා බොහෝ පැරණි කර්මාන්තයක් බව අපේ උගත් පාඨකයා දත යුතුය.

ශිෂ්ටාචාරයේ දියුණුව දිගේ පැමිණ සංවිධානාත්මක ලෙස ගොවිතැන් කිරීමට පුරුදුවූ දවසේ පටන් ලෝක වාසීහු පොලියට දීමට පටන් ගත්හ. එකල ඔවුන් පොලියට දුන්නේ මුදල් නොවේ. මුදල් නැති එකල ධාන්‍ය වර්ග මී පැණි ගොඩනැඟිලි ඉදි කරන ප්‍රාථමික උපකරණ යනාදිය ඔවුහු පොලියට දුන්හ. මෙකල පොලී අනුපාතය යනුවෙන් නිර්ණායකයක් තිබුණේ නැත. ඒ නිසා ඇතැම් පොලීකාරයෙක් තම අල්ලපු ගෙදර මිනිහාට තිරිඟු ගෝනියක් ණයට දී ගිවිස ගත් කාලයට පසු තිරිඟු ගෝනි දෙකක් ආපසු ලබා ගත්තේය. මේ දෙවැනි ගෝනිය වූ කලී පොලියයි. ලංකාවේ භික්ෂුන් වහන්සේලාට නිතිපතා දානය සැපයීම පිණිස වී සංචිතයක් පවත්වාගෙන යාමටත් එම සංචිතය වැඩිදියුණු කර හදිසි ආපදාවකදී ප්‍රයෝජයට ගැනීමටත් පොලියට වී ලබා දුන් සිංහල ඇමැතිවරයෙක් මෙයට ශත වර්ෂ ගණනකට පෙර ලංකාවේ ජීවත් විය. මේ හැම එකෙන්ම කියැවෙන්නේ මුදල් ඒකකය සොයා ගැනීමටත් පෙර පොලී කාරණය සොයාගෙන තිබූ බවය. ඇතැම් ආගම්වලට අනුව සල්ලි පොලියට දීම අපාගත වන ක්‍රියාවකි. තවත් ආගමික ග්‍රන්ථයකට අනුව පොලී සල්ලිවලින් කළ යුතු එකම දෙය වන්නේ ප්‍රසිද්ධ වැසිකිළි සෑදීමය.

ඊශ්‍රායලය තුළ ණය දීමේදී ඊශ්‍රායල ජනතාවගෙන් පොලී අය නොකළ යුතු බවත් විදේශිකයන්ගෙන් පමණක් පොලී අයකර ගත යුතු බවටත් ඉතාම ප්‍රසිද්ධ ආගමික ග්‍රන්ථයක සඳහන්ව ඇත. මෙය නම් මාරම කතාවකි. කෙසේ වුවද ලංකාවේ ගැමි ජනතාවගේ අංක එකේ හතුරා බවට පොලිය නමැති tool එක පත්වෙමින් තිබේ. මේ පොලී මුදලාලිගෙන් ජනතාව බේරාගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරියක් පිහිටුවීම පිණිස පනතක් කෙටුම්පත් කර ගැසට් කර තිබේ. අද අප සාකච්ඡා කරන්නේ මේ සද්කාර්යය ගැන ය.

