Home » CIDයට ගහන්න පාතාලයට පුළුවන්ද?

CIDයට ගහන්න පාතාලයට පුළුවන්ද?

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

රක් කටා සහ කුඩු සළිඳු දැන් සමාජගතවී ඇති මාතෘකාවක් බවට පත්ව හමාරය. ඒ ඔවුන් අද වන විට අපේ රටේ මාධ්‍ය තුළ පුවත් මවන්නන් බවට පත්වී ඇති බැවිනි. මැඩගස්කරයේ සිට අල්ලා ගෙන පැමිණි කුඩු සළිඳු හා හරක් කටා පසුගිය මාර්තු මාසයේ සිට රඳවා තබා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළය. රටින් පලා ගොස් ඩුබායි හි රැඳී සිටියදී පවා මෙරට මාධ්‍ය තුළ ඊට ලැබුණේ ලොකු ඉඩකි. ඒ ඊට පෙර අවස්ථාවකදී ඩුබායි පොලිස් අත්අඩංගුවට ද පත්වූ හරක් කටා අතපය දිගහැර වියදම් කර කෙසේ හෝ ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් ද නිදහස ලැබූ බැවිනි. අවසානයේදී ඔහු මැඩගස්කරයේදී එරට පොලිසියට හසුවන්නේ ධන කුවේරයෙක් ලෙස වෙස්ගෙන ඩුබායි සිට පුද්ගලික ජෙට් යානයකින් සිය ගෝලබාලයන් සමඟ ගොස් සිටියදීය.

මැඩගස්කරයේ සිට හරක් කටාත් කුඩු සළිඳුත් මෙරටට රැගෙන ඒමට අවම පහසුකම් යටතේ පවා කටයුතු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් එක්වය. මැඩගස්කරයේ සිට ඔවුන්ව මෙරටට රැගෙන එන ඒ දීර්ඝ ගුවන් ගමනේදී පවා හරක් කටා හා කුඩු සළිඳු පනින්නට ගත් වෙ‍හෙස අපමණය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනා නොවන්නට ඇතැම් විට හරක් කටාත් කුඩු සළිඳුත් අද මෙරට අත්අඩංගුවේ නොසිටින්නට තිබුණු ඉඩකඩ බොහෝය.

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ආ මොහොතේ සිට විවිධ පුවත් මැව්වෝය. ඒ අතර රටේම අවධානයට යොමු වූ පුවතක් වූයේ කුඩු සළිඳුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් රුපියල් කෝටි 13ක මුදලක් ඉල්ලා සිටි බව කියැවෙන්නට වූ බැවිනි. තමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙම අල්ලස් මුදල ඉල්ලුවේ යැයි කියන්නට වූයේ ද කුඩු සළිඳුය. ඒ රැඳවුම් නියෝග මත සිටින හරක් කටා සහ කුඩු සළිඳු නිරීක්ෂණය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විටදීය. කුඩු සළිඳු විසින් මෙම පැමිණිල්ල මහේස්ත්‍රාත්වරයාට කරනු ලබන්නේ පසුගිය ජූලි මාසයේදීය. එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිස්පතිවරයාට නියෝග කරනු ලබන්නේ වහාම ඒ චෝදනාව ගැන විමර්ශනයක් පවත්වන ලෙසය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින කුඩු සළිඳුගෙන් රුපියල් කෝටි 13ක මුදලක් ඉල්ලා සිටියේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් වූ විමර්ශනයත් පොලිස්පති විසින් භාරදෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටමය. තවමත් එම විමර්ශනයේ අවසානයක් දක්නට නැති තරම්ය.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ සහයෙන් පැන යාමේ සූදානමක් එළියට එන්නේ ද මේ අතරතුරදීය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා කළු පැල්ලමක් එක්කරමිනි. සැප්තැම්බර් 10 වෙනිදා මෙම පැනයාමේ සැලසුම ක්‍රියාත්මක වී තිබුණේ යැයි කියැවෙන්නේ එදා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ව මත් කරමිනි. ඒ සඳහා මෙම සැලසුමේ සිටියේ යැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙක් විසින් මත්ද්‍රව්‍යක් සහිත කිරිටොෆි පවා පොලිස් නිලධාරීන්ට කන්නට දී තිබුණේ තේ පවා සකස් කර බොන්නට දෙමිනි. එදා හරක් කටා පැන්නීමේ සැලසුම ව්‍යර්ථ වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් නිසාය. ඔහු එදා හරක් කටාට පැන යන්නට ඉඩ නොදෙන්නේ ඔහු සමඟ පොර බදාගෙන ලොකු සටනක නිරත වෙමිනි. හරක් කටාට පැන යාමට පහසුකම් සපයා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවිදු සන්දීප ගුණසේකර නැමැති කොස්තාපල්වරයා පලා යන්නේ ද ඒ අතරතුරදීය. අදටත් ඔහුව කොටු කර ගැනීමට හැකියාවක් නම් ලැබී නැත. විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් නම් පවසන්නේ තවමත් ඔහු මෙරට තුළ රැඳී සිටින බවය. ඔහුව කොටුකර ගැනීමට සාර්ථක තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් පවා පොලිස් මූලස්ථානය විසින් වෙන් කරනු ලබන්නේ එබැවිනි. පොලිස් කොස්තාපල් රවිඳු සන්දීපගේ ඡායාරූපයක් ද පොලිස් මූලස්ථානය මාධ්‍ය ඔස්සේ රටට පෙන්වමින් ඔහුව අල්ලා ගන්නට තොරතුරු දෙන්නැයි කියා දැන් සතියක් ඉක්මව ගොස් ඇතත් සාර්ථක තොරතුරක් නම් තවමත් ලැබී ඇති බවක් දැනගන්නට නොමැත.

