– නිවේදිකාවක් විදිහට විතරක් කොටු වෙලා හිරවෙලා ඉන්න ආස නැහැ
– ජීවිතේ ලොකුම කඩඉමක් වුණේ මුල් පිටුව හා ලෝක සිතියම වැඩසටහන
පත්තරවල විස්තර හරි ලස්සනට පුංචි තිරයෙන් ගෙන ආ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරට දකුණතින් වාඩි වෙලා හිටපු ඒ රූපය බොහෝ දෙනෙකුට මතකයි. ඇය රිද්මාලි නාගරනායක. මුල් පිටුව හා ලෝක සිතියම එක්ක ගැටුණ ඈ දැන් ගායිකාවක් බවට පත් වෙලා. “ඉතිං මල් සමේ පීදුනා“ ගීතය ගැනත් ඈ ගැනත් මේ විදිහට රසඳුනට එක්කරන්න හිතුවා.
රිද්මාලි නාගරනායක කියන නම වගේම රූපය හැමෝටම මතක මුල් පිටුවෙන් හා ලෝක සිතියමෙන්, ඒ අනන්‍යතාවය තවම තියෙනවා නේද ..?
ගොඩක් අය මාව දැනගත්තේ ස්වර්ණවාහිනීයේ මුල් පිටුවෙන් හා ලෝක සිතියමෙන්. ඊට පස්සේ මම සිරස ටීවී එකේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළත් මගේ ජීවිතේ ලොකුම කඩඉමක් වුණේ මුල් පිටුව හා ලෝක සිතියම වැඩ සටහන. මම කියලා කෙනෙක් ව දන්නේ ඒ නිසා. මාව හඳුන්වන්නේ ඒ වැඩ සටහන්වලින්. තවමත් එහෙම තැන් නැතුව නෙමෙයි.
මාධ්‍ය ජීවිතේට සමු දෙන්න හිතුවේ කලකිරීම් නිසා වෙන්න ඇති..?
කලකිරීම් නිසා නෙමෙයි. මට මාධ්‍ය ජීවිතේ කලකිරිමක් තිබ්බේ නැහැ. නමුත් මාධ්‍ය ජීවිතේ දි අස්ථිරතා ඇති වෙනවා කියලා මට සිදු වූ සිදුවීම් වලින් මම තේරුම් ගත්තා. ඒ නිසා හොඳම දේ වෙනත් ක්ෂේත්‍රයක් තෝරා ගැනීම කියලයි මම හිතුවේ. ඒ නිසා මාධ්‍ය ජීවිතේ ට සමු දුන්නා. නමුත් ඉවෙන්ට්ස්වලට ආරාධනා ලැබුණොත් භාර අරගන්නවා. චැනල් එකකට වැඩ නොකර
ඇයි දැන් නිහඬ වෙලා..?
පොඩි කාලයක් නිහඬ වෙලා හිටියා. දැන් ඒ නිහඬතාවය බින්දා අලුත් ගීතයක් කරමින්.
රිද්මාලි නටන්න කතා කරන්න දක්ෂයි කියලා දැනගෙන හිටියට ගයන්න පුළුවන් කියලා දැනගෙන හිටියෙ නැහැ ..?
නටන්න කෙසේ වෙතත් කතා කරන්න දක්ෂයි කියලා මම දන්නෙත් පස්සේ කාලෙක. නමුත් මම ගයන්නේ අද ඊයේ ඉදලා නෙමෙයි. මාව දන්න අය ඒ ගැන දන්නවා. පුංචි කාලේ ඉඳලා මට කතා කළේ සිංදු කියන රිද්මාලි කියලා . ඒ කාලේ ඉඳලා දන්න අයට ඒක පුදුමයක් නෙමෙයි
ඒ කියන්නේ දැන් ගායිකාවක්..?
ගායිකාවක් වෙන්න මට ආසාවක් වගේම යම් තරමකට හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. මම ඒ දේ රස විඳිනවා. ඒ නිසා මගේම ගීතයක් මම ළඟදි නිකුත් කළා. ඒකෙ නම ඉතිං මල් සමේ පීදුනා. සේනාංග දිසානායකගේ තනු නිර්මාණය හා සංගීතය. පද රචනය යශෝධා අධිකාරිගෙන්. විඩියෝ එක කළේ සජිත් අක්මීමන සහ කණ්ඩායම. මම හරිම ආසාවෙන් තමයි ඒ නිර්මාණය කළේ. මගේ රිද්මාලි යූටියුබ් නාළිකාවෙන් එය එළි දැක්වූවා.
නිවේදිකාවක් හැටියට ජනතාව ඔබ පිළිගත්තාට ගායිකාවක් විදිහට පිළිගනිවිද..
මේ ගීතය මම කළේ හිතේ ආසාව සංසිදුවා ගන්න. එ නිසා එන ඕනෑම ප්‍රතිචාරයක් මට භාර ගන්න පුළුවන්. මම සුබවාදිව හිතනවා සාර්ථක වෙයි කියලා. මම කොහොමත් නිවේදිකාවක් විදිහට විතරක් කොටු වෙලා හිර වෙලා ඉන්න ආස නැහැ.
දැන් යුගයේ තාරුණ්‍යය ප්‍රසිද්ධ වෙන්න විවිධ මාධ්‍ය තෝරා ගන්න සමයක ඔබ ඇයි ලැබුණු ප්‍රසිද්ධිය පැත්තකට දාලා රැකියාව විදිහට වෙනත් මාර්ගයක් තෝරා ගත්තේ..?
විවිධ හේතු නිසා දිගු කාලීනව මාධ්‍ය රැකියාව කරන එක මඟ හැරුණා. ඒක හොඳ දෙයක් හැටියට මම දැන් දකින්නේ. මම මාස් හෝල්ඩිං ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ වැඩ කරන්නේ. මේක මට තෘප්තිමත් ජීවිතයක් ලබා දුන් රැකියාවක් හැටියට සලකන්නේ . ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය කියන්නේ තාවකාලික පැළස්තරයක්. ඒ නිසා ඒ ගැන මම හිතන්නේ නැහැ. පුළුවන් විදිහට පුළුවන් වෙලාවට මගේ හැකියාවන් මාධ්‍ය ඔස්සේ ගෙන එනවා.
රිද්මාලි ලස්සන විලාසිතා කරන සුන්දර යුවතියක් නිසා රංගනයට ආරාධනා ලබනවත් ඇති..?
මම ලස්සනට අඳින්න ආසයි. ඒ නිසා එක එක විලාසිතා හැඩ බලනවා. ඉස්සර නම් රඟපාන්න ආරාධනා ආවා. ඒත් දැන් ආරාධනා ලැබෙන්නේ නිරූපණයට. මගේ රාජකාරි වැඩ එක්ක වෙලාවක් හොයා ගන්න බැරුව ඒ ආරාධනා මඟ හැරෙනවා.
පස්සෙන්ම ඉන්න දෙමවුපියන්ගේ හයිය රිද්මාලීට ඒ කාලෙත් ලැබුණා. පවුලේ එකම දරුවට නීති රිතී දාන්නේ නැද්ද ..?
අම්මා හැමදාම මගේ හෙවණැල්ල වගේ පස්සෙන් හිටියා. තාත්තත් එහෙමයි. මට ඕන දේ හරිම ඉවසීමෙන් දීලා මාව දිරිමත් කළා. දෙන්නට ඉන්න එකම දරුවා මම. ඒ නිසා මම හරි දේ තෝරා ගන්නේ කියලා දැනගෙන මට උදව් කළා.
හර්ෂණී වීරරත්න