ක්ෂුද්‍ර මූල්‍ය සහ සාර්ව මූල්‍ය යනුවෙන් සංකල්ප දෙකක් ලෝකයේ ඇත. සාර්ව මූල්‍ය සාධකය ක්‍රියාත්මක වන්නේ ඉහළ මධ්‍යම පන්තිය සහ එයින් උඩහට සිටින ජනතාව වෙනුවෙනි. මේ ජනතාවට කිසියම් දේපළක් තිබේ. ස්ථිර පඩියක් ද තිබේ. ඔවුහු ණය ගන්නේ බැංකුවෙනි. ඒ සඳහා ඔවුහු තමන් සතු දේපළ හෝ ස්ථිර රැකියා ඇති පුද්ගලයන් හෝ රජය මඟින් පිළිගනු ලබන වෙනත් වත්කම් හෝ ඇපයට තබා ගනිති. ණය ගැතියාට ණය ගෙවා ගැනීමට බැරි වූ කල ණය හිමියා වූ බැංකුව කරන්නේ ණය ගැතියාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දමා පිස්කල් රාළහාමිලා සමඟ එම දේපළට පැමිණ එය තහනම් කිරීමය. එම දේපළෙහි පදිංචිකරුවන් බෙල්ලෙන් අල්ලා පයිනුත් එකක් ගසා පාරට වීසි කිරීමත් ඇතැම් විට සිදු වේ. මෙහිදී ණය ගැතියා කොස්ගොඩ සුජී හෝ මාකඳුරේ මදූෂ් හෝ ගනේමුල්ලේ සංජීව හෝ එවැනි වෙනත් ත්‍රාඩකාරයකු හා සමාන නම් දේපළ තුළට අවතීර්ණ වන අවස්ථාවේදීම බැංකුවටත් පිස්කල් රාළහාමිටත් සිදු වන්නේ අහසින් ගොස් බිමට පාත්වීමටය. එවිට ඔවුහු ලේ පෙරාගෙන උසාවි පොලිසි වෙත දුවති. එහෙත් සාර්ව මූල්‍ය ණය දීමේ කෙළිය ඊට වඩා හුඟක් වෙනස්ය. සාමාන්‍යයෙන් මේ රටේ නීතියට අනුව කිසියම් කෙනකු පොලියට මුදල් ණයට දෙන්නේ නම් ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍යය.

එහෙත් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය හෙවත් Micro Finance ණය සපයන කට්ටියට සල්ලි ණයට දීමේ බලපත්‍රය තබා ගෙවත්තේ තිබෙන කොස් ගහ කැපීමට ග්‍රාම සේවක දෙන බලපත්‍රයවත් නැත. මේ පිරිස ආයෝජක යන වචනය පාවිච්චි කර කුඩා බුලත්විට කඩ වැනි කාර්යාල අටවාගෙන සිටිති. තවත් සමහරු ෆිනෑන්ස් යන නම පාවිච්චි කර තමන් පදිංචි ගෙදර ඉස්සරහ කාමරේ සිට සල්ලි පොලියට දෙති. ගම් මට්ටමේදී මෙසේ පොලියට දෙන කණ්ඩායම් කරාබු කුට්ටමක්, මාලයක් හෝ රන් මුදුවක් ඇපයට තබා ගනිති. තවත් සමහරු ගෙදර ටී.වී. එක, ෆෑන් එක වැනි දේවල් ද මේ පොලිකාරයන් ළඟ ඇපයට තබති. ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය තව ටිකක් ඉහළට යන විට ඇපකර වශයෙන් භාර ගන්නේ ඉඩම් ඔප්පු, ත්‍රී වීලරයේ පොත වැනි දේවල් ය. ඉඩම් ඔප්පුවක් තබාගෙන ගැමියකුට ණයක් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය මුදලාලි මුලින්ම කරන්නේ එම ඔප්පුව තමන්ගේ නමට හරවා ගැනීමය. එතැන් සිට ඉඩමේ අයිතිය ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලිටය. වාහනයේ පොත තමා සන්තකයේ තබා ගන්නා විට ද ඔවුහු පැවරුම් ලේඛන අත්සන් කරවා ගනිති.

නිසි කලදී මුදල සහ පොලිය ගෙවා ඔප්පු හෝ වාහනයේ පොත ලබාගැනීමට ණයගැතියාට බැරි වන විටදී ක්ෂුද්‍ර මූල්‍ය මුදලාලි ඒවා වෙන කෙනකුට විකුණා දමයි. පොලියට සින්න වූ ඉඩම් සහ පොලියට සින්න වූ වාහන විශාල වශයෙන් තිබෙන උපාසක මහත්වරු මේ රටේ ගැමි ප්‍රදේශවල බහුලව සිටිති. කිසිම ලයිසන් එකක් නැතුව සල්ලි පොලියට දෙන මේ පල් හොරු ගමේ කුලඟන සමිතියේ භාරකාර පදවියත් මරණාධාර සමිතියේ සභාපතිකමත් පන්සලේ නිලමේකමත් දරති. ඔවුන් පන්සිල් සමාදන් වන විට කොයිවෙලේ නිවන් යත් දැයි ෂුවර් නැත.