හරක් කටා එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකුගේ සහයෙන් පලා යන්නට වූ සූදානම ගැන විමර්ශන පවත්වනු ලබන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා කොළඹ අපරාධ කොට්ඨාසය එක්වය. මෙහිදී හරක් කටාව පැන්නීමට සූදානම් කරගත් බව කියැවෙන මෝටර් රථයක් ද සොයා ගත්තේ හරක් කටාගේ ගෝල බාලයින් කිහිප දෙනෙකු ද කොටු කරගනිමිනි. පොලිස් කොස්තාපල් පැන ගත්තේ යැයි කියන්නට වූයේ ද එම මෝටර් රථයේම නැඟීය. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එහි ලොක්කන්ගේ වාහන නවතා තැබෙන තැන නවතා තිබුණු ඉන්ධන පිරවූ යතුරුපැදියක් ද පොලිසිය විසින් සිය විමර්ශන ඔස්සේ සොයා ගත්තේය. හිස් ආවරණ දෙකක් ද සහිතව තිබුණු එම යතුරුපැදියේ ඇන්ජින් හා චැසි අංක තිබුණේ මකා දමාය. ලියාපදිංචි අංකය ද ව්‍යාජ බව කියැවිණි. ඒ නිසාම විමර්ශන නිලධාරීන්ට සැකයක් මතු වූයේ හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නා ගෙන යාමට මෙම යතුරුපැදිය පොලිස් කොස්තාපල්වරයා විසින් සූදානම් කර තිබූවක් විය හැකි බවටය. තවමත් ඒ බව නිශ්චිත ලෙස තහවුරු වී නැතත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යන්නට සූදානම් වූයේ සිය සගයා වූ කුඩු සළිඳුව අතහැර බව නම් පැහැදිලිය. ඒ එම පැන යාමේ සැලසුමට කුඩු සළිඳුගේ නම නොකියැවෙන්නට වූ බැවිනි.

