මෙරට බෞද්ධ අධ්‍යාපනය නැංවීමේ පියවරක් ලෙස පිරිවෙණ ආරම්භ කිරීමේදී 1873 වසරේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ විසින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණත්, 1875දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙණත් ආරම්භ කිරීම ප්‍රමුඛ කොට දැක්විය යුතුය.
නුගේගොඩ, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණ ආරම්භයට හේතු වූයේ ද මෙසේ ඇති වූ ධර්ම ශාස්ත්‍රිය ආලෝකයයි.
පිරිවෙණේ ආදී කතෘවරයාණන් වහන්සේ වූයේ විද්‍යෝදය මහ පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ ධර්මකීර්ති ශ්‍රී විනයාචාර්ය කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන සංඝනායක බෝරුක්ගමුවේ ශ්‍රී රේවත නාහිමිපාණන් වහන්සේය.
19 වන සියවසේ අවසාන භාගයේ සුභද්‍රාරාම රජමහා විහාරස්ථානයේ අධිපතීත්වය දැරූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නාහිමි විද්‍යෝදය මහ පිරිවෙණේ උප පරිවේණාධිපති හිමියන් ලෙස වැඩ සිටි බැවින් බෝරුක්ගමුවේ රේවත නාහිමියන්ට සුභද්‍රාරාම පිරිවෙණේ භාරකාරත්වය පවරන ලදී. ඒ අනුව ශ්‍රී රේවත නාහිමියන් විද්‍යෝදය පිරිවෙණේ අනුමැතිය ඇතිව සිය පන්තියේ සිසුන් සයදෙනාට තම ආරාමය වූ ගංගොඩවිල සුභද්‍රාරාමයේ දී අධ්‍යාපනය ලබා දුන්හ. එසේ පැමිණි සිසුන්ගෙන් 1900 වර්ෂයේදී පමණ සමාරම්භය සිදු වූ එම අධ්‍යාපනික සත්කාරය පසුව විද්‍යෝදය මහ පිරිවෙණටම සම්බන්ධ වූ ආයතනයක් ලෙස පවත්වාගෙන යන ලදී.
පසුව 1936දී වෙනම පිරිවෙණක් ලෙස ලියාපදිංචි කරන ලදී. ඒ වන විට කුඩා සාමණේර හිමිවරුන් රැසක්ම ශ්‍රී රේවත නාහිමිපාණන් යටතේ එහි අධ්‍යාපනය ලැබූහ.
උන්වහන්සේ අසනීප වීමෙන් පසු පිරිවෙණෙහි සියලු වගකීම් භාර වූයේ, උන් වහන්සේගේ ශිෂ්‍ය බෝරුක්ගමුවේ ශ්‍රී දේවමිත්ත නාහිමිපාණන් වහන්සේ වෙතය. 1956 වසරේ දී ශ්‍රී රේවත නාහිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු බෝරුක්ගමුවේ දේවමිත්ත නාහිමියෝ පරිවෙණාධිපති ධුරයට පත් වූහ. උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙන් හා කැපවීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් කීර්තිමත් ආයතනයක් වශයෙන් ප්‍රචලිත වූ සුභද්‍රාරාම විද්‍යස්ථානය ජ්‍යෙෂ්ඨ පිරිවෙණක් ලෙස පත් කළ අතර පසුව විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ආයතන ස්ථාපනය කිරීමේ දී සුභද්‍රාරාම ජ්‍යෙෂ්ඨ පිරිවෙණට, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස කටයුතු කරන්නට අවකාශ ලැබුණි.
1956 වසරේ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආගමික, සාමාජික, සංස්කෘතික හා ජාතික වශයෙන් නව ප්‍රබෝධයක් ඇති වූ අතර එහිදී සුභද්‍රාරාම පිරිවෙණේ දායකත්වය අති විශාලය.
