Home » ඔක්තෝබර් 30 දා රාහු මීනයට කේතු කන්‍යාවට

ඔක්තෝබර් 30 දා රාහු මීනයට කේතු කන්‍යාවට

වසර 18කට පසු සිදුවන ග්‍රහ මාරුවක්

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– ලග්න 12ට පලාපල මෙන්න
– ඔක්තෝබර් 30 රාත්‍රී 7.47ට රාහු මේෂයේ සිට මීනයට පිවිසෙන අතර එම වේලාවටම කේතු කන්‍යාවට පැමිණෙයි

දැනට මේෂ රාශියේ ගමන් කරන රාහු ග්‍රහයා 2023 ඔක්තෝබර් මාසයේ 30 වැනිදා රාත්‍රී 07.47 ට මේෂ රාශියේ සිට මීන රාශියට පිවිසෙන අතර කේතු ග්‍රහයාද එදිනම එම වේලාවටම තුලා රාශියේ සිට කන්‍යා රාශියට පිවිසෙයි. රාහු හා කේතු පසුපසට ගමනක යෙදෙන ඡායා ග්‍රහයින් දෙදෙනෙකු ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබයි. ඉතින් මේ ග්‍රහ දෙපළ මීට වසර 18කට පමණ එනම් 2005 මාර්තු 25 සිට වසර එකහමාරක කාලය තුළත් මේ රාශි ද්විත්වයේ ම ගමන් කර ඇත. මේ රාහු කේතු මාරුවේ ප්‍රතිඵල සිතාගත හැකි පහසුම ක්‍රමය 2005 ‐ 2007 ත් අතර වර්ෂවල ඔබගේ පෞද්ගලික ජීවිතයේ සහ පොදුවේ ගත් කල සමස්ත රටේ සිදුවූ සිද්ධීන් විමසීමයි. මෙම ග්‍රහ මාරුව පමණක් සැලකූ විට එය තේරුම්ගත හැකිය. මේ කාලයේ සහ එම කාලයේ සිදුවූ සිදුවන සිද්ධීන්වල යම් සමානකමත් තිබෙන බව පෙනී යන කරුණකි.

වසර 1 1/2ක පමණ කාලයක් තම ග්‍රහ ලොව බලවතා වූ කුජට අයත් මේෂ රාශියේ රැඳි සිටි රාහු ගුරුට අයත් මීනයටත්, සිකුරුට අයත් තුලා රාශියේ සිටින කේතු බුධට අයත් අනෙක් රාශිය වන කන්‍යා රාශියටත් සම්ප්‍රාප්ත වීම තුළ රටක් ලෙස පොදු වශයෙන් ගත් කල මෙම කාල සීමාවේ බොහෝ විට අයහපත් කාලගුණික විපර්යාස, නාය යෑම්, තදබල නියඟ තත්ත්වයන්, ගංවතුර, හදිසි අනතුරු, අධ්‍යාපන සහ සෞඛ්‍යය යන විෂයන්හි අර්බුද, සතුරු බලවේග ක්‍රියාත්මක වීම් වැනි අහිතකර සිදුවීම් ද ඇති වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා පැවති ඩෙංගු වැනි උණ රෝග තත්ත්ව මෙම රාහු කේතු මාරුවත් සමඟ යම් පමණකින් පහව යනු ඇත. රථවාහන අනතුරු ඉහළ යන කාලයකි. එම නිසා සියලු දෙනා ඉතා කල්පනාකාරීව ආගම-දහමට මුල්තැන දෙමින් ඉවසිලිමත්ව කටයුතු කිරීමෙන් ඉහත දැක්වූ අපල උපද්‍රව අවමකර ගත හැකිය.

රාහු කේතු මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

මේෂ – රාහු 12ත් කේතු 06ත් යන ස්ථානවල ගමන් කිරීම මත මේෂ ලග්නය හිමි ඔබට සහෝදර මතභේද දුරු වෙයි. ඒත් එතරම් සුබ නැත. රාහු දුබල නම් අක්ෂි රෝග කරන ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය.

වෘෂභ – රාහු 11 වැන්නේත් කේතු 5 වැන්නේත් වීමෙන් විදෙස්ගත වීමට සිටින ඔබට ඒ සඳහා අවස්ථා උදා වනු ඇත. ගමන්බිමන් බහුල වනු ඇත. ආදායම් තත්ත්වය යහපත් වේ. විවාහ ප්‍රමාද ඉවත් වෙයි. මානසික තත්ත්වය දුර්වල වීම් හා විවිධ බාධා ඇති වෙයි.

මිථුන – රාහු 10 වැන්නේත් කේතු 4 වැන්නේත් ගමන් කිරීමෙන් උදාවන මෙම ග්‍රහ මාරුව තුළ මිථුන ලග්නය හිමි ඔබට නීතිමය අංශයන්ගෙන් හා රැකියා අංශවලින් යම් බාධා ඇති වේ. සතුරු කරදර හා පීඩාවන්ට මුහුණ පෑමට සිදු වෙයි. විදේශගත වීමේ වාසනාව හිමිය.

