Home » ශ්‍රී ලංකා ඉන්දීය මිතුදමට ප්‍රේමය විතරක්ම වපුරන ‘සංජීවනී ලේ ආ රේ’

ශ්‍රී ලංකා ඉන්දීය මිතුදමට ප්‍රේමය විතරක්ම වපුරන ‘සංජීවනී ලේ ආ රේ’

by Mahesh Lakehouse
October 28, 2023 12:28 am 0 comment

– ඉන්දියාවෙත් දැන් මාව හඳුන්වන්නෙ DRD කියලා
– සංගීතඥයෙක් විදිහට ඇත්තටම මං තෘප්තිමත්

‘සංජීවනී ලේ ආ රේ‘ හින්දි පද පෙළ රචනා කළ වත්සලා සමරකෝන් ගීතය ගැන පළ කළේ මෙවන් අදහසකි.

“සංජීවනී කියන්නේ රාමායණය පුරාවෘත්තයට අනුව ප්‍රහාරයකට ගොදුරු වී සිටි ලක්ෂ්මණ්ට නැවත පණ දෙන්න හනුමන් විසින් හිමාලයෙන් ගෙන ආ දිව්‍යමය බෙහෙත් පැළෑටියේ නාමය. සංජීවනී හි දිව්‍යමය ගුණයෙන් මළ හදවතකට ප්‍රාණය ලබාදෙන්නේ යම් සේද ජාති, ආගම්, භාෂා වශයෙන් බෙදී වෙන්වී මිය ගිය මිනිස් හදවත්වලටත් නැවත ප්‍රාණය ලැබෙන්න කියන අදහස ඇතුවයි මේ පද වැල් ලියවුණේ. මේ ගීතයේ අර්ථය ගැන හරිහරන් ගොඩක් සතුටු වුණා වගේම ගොඩක් අගය කළා.“

රැගෙන එන්න දිව්‍යමය සංජීවනිය
ගල්වන්න රිදුම් දෙන මිනිස් හදෙහි
දිවි ගෙවන්න ප්‍රේමයෙන් හැමවිට
එකම රුධිරයයි ඇත්තේ
සිංහල, දෙමළ, මුස්ලිම්
කුමන රැසක කුමන දහමක වුණත්
මිනිසුන්ගේ
මතකයෙ සදා ඇත.
රුහිරු වැගිරුණු සැටි
සෙනෙහි පිරි මිහිමත
බෙදා වෙන් කළේ කවුරුද
එකම සොහොයුරු හැඟුම් බිඳ
හින්දි, උර්දු, දෙමළ
කුමන බසක කුමන අකුරින්
ලියූවත් ‘ප්‍රේමය‘ යන වදන
එකම හැඟීමයි එහි ඇත්තේ
වපුරන්න ‘ප්‍රේමය‘ පමණක්

එකම ලේ ධාතුවකින් සැදි, එකම මානව වංශයකට නෑකම් කියන අපි දේශ සීමා, ජාති, ආගම්, කුල, භාෂා වැනි පටු සීමාවන්ගෙන් බෙදී, බිඳුණු සිත් ඇත්තන් ලෙස ජීවත් වන්නෙමු. එවන් සිත් එක් කළ හැක්කේද ප්‍රේමයෙනි. එය සැබෑවටම අරුත් ගන්වන ශ්‍රී ලංකා – ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන ‘සංජීවනී ලේ ආ රේ‘ ගීතය පසුගිය දා ගුවනට මුදාහැරුණේ අපේ අසල්වැසි භාරතයෙනි. ලොව ප්‍රකට භාරතීය ගායක පත්ම ශ්‍රී හරිහරන්ගේ හඬින් ගැයෙන මෙම ගීතයට හඬ මුසු කරමින් මියුරු සංගීත ස්වර රටා මවන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මානලාභී සංගීතඥ දර්ශන රුවන් දිසානායකයි.

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මුම්බායිහි හරිහරන් ස්ටූඩියෝහි දී ගුවනට මුසු වුණු ‘සංජීවනී ලේ ආ රේ‘හින්දි- සිංහල ගීතයේ නිර්මාණ අදහස දර්ශනගේ වීමත් ලාංකේය අපට නිහතමානී ආඩම්බරය ගෙන දෙන්නකි.

ගීතය නිර්මාණය කරීම පිළිබඳ ඔහු අප හා පැවසුවේ මෙවන් අදහසකි.

“මේක මටම ආපු අදහසක්. පූජියම් කියන මගේ දමිළ චිත්‍රපටයට නිර්මාණය කළ ගීතයක්. මගේ පළමු සිනමා නිර්මාණය වන ගොවි තාත්තා (Father, The Farmar) කරද්දිත් මට ඕන වුණේ අපේ නිර්මාණ ලංකාවෙන් එහාට අරන් යන්න. ඒ වගේම ඒකට ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිවුණා. සංගීතයට අමතරව මං ඉතිහාසය ගැන හදාරන කෙනෙක්. ඒ පැත්තට මගේ සංවේදීතාව වැඩියි. ඉන්දියානු කලාපයේ සමානකම් තියෙන අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නෑදෑයෝ. එතැනදි මට හිතෙනවා අපේ අසල්වැසියත් එක්ක නිර්මාණයක් කළොත් හොඳයි කියලා. පූජියම් සැලසුම් වෙන්නෙ ඒ විදිහට. චිත්‍රපටයට කලින් මේ අදහස ගීතයකින් ජනතාව අතරට යැව්ව නම් හොඳයි කියන අදහස එන්නෙ ඔය අතරේ. මුලින් දමිළ බසින් කරන්න අදහස් කළත් වැඩි ප්‍රමාණයක් ඉන්නෙ හින්දි අය නිසා අන්තිමේ හින්දියෙන් කරන්න හිතුවා.