හරක් කටාව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සැප්තැම්බර් 10 වෙනිදා පැන්න වීමේ සැලසුම හා බැඳුණු නම් කිහිපයක්ම විමර්ශනවලින් එළියට ආවේය. ඒ අතර ඉහළින්ම කියැවුණු නමක් වූයේ මිදිගම රුවන්ය. හරක් කටාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනාගෙන් අයෙක් වන මිදිගම රුවන් මේ වන විට සිටින්නේ ඩුබායිවලය. හරක් කටාට පැන යාමට මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ සූදානම් කර තිබුණේ යැයි කියන්නට වූයේ රුවන්ගේ මෙහෙයැවීම මතය. එම මෝටර් රථය සමඟ අල්ලා ගත් සැකකරුවන් කිහිපදෙනා ද රුවන් ගැන බොහෝ දේවල් කීවේය. විමර්ශන නිලධාරීන්ට එහිදී තහවුරු වන්නේ රුවන් විසින් එම පිරිස මෙහෙයවා ඇති බවය. මාතර උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ටී 56 අවියකින් මොරටු සංජීව නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුට දික්වැල්ලේදී වෙඩි තබා ඝාතනය කරවූයේ ද මිදිගම රුවන්ය. ඒ පසුගිය අගෝස්තු 15 වෙනිදාය. එම ඝාතනයේ වෙඩික්කරු වූයේ හමුදාවෙන් පලාගොස් සිටි කමාන්ඩෝ භටයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකුගේ සහය ඇතිව හරක් කටා පැනයාමේ අසාර්ථක සැලසුමේ උණුසුම පහව යන්නට මත්තෙන් එළියට එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කර හරක් කටාත් කුඩු සළිඳුත් මුදා ගැනීමේ හිතාගන්නවත් බැරි පාතාලයේ අලුත් සැලසුමක් ගැනය. මෙම සැලසුම ගැන තොරතුරු හෙළි කරගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම වීම විශේෂත්වයකි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන් විසින් කළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

අපේ රටේ පාතාල අපරාධකරුවන් මෙතෙක් පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ල කර පලා යාමට උත්සාහ දැරීම් හෝ එවැනි සැලසුමක් දියත් කළ බවට මෙයට පෙර අසන්නට ලැබුණේ නැත.

බන්ධනාගාරගතව සිටි අපරාධකරුවකුව බන්ධනාගාර බස් රථයකට සමාන ලෙස බස් රථයක් හැඩගන්වා බන්ධනාගාර නිලධාරීන් මෙන් සැරසුණු පාතාල අපරාධකරුවන් පිරිසක් විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටම පැමිණ රැගෙන යාමක් ගැන ඉතිහාසයේ එක් තැනක ලියැවී ඇත්තේය. ඒ හැරුණු කොට බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සිරකරුවෙක් පැහැර ගෙන යාමක් වාර්තා වන්නේ නම් ඒ සූරියවැව අයියා මලේ පාතාල කල්ලියේ ලොක්කා වූ රත්නවීර පැහැර ගෙන යාමය. අවසානයේදී පැහැර ගත් රත්නවීරගේ සිරුර හමු වන්නේ සූරියවැවට කිට්ටුවපාත මහා පාරේ වෙඩි තබා මරා දමා ගොස් තිබියදීය. අදටත් එම හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් හැඳ සිටි කල්ලිය අල්ලා ගත් බවක් අනාවරණය වන්නේ නැත.

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ චමින්දට ද එවන් ප්‍රහාරයක් වරක් එල්ල වන්නේ දෙමටගොඩ ඉන්ගම් හන්දියේදීය. ඒ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට ඔහුව වැලිකඩ බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණයට රැගෙන ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදීය. මාකිලංගමුවේ සංජීව, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත් ඇතුළු පිරිසක් එක්ව එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවත් කිසිදු ජීවිත හානියක් දෙමටගොඩ චමින්දට එමඟින් සිදු නොවීය.