ලංකාවේ හැමතැනකම “හොරකොටු ෆිනෑන්ස්” කොම්පැනි ඕනෑ තරම් ඇත. ඔවුන්ට ඇත්තේ සිල්ලර කඩයක් හෝ හෝටලයක් පවත්වා ගෙන යාමේ බලපත්‍රයක් පමණි. ගම පුරාම තිබෙන ත්‍රිරෝද රථ, ඩිමෝ බට්ටන් සහ ට්‍රැක්ටර් යනාදිය ලබාගැනීම සඳහා ජනතාවට ණයට මුදල් ලබාදී ඇත්තේ මේ ප්‍රජාවය. එක ණය වාරිකයක් ගෙවීම අතපසු වූ අවස්ථාවේදීම මේ “හොරකොටු ෆිනෑන්ස්කාරයෝ” ත්‍රිරෝද රථය හෝ ඩිමෝ ලොරිය හෝ ට්‍රැක්ටරය තම රථ ගාල වෙත ගෙනවුත් රෝදවල හුලං ඇර තබති. එම දේපළ පැහැර ගෙන එන විට එහි අයිතිකරු විරෝධය පළ කළොත් ඔහුට සිදු වන්නේ ගමකට ගුටි කන්නටය. මෙසේ ගුටි දී මරා දමන ලද අසරණ ත්‍රී වීල්කාරයෝ ද පුංචි වාහන අයිතිකාරයෝ ද ඕනෑ තරම් සිටිති. මෙවැනි හොර කොටු ෆිනෑන්ස්කාරයෝ පොලිසිය ද ෂේප් කරගෙන සිටින බැවින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් වන දුප්පත් ජනයාට කරකියා ගැනීමට දෙයක් නැත.

ඉහත සඳහන් කාරණා නිසා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරියක් අඩසියවසකට වැඩි කලක් තිස්සේ මේ රටට අවශ්‍යව තිබුණත් නිදහසින් පසු මේ රට කරවූ සෑම ආණ්ඩුවකටම ඒ අවශ්‍යතාව අමතකවී ගියේය. නිකන්ම නිකන් ගෙයක් කුලියට ගෙන ගමට එන ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලි දහ අවුරුද්දක් තුළ තමන් කුලියට ගත් නිවස ද හතර වටේ තිබෙන දේපළ ද බස් කාර් ට්‍රැක්ටර් ලොරි සහ ත්‍රී වීලර් ද අත්පත් කරගෙන සිටින යෝධ ධනවතකු බවට පත්වන්නේය.මේ ධනවතාගේ අත්වල ලේ තැවරී ඇති අතර, හිත්වල කපටිකමත් වංචාවත් අනුන්ගේ දේපළ කඩා වඩා ගැනීමත් තහවුරු වී ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවීමෙන් ආණ්ඩුව කරන්නේ අශ්වයා පැනගොස් බොහෝ කලකට පසු ඉස්තාලය වැසීමකි. එහෙත් එසේ කිරීම පවා ජනතාවට ප්‍රයෝජනවත්ය. මන්ද ඉස්තාලය වසා නොතැබුවොත් අශ්වයෙක් වෙනුවට කුළු මීමකු හෝ කොටියකු එහි පදිංචියට පැමිණීමට පුළුවන. ඒ නිසා ජනතාවට ප්‍රයෝජනවත් අලුත් සතෙක් පැලපදියම් කර ගන්නා තුරු, අශ්වයා කොතරම් පැන ගිය ද ඊට පසු ඉස්තාලය වසා දැමීම වැදගත් වන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division