Home » ප්‍රධාන නළුවාට තහංචි ගොඩක් දැමූ අසෝක අතාවුදහෙට්ටිගේ ආදර අන්තය රූගත කරන්නේ මෙහෙමයි

ප්‍රධාන නළුවාට තහංචි ගොඩක් දැමූ අසෝක අතාවුදහෙට්ටිගේ ආදර අන්තය රූගත කරන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

අසෝක අතාවුදහෙට්ටි විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන තුන්වන සිනමා නිර්මාණය වන ‘ආදර අන්තය’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය ඉරුදින සන්ධ්‍යා කාලයේ පැවැත් වුණේ කොළඹ පදනම් ආයතන පරිශ්‍රයේ දීයී. මෙම අවස්ථාවට විශේෂිත ආරාධිතයන් ලෙස සමන් අතාවුදහෙට්ටි, ප්‍රේම් දිසානායක, සුනේත්‍රා රාජකරුණා, සුනිල් ටි. ප්‍රනාන්දු, රවින්ද්‍ර ගුරුගේ, කැත්ලින් ජයවර්ධන, විරාජිනී තෙන්නකෝන් යන ප්‍රවීණයන් සහභාගී වුණා. “ආදරඅන්තය” සිනමාපටයේ රංගන දායකත්වය ලබා දෙන ජනක කුඹුකගේ, යශෝධා රාධාක්‍රිෂ්ණන් , විණා ජයකොඩි, හර්ෂ තෙන්නකෝන්, ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමත් එක්ව සිටියා.

අසෝක අතාවුදහෙට්ටි මින් පෙර ලාංකීය සිනමාවට අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ වන්නේ මින්නු සහ කන්දක් සේමා චිත්‍රපටයයි. කන්දක් සේමා චිත්‍රපටය 2023 නොවැම්බර් මස 02 වන දා සිට තිරගත වෙනවා.

මුහුරත් උලෙළේ දී අසෝක අතාවුදහෙට්ටි සිය තුන්වන සිනමා නිර්මාණය ගැන මාධ්‍යය අමතමින් කියා සිටියේ “ආදර අන්තය – මිරිඟුවක වියැකුණු අනුරාගී ආදරයේ ආනන්දය.” කියන්නේ අමුතුම කතාන්දරයක් ඇතුළත් සිනමාපටයක් බවයි. චිත්‍රපටයක් කිරීමට අවශ්‍යතාව තිබුණ මුත් එයට අර්ථපතිත්වය දරන්නට පිරිස් නොසිටීම නිසයි යම් කාලයක් ගත වුණේ. ජනක කුඹුකගේයි වද දුන්නේ පිටපතක් ලියන්න කියලා. මේ වෙද්දී නිෂ්පාදකවරු පස් දෙනෙක් මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඒ අයගේ පළමු සිනමා නිෂ්පාදනය “ආදර අන්තය”. මෙම සිනමාපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්නේ ප්‍රශාන්ත දිසානයක, එච්. ඩී. පී. හදපාන්ගොඩ, අභයපාල පෙරේරා, ඩී. තෙන්නකෝන් සහ ඉසුරු යාපා.

සාමාන්‍යයෙන් ලංකාවේ පිටපතක් ලිව්වම කාටවත් පෙන්වන්නෙ නැහැනේ. මම පිටපත ලියලා ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන මහත්මිය සහ විරාජිනී තෙන්නකෝන් මහත්මියට වගේම එක කුසේ නූපන් එනමුදු මගේම සහෝදරයෙක් වෙලා ඉන්න රවින්ද්‍ර ගුරුගේ මහතාට දුන්නා. මේ තුන්දෙනාගේම අදහස් එක්ක මේ පිටපත පරිපූර්ණ වුණා.

ඊට පස්සේ තිබ්බේ චරිත සඳහා තෝරා ගැනීම් කරන්න. එතැනදී ගජනායක සහ කවීෂා කියන ප්‍රධාන චරිත දෙකට මම තෝරා ගත්තේ ජනක කුඹුකගේ සහ යශෝධා රාධාක්‍රිෂ්ණන්.

පිටපත ලියන කාලෙම ගජනායකට මගේ ඔළුවේ හිටියේ ජනක. දැන් මාස දෙකක් තිස්සේ ජනකට තහංචි ගොඩක් දාලා තියෙනවා. දිනපතා බුලත්විට හතරක් කාලා මට පෙන්වන්න ඕනේ. ජයාරූපවලට පෙනී සිටින්න, youtube රූපවාහිනී වැඩසටහන්, ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට සහභාගී වීම සම්පූර්ණයෙන් තහනම්. චිත්‍රපටයට අදාළ විශේෂ නර්තන අංග කිහිපයක් දිනපතා පුහුණුවෙන්න ඕන. නදීරා වගේම කවීෂා කියන චරිත ද්විත්වයටම ජීවය දෙන්නේ යශෝධා කාව්‍යා රාධක්‍රිෂ්ණන්. ඇය මට හඳුන්වලා දෙන්නෙ මගේ සහාය අධ්‍යක්ෂකවරිය චතුරංගි පතිරගේ. ඊට අමතරව වීණා ජයකොඩි මම අවුරුදු ගාණක් තිස්සේ ඉතාම ආදරය කරන සහ ගරු කරන රංගන ශිල්පිනියක්. හර්ෂ තෙන්නකෝන් කියන්නේ මගේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. තව මේ චිත්‍රපටයට ධර්මප්‍රිය ඩයස්, රජීව් ආනන්ද, බුද්ධික අබේරත්න සහ සකුන්තලා පීරිස් රංගනයෙන් දායක වෙනවා.

“ආදර අන්තය” සිනමාපටයේ මගේ නිෂ්පාදන කණ්ඩායම ගැන මතක් කරන්න ඕනේ. කැමරා අධ්‍යක්ෂණය – සිසිකිරණ පරණවිතාන, සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ, කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න, අංග රචනය – වසන්ත පූර්ණවංශ, සංගීත අධ්‍යක්ෂණය – සමනල ආතාවුදහෙට්ටි,

සහාය අධ්‍යක්ෂණය – චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන කළමනාකරණය – රාජා රණසිංහ, ශබ්ද සංයෝජනය – ප්‍රියන්ත කළුආරච්චි, වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර, දෘශ‍ය ප්‍රයෝග – රුසිරු පන්නිලගේ සහ නිශ්චල ඡායාරූප – ධම්මික පතිරත්න.

ගීත ගායනය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක, චතුරිකා නිර්මාණි, ලක්ෂ්මන් මෙන්දිස්, වෝල්ටර් ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල හා සුජිත් වෙදමුල්ල එක් වෙනවා.

මෙම “ආදර අන්තය” සිනමාපටයේ රූගත කිරීම් 2023 නොවැම්බර් මස 07 වනදා ආරම්භ වෙනවා. දවස් 15 කාලයක් හල්දුම්මුල්ල, ඔහිය, හාලිඇල හා කොළඹ අවට මෙහි රූගත කිරීම් සිදුකිරීමට නියමිතයි.

අනුෂා රණසිංහ ඡායාරූප - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division