මෑතකදී ගම්පහ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ගම්පහ පස් මාෆියාවේ රජු ලෙස සැලකෙන පස් පොඩ්ඩාගේ සැලසුමකට අනුව ගම්පහ – මිනුවන්ගොඩ පාරේ කළුපාලම අසලදී බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරය ද සැලකෙන්නේ පාතාලයේ දරුණු ප්‍රහාරයක් ලෙසිනි. එකල මිනුවන්ගොඩ සහ කටුනායක පැත්ත හොල්ලා ගෙන සිටි හීනටියන අසිත ඉලක්ක කරගෙන එල්ල කළ එම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සහ රැඳවියෙක් ද මිය යන්නේ බන්ධනාගාර බස් රථය හරස් කර එල්ල වූ ටී 56 වෙඩි වරුෂාවට මැදිවය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ද ඇතුළුව කඩුවෙල සමයං සමඟ 07 දෙනෙක් ඝාතනය කරමින් කළුතර එතනමඩලේදී 2017 වසරේදී එල්ලවුණු පාතාලයේ ප්‍රහාරය ද කමාන්ඩෝ වර්ගයේ ප්‍රහාරයක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. පොලිස් හා හමුදා නිල ඇඳුමින් සැරසුණු පාතාල අපරාධකරුවෝ සමයං මරා දමන්නට එම ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ මාකදුරේ මධුෂ් විසින් ඩුබායි සිට කරන ලද මෙහෙයැවීමකට අනුවය. එදා ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවෝ අතර අංගොඩ ලොක්කා ද සිටියේය. පොලිසිය විසින් එම පාතාලයේ කමාන්ඩෝ ප්‍රහාරය ගැන විමර්ශන පවත්වා පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් අල්ලා ගත්ත ද අදටත් එම ප්‍රහාරයට හමුදා ඇඳුම් හැඳ පැමිණියේ යැයි කියන පිරිස සිටින්නේ නිදැල්ලේය. ඒ අය කවුරුන්දැයි අබිරහසකි.

කඳු ගැටයක් සහිත ස්ථානයකදී බන්ධනාගාර බස් රථයට එම ප්‍රහාරය එල්ල කරන්නට තෝරා ගන්නේත් රැයක් එළිවනතුරු එම කඳු ගැටය මත රැඳී සිටිමින් බන්ධනාගාර බස් රථය පැමිණෙන තුරු බලා සිටින්නේත් ප්‍රහාරය මෙහෙයවන්නේත් මෙතෙක් අත්අඩංගුවට නොගත් එම පිරිසය. ඒ බව අනාවරණය වී තිබුණේ එකල පැවති විමර්ශන වලිනි. එම පිරිස එදා එම මෙහෙයුමට එවනු ලැබුවේ යැයි කියැවුණේද මාකඳුරේ මධුෂ්ය.

මේ හැරුණු කොට ඉතිහාසය පිරික්සීමේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුළ 2000 වසරේදී පුපුරා ගිය පාතාලයේ දුරස්ථ පාලක බෝම්බය ද සැලකෙන්නේ පාතාලයේ සැලසුම් සහගත කමාන්ඩෝ ප්‍රහාරයක් ලෙසිනි. පාතාල අපරාධකරුවන් හත් අටදෙනෙක් එක පොකුරට මරා දැමීමේ අරමුණ ඇතිව දුරස්ථ පාලක සෙල්ලම් කාර් රථයක්ද උපයෝගී කරගෙන එම බෝම්බය අධිරණයේ සිර මැදිරියේ වහලය මත අටවන්නේ හිටපු කමාන්ඩෝ භටයෙකි. එම බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ දෙල්කඳ හන්දියේ මෝටර් රථයක් තුළ එකල පාතාලයේ ප්‍රබල චරිතයක් වූ පාමංකඩ අශෝක ඇතුළු ඔහුගේ ගෝලයන් සිවු දෙනෙක් මරා දැමූ පාතාල අපරාධකරුවන් පිරිසක් ඉලක්ක කරගෙනය. එදා උසාවියේ පුපුරා ගිය බෝම්බය ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අල්ලා නීතිය ඉදිරියට ගෙන ආවේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන ය.

