Home » අධ්‍යාපනයෙන් හා ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නංවන නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල

අධ්‍යාපනයෙන් හා ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නංවන නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල

by Mahesh Lakehouse
October 28, 2023 1:00 am 0 comment
පාසලට ජයග්‍රහණ රැසක් අත්කර දුන් වොලිබෝල් කණ්ඩායම සහ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ කළමනාකරණ මණ්ඩලය ඇතුළු ආචාර්ය මණ්ඩලය

ඤ්ඤා නරානං රතනං” හෙවත් “ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි” යන තේමා පාඨය පෙරදැරිව ගමන් කරන ධම්මිස්සර ජාතික පාසල අභිමානවත් වසර 113ක ඉතිහාසයකට උරුමකම් කියන්නකි. එය රටටත්, ලෝකයටත් වැඩදායී දරු දැරියන් නිර්මාණය කිරීමෙහි පෙරමුණ ගෙන සිටී.

1913 මැන්ඩිස් විදුහල්පතිනියගේ (1913 සිට 1919) නායකත්වය යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 දෙනකුගෙන් ආරම්භ වූ මෙම විද්‍යාලය, 1920 ප්‍රථම වරට පිහිටවනු ලැබූ ද්විභාෂා පාසල් දොළහෙන් එකකි. මෙම විදුහල රාජ්‍ය ද්විභාෂා පාසල නමින් පසුකාලීනව හැඳින් වූ අතර එකල වයඹ පළාතේ එකම ඉංග්‍රීසි මාධ්‍ය පාසල බවට පත් වීම ද කැපී පෙනේ. පාසල් ගමන් මඟෙහි සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 1953 වර්ෂය වැදගත් වන්නේ රජයේ කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස පාසල නම් කිරීමත්, ශිෂ්‍ය පිරිස 183 දක්වා වර්ධනය වීමත් ය. විදුහල්පති ඩග්ලස් බෝගතලන්දගේ සේවා කාලය තුළ 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වැඩසටහනට සමගාමීව 1958 වර්ෂයේ නාත්තන්ඩිය රජයේ මහා විද්‍යාලය ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම මහා විද්‍යාලය බවට පත් විය.

1960 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් සිසුන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම පාසල් ඉතිහාසයේ ස්වර්ණමය ජයග්‍රහණයකි. එකී ශිෂ්‍යයන් දෙදෙනා අතරෙන් සමත් එදිරිසිංහ නම් ශිෂ්‍යයා පසුකාලීනව විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වීමත් ආදි ශිෂ්‍යයකු එකී ධුරයට (1998 – 2001) පත් වූ ප්‍රථම අවස්ථාව ලෙසත් ඉතිහාසගත වෙයි.

1961 – 1968 අතර කාලයේ විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ “පර්සි බෝයි” ගේ දූරදර්ශී නායකත්වය යටතේ එවක වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ ගෞරවාර්භ තාරවිල ධම්මිස්සර නායක හිමිපාණන්ගේ අද්විතීය මෙහෙවරට උරදෙමින් බෞද්ධ සම්ප්‍රදායන් හා බෞද්ධකම තුළින් මනාව ශික්ෂණය වූ මෙම පාසල ‘ධම්මිස්සර’ නාමයෙන් බෞද්ධ පාසලක් ලෙස හඳුන්වන්නට තීරණය කෙරිණි. මෙය ප්‍රදේශවාසීන්ගේ ද නොමඳ ගෞරවයට පාත්‍ර වීමට ප්‍රබල හේතුවක් විය. නාත්තන්ඩිය නගරයේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක කේන්ද්‍රස්ථානය ලෙස නැණ නුවණ වර්ධනය කරන මෙම පාසල වර්තමානය දක්වා ම බුදු දහමින් පණ පෙවුණු බොදු දරුවන් සමාජගත කරන සුවිශේෂී තක්සලාවක් බවට පත්වීම ප්‍රශංසනීය වේ.

එස්. එම්. සෝමරත්න විදුහල්පති ධුරය දැරූ කාලයේ ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් බවට පත් වන්නේ විද්‍යා අංශයෙන් ප්‍රථම වතාවට සිසුන් පස් දෙනෙකුම වෛද්‍ය පීඨයට තේරී පත් වූ නිසාය.

2021 වර්ෂයේ විදුහල්පති ධුරයට පත් ලුතිතන් කර්නල් නීල් සියඹලාපිටියගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ආචාර්යවරුන් 160 දෙනකුනේ සමන්විත ධම්මිස්සර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 4000ට ආසන්නය.

විදුහල්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මානව හා භෞතික සම්පත් මැනවින් කළමනාකරණය කරමින් අධ්‍යාපන මෙන්ම ක්‍රීඩා කෞෂල්‍යයන් විකසිත කර ගන්නට හැකි තෝතැන්නක් ලෙස පාසල නිර්මාණය කිරීම හා මෙහෙයවීම ඇගයුමට ලක් කළ යුතුමය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම මුළු විෂය මාලාවම ආවරණය කිරීම නිසා අධ්‍යාපනික ප්‍රතිඵල සාධනීය වර්ධනයක් අත්කර ගැනීමට හේතු වී තිබේ. පසුගිය කාලය පුරා රටේ පැවති නොසන්සුන් තත්ත්වය හා ආර්ථික අවපාතය හේතුවෙන් වරින් වර පාසල් වසා දැමීම ආදී දුෂ්කරතා මැනවින් කළමනාකරණය කර ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නව තාක්ෂණාංග උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කළ නිසා ම ඉහළ විභාග ප්‍රතිඵල වාර්තා කිරීමට ධම්මිස්සර පාසල් දරුවෝ සමත් වූහ. 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 77කු සමත් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි ම සිසුන් ප්‍රමාණයක් සමත් වූ පාසල බවට පත් වීම ප්‍රබල අධ්‍යාපන ජයග්‍රහණයකි.