කටක – කටක ලග්නය හිමි ඔබට ඉතා සියුම් අන්දමින් තමාගේ අභිමතාර්ථයන්ට පත් වීමට මාර්ග මතු වෙයි. රාහු හා කේතු 9 හා 3 ගමන් කිරීමෙන් බොහෝ දෙනාගේ සහයෝගය ඔබට හිමි වනු ඇත. එසේම ඔබට යම් අංශවලින් මෙම රාහු කේතු මාරුව සුබදායක වනු ඇත. අධ්‍යාපන තත්ත්වයේ දියුණුවක් ඇති වේ.

සිංහ – සිංහ ලග්නය හිමි ඔබගේ රැකී රක්‍ෂා හා ව්‍යාපාරවලට බාධා හා ගැටලු ඇතිවීමට ඉඩ ඇති අතර පදිංචි ස්ථානයේ වෙනසක් ඇති විය හැකිය. රාහු 8ත් කේතු 2ත් නිසා ශරීර අභ්‍යන්තරයේ රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකිය. මවට යහපත් නැති අතර සෙම් රෝග ඇති කරයි.

කන්‍යා – කන්‍යා ලග්නය හිමි ඔබගේ රැකියා බාධා ඉවත් වෙයි. කේතු ලග්නයේත් රාහු 07 වන ස්ථානවල ගමන් කිරීමෙන් දේපළ ලැබීමට ඉඩ ඇත. ඔබ මෙම කාල සීමාව තුළ ඉවසීමෙන් හා සිතාමතා කටයුතු කළ යුතුය. මෙම ග්‍රහ මාරුව ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල උදා වනු ඇත.

තුලා – 6 හා 12 ස්ථානවල රාහු කේතු ගමන් කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය තත්ත්වය පරිහානියට පත් වෙයි. මවට අපලය. ආදායම් තත්ත්වය නම් අයහපත් වනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබට සුබදායක නැත. ආගමට දහමට ලැදි කාලයක් වනු ඇත.

වෘශ්චික – ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. එසේම යම් යම් අංශවලින් ජයග්‍රහණයන් ලබා ගැනීමෙහි අවස්ථා උදා වෙයි. එහෙත් විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට ඉඩ ඇත. ඔබගේ ප්‍රසිද්ධිය හා ගෞරවය ඉහළ යනු ඇත. රාහු 5 වැන්නේත් කේතු 11 සිටීමෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නම් දුර්වල කරයි.

ධනු – රාහු 4 වැන්නේත් කේතු 10 වැන්නේත් වීම හේතුවෙන් මෙම ලග්නය හිමි ඔබගේ වැඩ කටයුතුවල යම් අවුල් ස්වරූපයක් ඇති කරයි. එසේම මෙතෙක් පැවති විවාහ දෝෂ පහව යන අතර, ලැබෙන ආදායම ඉතිරි කර ගත හැකියි. වියදම් කිරීමට ලෝභ සිතේ. දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් උදවු උපකාර හිමි වනු ඇත. ඔබගේ මහන්සියේ තරමට ප්‍රතිඵල නැත.

මකර – මකර ලග්නය හිමි ඔබට පපුව හා දණහිස් හා අත්/උරහිස් ආශ්‍රිතව තිබූ රෝගාබාධ ඇතිවිය හැකිය. අධ්‍යාපනය, දැනුම ලබා දෙයි. රාහු 3 වැන්නේත් 9 වැන්නේ කේතුත් ගමන් කිරීම ඔබගේ සහෝදරයන්ට යහපත් වනු ඇත. පියාට අපලය. ආගම දහමට යොමු වනු ඇත.

කුම්භ – රාහු 2 වැන්නේත් කේතු 8 වැන්නේත් වීමෙන් ඔබගේ වැය පක්ෂය ඉහළ යනු ඇත. දරු පල සම්බන්ධව තිබූ බාධා කුම්භ ලග්නය හිමි කාන්තාවන්ගෙන් යම් පමණකින් ඉවත් වන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. නිලතල හා සත්කාර ලැබේ. දත්වල හා මුහුණේ ආබාධ ඇති කරයි. එසේම බෝවන රෝග ඇති වෙයි.

මීන – දේපළ ඉඩකඩම් ආශ්‍රිතව තිබූ කරදර බාධා යම් පමණකින් පහව යනු ඇත. රාහු ලග්නයේත් කේතු 7 වැන්නේත් හේතුවෙන් විවාහ බාධා ඇති කරයි. පවුල් ජීවිතයේ ගැටලු ඇති විය හැකි බැවින් ඉවසිලිමත් විය යුතුය. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට සුබයි. විභාගවලින් ඉහළ සාමාර්ථ හිමි වේ. තම ගෞරවය හා තත්ත්වය රැක ගනී.

රාහු කේතු මාරුව හේතුවෙන් සුබවාදී පණිවුඩ මෙන්ම අසුබ කාරණා ද ඉදිරි කාලයේදී දැකගත හැකි වනු ඇත. මේ රාහු කේතු සුබ අසුබ මැදින් ඉදිරි වසර එකහමාර තුළ අපට කාලය ගෙවීමට සිදුවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම - සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division