මෙසේ පාතාලයේ අපරාධකරුවන් එකිනෙකා මරාගත්ත ද මෙතෙක් පාතාල අපරාධකරුවෝ පොලිසිවලට හෝ බන්ධනාගාරවලට හෝ රැඳවුම් මධ්‍යස්ථානවලට පහරදී සිය සඟයන්ව බේරා ගැනීමට නම් කමාන්ඩෝ ප්‍රහාර එල්ල කර නැත. අඩුම තරමින් යුද්ධය පැවති සමයේදී පොලිස් හෝ බන්ධනාගාරගතව සිටි සිය සඟයන් බේරා ගැනීමට එල්.ටී.ටී.ඊ.ය වත් එවන් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ නැත. එහෙත් පාතාල අපරාධකරුවන් සිය සඟයන් බේරා ගැනීමට කමාන්ඩෝ ප්‍රහාර එල්ල කිරීම් ගැන විවිධ කතාබහ නම් කලින් කලට මතුවී ඇත්තේ පාතාල අපරාධ පිළිබද විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වල බුද්ධි නිලධාරීන් ඔස්සේය. වරක් යම් තොරතුරක් බුද්ධි නිලධාරීන්ට ලැබී තිබුණේ බන්ධනාගාර බස් රථයකට පන්නිපිටිය ගුවන් පාලම මතදී මෝටර් ප්‍රහාරයක් එල්ලකිරීමේ පාතාල සැලසුමක් ගැනය. ඒ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වූ කොස්ගොඩ තාරක බේරා ගැනීමටය. ඒ අතර තවත් කතාවක් එළියට ගෙන ආවේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලයේ අපරාධකරුවන් පිරිසක් ඔවුන්ට ලද කොන්ත්‍රාත්තුවකට අනුව මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන්ට සයනයිඩ් ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාරයේ අවි ගබඩාව බිඳ ගිනි අවි රැගෙන වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි මරණිය දණ්ඩනයෙන් සිර දඬුවම් ලබමින් සිටි මත්කුඩු ජාවාරම්කරුවෙක් මුදා ගැනීමක් ගැනය.

බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ප්‍රහාර එල්ල කර මුදා ගැනීමේ පාතාලයේ සැලසුම් ගැන විටෙන් විට විවිධ බුද්ධි තොරතුරු මඟින් එළියට ආවත් පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මුදා ගැනීමට පාතාලය උත්සාහ ගැනීමක් ගැන ඇසෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කර හරක් කටා හා කුඩු සළිඳු මුදා ගැනීමේ සැලසුමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟිනි.