එසේම පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සමස්ත සිසු සිසුවියන්ගේ ප්‍රතිශතය සියයට 97.6 කි. අ.පො.ස. උසස් පෙළ විභාගයේ මෙවර ප්‍රතිඵලය අනුව 160කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් අතර, ඒ අනුව වෛද්‍ය පීඨයට සිසුන් 18, ඉංජිනේරු පීඨයට සිසුන් 08, කළමනාකරණ පීඨයට සිසුන් 36ක් හා සෙසු පිරිස කලා අංශයට තේරීපත් වෙමින් පුත්තලම් දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයෙන් විශිෂ්ටතම පාසල බවට ධම්මිස්සර ජාතික පාසල පත්ව තිබේ.

2023 වර්ෂයේ පාසල ලද අධ්‍යාපන ජයග්‍රහණ අතර සුවිශේෂී කාරණයක් වන්නේ 2022 ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රිකයේ ප්‍රථමයාත්, ගණිත අංශයෙන් දිස්ත්‍රිකයේ ප්‍රථමයාත් බිහි කරන්නට මේ පින් බිම සමත් වීමය. බුද්ධිමය, සමාජමය හා සෞන්දර්යමය ගුණාංග වර්ධනය කරමින් පූර්ණ පෞරුෂත්වයට ඇවැසි විෂය දැනුම මෙන්ම ක්‍රීඩා කෞෂල්‍යයෙන් ද පිරිපුන් දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට විදුහල උරදී සිටිති.

ඒ අතර 1981 වර්ෂයේ 17 න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායම සමස්ත ලංකා වොලිබෝල් ශූරතාව දිනා ගනිමින් වොලිබෝල් ක්‍රීඩාවට අත්පොත් තබමින් සමස්ත ලංකා ජයග්‍රහණ 100කට වඩා දිනා ගෙන වාර්තාගත ජයග්‍රහණ ලබා ගත් පාසල බවට පත්වීම ම සුවිශේෂී කරුණකි. එසේම 2022 සහ 23 වර්ෂවල DSI සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියේ ශූරතා ත්‍රිත්වයක්, අනුශූරතාවක් හා සමස්ත ලංකා පාසල් තරගාවලියේ ජයග්‍රහණ සහ ශූරතා හිමිකර ගැනීමත් මෙහිදී කැපී පෙනේ. එසේම 2023 වර්ෂයේ සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමත්, සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමටත්, 2022 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලිය 10න් පහළ තරග ඉසව්වෙන් තෙවන ස්ථානයත්, 16න් පහළ ආසියානු පාසල් චෙස් තරගාවලිය 4 වන ස්ථානයත් දිනා ගැනීමටත් සමත්ව තිබේ. ජෝන් ටාබට් සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800ය තරග ඉසව්වෙන් 2023 වර්ෂයේ ප්‍රථමයා බිහි කරන්නට ධම්මිස්සර ජාතික පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වීම තවත් සුවිශේෂී කඩඉමකි.

2022 වර්ෂයේ ප්‍රථම වරට සමස්ත ලංකා පාසල් ශිෂ්‍යභට බාලක කනිෂ්ඨ සමස්ත ලංකා ශූරතාව දිනා ගත් අතර, 2023 වර්ෂයේ කනිෂ්ඨ ශිෂ්‍යභට වාර්ෂික තරගාවලියෙන් පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ශූරතාවත්, සමස්ත ලංකා අභියෝගතා කුසලාන ජාතික කඳවුර ශාරීරික අභ්‍යාස පරීක්ෂණය සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්, ඝන සරඹ පරීක්ෂණය සමස්ත ලංකා දෙවන ස්ථානයත්, අධ්‍යක්ෂ පරීක්ෂණය සමස්ත ලංකා තෙවන ස්ථානයත්, කනිෂ්ඨ ශිෂ්‍යභට සමස්ත ලංකා දක්ෂතම පාසල් අණ දෙන්නා ශූරතාවය දිනා ගැනීමත් සුවිශේෂ ජයග්‍රහණ වේ.

මීට අමතරව විද්‍යාලයීය බටහිර තූර්යවාදක කණ්ඩායම හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම 2023 සමස්ත ලංකා පාසල් බටහිර සංගීත (මිශ්‍ර – A2 – ජ්‍යෙෂ්ඨ) පළාත් ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ඇතුළු ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට සමත් විය. එසේම නර්තන හා මුද්‍රා නාට්‍ය කණ්ඩායම් සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරඟවලදී සෑම වර්ෂයකම ජයග්‍රහණ හිමි කරගත් අතර, 2022 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය, සමස්ත ලංකා පාසල් චිත්‍ර තරග වලදී සුවිශේෂ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන්නේය. පාසල් විවාද සංසදය, නව නිපැයුම් ඒකකය, දැනුම මිනුම, පාසල් වායු රයිෆල්, තාරකා විද්‍යා, ඔලිම්පියාඩ්, ගණිත, විද්‍යා, Serabble, බෞද්ධ, සාහිත්‍ය, වාණිජ, කලා, ව්‍යවසායකත්ව ආදී සංගම් ජීවී ඉගෙනුම් අත්දැකීම් ලබා ගත හැකි ලෙස ප්‍රශස්තව පාසල තුළ ක්‍රියාත්මක වන නිසා විශිෂ්ට ප්‍රතිඵල හා ජයග්‍රහණ ලබා ගනිමින් සමාජ හිතකාමී පුරවැසියන් බිහි කරන්නට ධම්මිස්සර ජාතික පාසල සමත්ව ඇත.

රසික කොටුදුරගේ, ඡායාරූප - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division