‘ආදරේට පුළුවන්, බෙදුණු සියලු සීමාවන් එකතු කරන්න.‘ යන මූලික අදහසින් සිංහල පද ටික ලියවෙන්නේ මගේ අතින්. මුලින්ම කළේ මේකෙ දෙමළ වර්ෂන් එක. ඒත් අන්තිම මොහොතෙ හිතුනා හින්දියෙන් කළා නම් හොඳයි කියලා. ගීතයේ හින්දි පද පෙළ ලියවෙන්නෙ හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් වන වත්සලා සමරකෝන් අතින්. සංගීත දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඇය මගේ අදහසට හානියක් නොවෙන්න හරි ලස්සනට ඒක කළා. ඒ දෙකම වොයිස් කරලා මං යවපු ගයිඩ් එක හරිහරන් අතට පත්වෙලා කැමැත්ත ලැබෙන්නත් මාස 8ක් විතර ගියා. ඒක අහපු ගමන්ම අනිත් පැත්තට ඔහු මට කෝල් කරලා කිවුවා, මේ තේමාවෙන් මං මීට කලින් ගීත කරලා නෑ. මේක මං හරිම කැමැත්තෙන් බාරගන්නව කියලා. ලංකාවෙ පන්සිළු ශබ්දාගාරෙදි වගේම ඉන්දියාවෙ හරිහරන් ස්ටුඩියෝ එකේත් පටිගත කිරීම් කළා. රූප රචනය සංස්කරණයෙන් අජිත් රාමනායක ලොකු සහායක් දුන්නා. ගීතය නිර්මාණයේ දී හරිහරන් සමඟ සම්බන්ධීකරණයෙන් සහාය වුණේ දේවෝ ගුණරත්න. සැප්. 28 වැනිදා මුම්බායිවල හරිහරන් ස්ටුඩියෝ එකේ හරිහරන්ගෙ ප්‍රධානත්වයෙන් හින්දි වර්ෂන් එක රිලීස් කළා. ටැමිල් වර්ෂන් එකත් ළඟදිම නිකුත් කරනවා. සංගීත නිර්මාණය වගේම ගායනයෙනුත් මං දායක වෙනවා.

පූජියම් තිර පිටපත මේ වෙද්දි හදල ඉවරයි. ඉන්දියාවෙ වගේම ශ්‍රී ලංකාවෙත් රංගන ශිල්පීන් දායකත්වය සපයනවා. පත්ම ශ්‍රී හරිහරන්, ස්වේතා මෝහන්, හරී චරන් ගායනයෙන් සම්බන්ධ වෙනවා. හරිහරන් රංගනයෙන් දායක වීමත් විශේෂත්වයක්. පූජියම් චිත්‍රපටයට ඔහු අසීමිතව උදවු කරන බවත් කිවුවා. ඔහු මාව හඳුන්වන්නේ DRD කියලා. ඉන්දියාවෙත් දැන් මාව හඳුන්වන්නෙ ඒ නමින්. ලොකු පණිවුඩයක් සමාජගත කරන නිසා ඉන්දියාවෙ ජනතාවගෙන් මේකට ලොකු සහායක් ලැබුණා. පූජියම් නිෂ්පාදනයෙන් සහාය වෙන්නේ දිනේෂ් ප්‍රනාන්දු. ශෂික රුවන් මාරසිංහ මුල ඉඳන්ම මට ලොකු සහායක් ලබා දෙනවා. ඒ වගේම පල්ලේගම හේමරතන හිමියන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි ඇතුළු පිරිසකුත් ඒ අතර ඉන්නවා. ටිකට් අනුග්‍රාහකත්වය ලබා දුන් ශ්‍රී ලංකන් එයාර් ලයින්හි අසංකවත් මේ වෙලාවෙ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා.

‘රූප, නාද, අර්ථ, සෞන්දර්ය පිරිපුන් කලා කෘතියක් වේද එය සිනමාවයි‘ ඒක මගේ අදහස. පූජියම්, ආල, මහ පැරකුම් කියන සිනමාපට තුන නිර්මාණය වෙන්නේ ඒ අදහස පෙරදැරිවයි. මේ වෙද්දි චිත්‍රපට 15ක් ටෙලි නාට්‍ය 36ක් වගේම ගීත 1500කට අධික සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කරලා සංගීතය පැත්තෙන් ලැබෙන්න පුළුවන් හැම සම්මානයක්ම වගේ මට ලැබිලත් තියෙනවා. පොලොන්නරුව වගේ පිටිසර ගමක ඉපදිලා කාගෙවත් සහායක් නැතුව මේ ගෙන්දගම් පොළොවෙ කට්ට කාලා මේ ලබාගත් ජයග්‍රහණ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. සංගීතඥයෙක් විදිහට ඇත්තටම මං තෘප්තිමත්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division