දේවමිත්ත නා හිමියෝ පරිවේණාධ්‍යක්ෂ ධුරය මෙන් ම පරිවේණාධිපති තනතුර ද දරමින් ධර්මධර විනයධර භික්ෂූ පිරිසක් බිහි කිරීම උදෙසාම මහත් කැපවීමෙන් ක්‍රියා කළහ. දේවමිත්ත නාහිමිපාණන් වහන්සේගෙන් පසු පරිවෙණාධිපති ධුරයට පත්වූයේ ඉහළගම ධම්මජෝති නාහිමිපාණන් වහන්සේය. 1971 වසරේ පරිවේණාධිපති ධුරයට පත් තිඹිරිවැව සුමනසාර හිමියන් අධ්‍යාපන සමය පිරිවෙණේ තවත් කීර්තිමත් අවධියක් විය. උන්වහන්සේගෙන් පසු ඉත්තදෙමලියේ වනරතන හිමි සහ වර්තමාන පරිවේණාධිපති ගන්තුනේ සෝමතිලක හිමියන් ද, සුභද්‍රාරාම මූලික පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤානන්ද හිමියන් ද ආයතනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් සිටිති.
1981දී බෝරුක්ගමුවේ දේවමිත්ත නාහිමියන් අපවත් වීමෙන් පසු පරිවේණාධ්‍යක්ෂ ධුරයට පත් වූයේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තබ්බෝවේ ආනන්ද රේවත නාහිමිපාණන්ය. උන් වහන්සේ ද සුභද්‍රාරාම විද්‍යාස්ථානයේ උන්නතිය උදෙසාම ඇප කැප වූහ. උන් වහන්සේගේ සමයේ වූ විශේෂම කාර්ය වන්නේ ගිහි සිසුන් සඳහා වෙනම විද්‍යාලයක් ආරම්භ කිරීමය. එහි ප‍්‍රථම විදුහල්පති වූයේ ප්‍රවීණ ලේඛක එස්.කේ.සී. පෙරේරාය. 2018. 09. 14 වැනි දින තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු පරිවේණාධ්‍යෂක ධුරයට පත් වුයේ පෙර අපර දෙදිග භාෂා සාහිත්‍ය දැනුම හා අර්ථ ශාස්ත්‍ර හා නීති ශාස්ත්‍ර පිළිබඳ දැනුම්වත් බවින් යුත් කොළඹ නව කෝරලයේ ද්විතීය සංඝනායක පල්ලෙවෙල දේවරක්ඛිත නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ පිරිවෙන් සිසුන්ට මෙන්ම සමස්ත සිසු දරුවන් වෙනුවෙන් පරිත්‍යාගශිලීත්වයෙන් හා සමාජ සේවා සත්කාරයන්හි නියැළෙමින් පිරිවෙන් විද්‍යායතනයේ මෙන්ම විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා කාලයත්, ශ්‍රමයත් යොදවමින් ශාසනික කටයුතුවල නිරත වන්නේය.
මේ වන විට සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණේ පෙරවරු පාසල 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (කලා/වාණිජ) හා පස්වරු ප්‍රාචීන, ප්‍රාරම්භ මධ්‍යම, අවසාන හා උසස් පෙළ පන්ති ද ආරම්භ කර ඇත. පිරිවෙණේ අධ්‍යාපනය ලබන කුඩා සාමණේරයන් වහන්සේ සහ ගිහි සිසුන් වෙනුවෙන් සුභද්‍රාරාම මූලික පිරිවෙණ ද ආරම්භ කරන ලදී.
ශ්‍රී ලාංකේය සාසනික හා සමාජ ක්ෂේත්‍රය ප්‍රභාවත් කළ යතිවරයාණන් වහන්සේලා අතර අපවත් වී වදාළ අමුණුගම මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර පහමුණේ කීර්ති ශ්‍රී ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක යටවර සංඝරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහියංගණ රජමහ විහාර භාරකාර අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික පූජ්‍ය කරල්ලියද්දේ සීලානන්ද නාහිමි, කැලණිය මානෙල්වත්ත විහාරධිපතිව වැඩ විසූ පූජ්‍ය කන්දක්කුලමේ ධම්මකිත්ති නාහිමි සහ අමරපුර පාර්ශ්වයේ අනුනායක දොඩම්ගොඩ සිරිකර මහනාහිමිපාණන් වහන්සේ ද, අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක මාදම්පාගම අස්සජි අනුනාහිමිපාණන් වහන්සේ ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මාඹුල්ගොඩ සුමනරතන නාහිමිපාණන් වහන්සේ ද, බොල්ලෑගල නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ, මහාචාර්ය නායිම්බල ධම්මදස්සි හිමිපාණන් වහන්සේ, ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති එළමල්දෙණියේ සාරානන්ද හිමිපාණන් වහන්සේ ද මෙහි කීර්තිමත් ආදි විද්‍යාර්ථීන් වහන්සේලා ලෙස පෙන්වා දිය හැකිය.