එම කරුණු දැක්වීම්වලට අනුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වලින් කියැවෙන ආකාරයට අනුව මෙම කමාන්ඩෝ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ හරක් කටාගේ තවත් ගෝලයෙක් වන කුඩු චූටි නැමැත්තා විසිනි. ඔහුත් සිටින්නේ ඩුබායිවලය. ඔහු ඩුබායි පනින්නේ ඉන්දියාවට ගොසිනි. වැලිගම පිහිටි චිකී මංකි අවන්හලේ හිමිකරුට ගෝලබාලයන් යොදා කොකා ගස්සවනු ලැබුවේ ද මිදිගම චූටිය. හරක් කටාගේ මෙරට හැමදෙයක්ම බලා කියාගෙන ගෝලබාලයින් මෙහෙයවන්නේ යැයි කියැවෙන්නේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටිය. මෙම ප්‍රහාර සැලසුමට සම්බන්ධ වන අයට ඔහු විසින් ලබා දෙනවා යැයි කියා ඇත්තේ ඇදැහිය නොහැකි මුදලකි. ඒ ගැන පවා තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි ඇති හතරවෙනි තට්ටුව ගැන කියැවෙන විට අපරාධකරුවන්ට පහ වෙන්නේ සුළු දියය. ඒ තරමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවට දක්වන්නේ දැඩි බියකි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහරදී සැකකරුවෙක් මුදා ගැනීමට තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇති පැත්ත පළාතේ අඩියක් තබන්නට පවා පාතාල අපරාධකරුවෝ සිතන්නේ නැත. හරක් කටා සහ කුඩු සළිඳු මුදා ගැනීමට ප්‍රහාරයක් එල්ල කරන්නට පාතාල අපරාධකරුවෝ සැලසුම් කළේ යැයි කියැවෙන්නේ එහෙව් තැනකටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවා දක්වා ඇති කරුණුවලට අනුව හරක් කටා සහ කුඩු සළිඳු පැහැර ගැනීම හරියට බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් සිහි ගන්වන සුළුය. ඇඟේ ලොම් ඩැහැ ගැන්වෙන තරමේ එම පාතාලයේ සැලසුම කමාන්ඩෝ ප්‍රහාරයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක අංශය විසින් මෙම ප්‍රහාර සැලසුම හෙළි කර ගනු ලබන්නේ ඔවුන් විසින් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. එම විමර්ශනය එම අංශය විසින් සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරියෙකුගේ සහය ඇතිව හරක් කටා පලා යාමට ගත් සැලසුම ව්‍යාර්ථ වීමෙන් අනතුරුව තවත් එවැනි දේවල් සිදු නොවීමට වගබලා ගැනීම වෙනුවෙනි. දුරකතන විශ්ලේෂණයන් රැසක් පවා මෙම අංශයෙන් සිදු කර ඇත්තේ එබැවිනි. හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නා ගැනීමට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ පාතාලයේ සැලසුම එළියට ආවේ යැයි කියැවෙන්නේ එහිදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු දක්වන විට එම සැලසුමට අදාළව පුද්ගලයන් දෙදෙනෙක් අතර දුරකතනයෙන් සිදු වූ සංවාදයක හඬ පටයක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. කියැවෙන ආකාරයට අනුව එම පුද්ගලයන් දෙදෙනා හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහිදී මුලින්ම අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසෙන්නේ වැලිගම කප්පරතොට පදිංචිකරුවෙකි. හෝටල් කළමනාකරුවෙක් වන එම තැනැත්තා 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 21 වෙනිදාය. දෙවැන්නා අත්අඩංගුවට ගන්නේ 23 වෙනිදාය. විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන ඔහු දේවාලගම පදිංචිකරුවෙකි. මේ පුද්ගලයාගේ වයස සැලකෙන්නේ අවුරුදු 45ක් ලෙසිනි. මේ දෙන්නාවම අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේය. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ රැඳවුම් නියෝග මතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වා ඇතැයි සඳහන් කරුණුවලට අනුව හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට එල්ල කරන්නට සැලසුම් කර ඇති ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයකට සමානය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කුඩා කණ්ඩායමක් ලෙස ඇතුළු වී විෂ වායු ප්‍රහාරයක් එල්ල කරමින් හරක් කටා සහ කුඩු සළිඳුව මුදා ගැනීම ඔවුන්ගේ සැලසුම වී ඇති බවද කියැවෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ එක් පසෙක පොලිස් මූලස්ථානයත්, අනෙත් පසෙන් විදේශ අමාත්‍යාංශයත් ඇතුළු ගොඩනැඟිලි සංකීර්ණයකින් වටවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට ඇත්තේ මාර්ග තුනකි. එක් මාර්ගයක් ඇත්තේ පාගමනින් එන ආගන්තුකයන්ට ඇතුළු වීමටය. එම මාර්ගය ඇත්තේ යෝර්ක් විදිය පැත්තෙනි. සර් බාරොන් ජයතිලක මාවතෙන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රථ වාහන ඇතුළු කිරීමට ඇති ගේට්ටුවය. මෙම ගේට්ටු දෙක හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවීමට ඇති තවත් මාර්ගයක් ඇත්තේ පොලිස් මූලස්ථානය ඇතුළෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටීම අනුව ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. හරක් කටාගේ මුලින් පලා යාමේ සැලසුම හෙළිවීමෙන් අනතුරුව එහි විශේෂ කාර්ය බළකාය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් යොදා ආරක්ෂාව තර කර තිබීම මෙන්ම එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල වටා ඇති ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය ගැන සැලකීමේදී පවා සාමාන්‍ය ගමක් ඇතුළේ ඇති අනාරක්ෂිත තැනකට පහර දෙනවා තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහර දීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. යුද්ධය පැවති සමයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවා ස්ථාපිත කර තිබුණේ මෙම ගොඩනැඟිල්ලෙහිය. එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිර මැදිරිවල මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාස සිර මැදිරිවල පවා ප්‍රබල ත්‍රස්තවාදීන් රඳවා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල පාතාලයේ අපරාධකරුවන්ට පහර දීමට හැකි තරමට අනාරක්ෂිත නම් එම ගොඩනැඟිල්ලට එකල පහර දෙන්නේ එල්.ටී.ටී.ඊ.ය විසිනි.

හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට පාතාල අපරාධකරුවන් කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ මේ ගැන අවබොධයක් ඇතිවදැයි කියා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය විමර්ශනයේදී අනාවරණය කරගනු ඇත. මේ වන විට ඒ ගැන විමර්ශනයක් සිදු කරමින් පවතින බැවිනි. හරක් කටා හා කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින්නේ ද ඉහළ මහලකය. එබැවින් කමාන්ඩෝ ගේමක් ගසා එම මහලට ගොස් ඔවුන්ව රැගෙන යන තුරු ආරක්ෂාවට යොදවා සිටින විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නිදාගෙන සිටින්නේ ද නැත. හරක් කටා පනින්නට හැදූ පෙර සැලසුම පවා ව්‍යර්ථ වන්නේ විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් නිසාය. එසේ නොවන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම පවා මේ වන විට එල්ලවී හමාරය.

කෙසේ වෙතත් මේ හැම කරුණක්ම තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. හරක් කටා සහ කුඩු සළිඳු කමාන්ඩෝ මෙහෙයුමකින් මුදා ගැනීමේ පාතාලයේ සැලසුමක් අනාවරණය වී ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හරක් කටාත් කුඩු සළිඳුත් නිරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබුණේය. එහිදී මහේස්ත්‍රාත්වරයාගේ විශේෂ අවධානයකට ලක්වී ඇතැයි පැවසෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කැමරා පද්ධතිය කෙරෙහිය. එම ආරක්ෂක කැමරා පද්ධතිය හරක් කටා පැන යන්නට සූදානම් වූ බව කියන පළමු සිදුවීමේදී පවා තිබෙන්නේ අක්‍රිය තත්ත්වයෙනි. ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මකව තිබුණේ නම් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදු වූ හැමදෙයක්ම පැහැදිලිවම දැන ගැනීමට තිබුණු ඉඩකඩ බොහෝය. ඒ හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු මහත්වරුන්ගේ වාහන නවතා තැබෙන ස්ථානයේ නවතා තිබූ යතුරු පැදිය එහි රැගෙන විත් නතර කරනු ලැබුවේ කවුරුන්දැයි කියාත් පැහැදිලිවම දැන ගැනීමට තිබුණේ හොඳ අවස්ථාවකි. ඒ හැම දෙයක්ම ගිලිහී යන්නේ ආරක්ෂක කැමරා පද්ධතිය කාලයක් තිස්සේ අක්‍රියව පැවතීම හේතුවෙනි. මෙතරම් දෙයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇතත් එම ආරක්ෂක කැමරා පද්ධතිය මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හරක් කටා සහ කුඩු සළිඳු නිරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන විටත් තිබෙන්නේ අක්‍රිය තත්ත්වයෙනි. ඒ නිසා මහේස්ත්‍රාත්වරයාට අවසානයේදී සිදුවන්නේ ආරක්ෂක කැමරා පද්ධතිය නැවත ක්‍රියාත්මක තත්ත්වයට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්නටය. ඒ හැමෝගේම ආරක්ෂාව ගැන සලකා බලාය.

මේ හැම සිදුවීමක්ම ගැන දැනට ඇත්තේ විමර්ශන මට්ටමේය. නිල තොරතුරු කිසිවක් මාධ්‍යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් මුදා හැර නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවා පවසන්නේ ඒ ගැන කිසිවක් තමාව දැනුවත්කර නොමැති බවය. විමර්ශන අවසානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට තොරතුරු ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වා ඒ ගැන කියන බව නිහාල් තල්දූව පවසන්නේ සැබෑ විමර්ශන තත්ත්වය රටටම දැන ගැනීමට ඉඩ සලසමිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division