Home » ඉල් මාසය ඔබට කොහොම ද?

ඉල් මාසය ඔබට කොහොම ද?

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– නොවැම්බරයේ ග්‍රහ මාරු 06ක්
– මිනිසුන් තුළ ධෛර්යය ශක්තිය එඩිතරකම කියාපාන කාලයක්
– ග්‍රහයන් වැඩි දෙනෙක් වෘශ්චික රාශියට

අප දැන් පියවර තබන්නේ නොවැම්බර් මාසයට එසේත් නැතිනම් ඉල් මාසයටයි. එළඹෙන මාසය තුළ ‘ග්‍රහණ‘ සහ ‘ග්‍රහ යුද්ධ‘ කිසිවක් නොමැති අතර ‘ග්‍රහ මාරු‘ 6ක් දක්නට ලැබෙයි. මාසයේ මුල එනම් 03 වැනි දින 05.13 සිකුරු කන්‍යාවටත් 06 දින 16.26 ට බුධ වෘශ්චිකයටත් 16 දින 10.48ට කුජ වෘශ්චිකයටත් 17 දින 01.19ට රවි වෘශ්චිකයටත් නැවතත් 27 දින 06.01ට බුධ ධනුවටත් ගමන් කරයි. නැවතත් 30 වැනි දින 01.04ට සිකුරු, තුලාවට පිවිසෙයි. ග්‍රහයන් වැඩි දෙනෙක් ගමන් කරන්නේ වෘශ්චික රාශියට වීමත් විශේෂත්වයකි. කුජ වෘශ්චිකය වූ තමාගේම රාශියට පිවිසීම මිනිසා තුළ ධෛර්යය ශක්තිය එඩිතරකම කියාපාන්නකි. ශුක්‍ර හෙවත් සිකුරු කන්‍යාවට පිවිසීමත් ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරන්නකි. මේ ග්‍රහ මාරු සමඟ ඉදිරි මාසය ඔබට කෙසේ බලපවත්වන්නේදැයි බලමු.

මේෂ – අතමිට මිල මුදල් හිඟ නොවන කාලයක්

ගෘහ ජීවිතය :- යෝග කාරක රවි සහ ගුරු කේන්ද්‍රගතව ගෝචර ගමනින් ආරම්භ වන මාසය ඔබට අයහපත් නොවේ. දෙවැන්නේ සිටින බලවත් සඳු ද සිවුවැන්න දැකීම හේතුවෙන් කුටුම්භ සංරක්ෂණය හොඳින් පවත්වාගෙන යයි. ආර්ථික අපහසුතා මඟහරවා ගැනීමට හැකි වේ. අන්‍යයන් සමඟ සුහදතාවයෙන් කල් යවයි. දරුවන් කලා කටයුතුවලින් ජයග්‍රහණ දක්වයි. පුණ්‍ය කටයුතු සඳහා වැඩි දායකත්වයක් දක්වන ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිමි වෙයි.

රැකියාව :- ඔබ කුමන අංශයක රැකියාවන්හි නිරත වුවත් අතමිට මිල මුදල් හිඟතාවක් ඇති නොවේ. දුර ගමන් බිමන් ආශ්‍රිතව රැකියා සබඳතා ගොඩනැඟේ. විදේශ රැකියා සඳහා යොමු වූවන්ට යහපත් කාලයකි.අධ්‍යාපනය :- කලා අංශවලින් විභාගවලට මුහුණ දීමට කටයුතු කරන සියලු දෙනාටම සුබ පල ගෙන දෙන ග්‍රහ බල ද ආර්ථික විද්‍යා, ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ද පොදුවේ ගත්කල ගුරු ලග්නගත වීම අනුව සැමට සුබපල ලබා දෙයි.

සෞඛ්‍යය :- පා ඇඟිලි සම්බන්ධව වේදනා සහ සෙම් රෝග මතුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

අපල අවම කරගැනීමට උනන්දු වීම වැදගත් වන්නේ රාහු 12 වැන්නේ නොකළ වැරදිවලට ද චෝදනා එල්ල විය හැකි බැවිනි. බෝධියක් අබියස වැටකේ මල් පුදා විෂ්ණු දෙවියන්ට පින් දී රාහු අපල දුරලන්න. සෑම දිනකම කහ පාට මල් ටිකක් බුදුන්ට පූජා කර අභිසම්භිධාන පිරිත කියන්න.

සුබ අංක – 9, 11, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – ස්වයං රැකියාවලින් ආදායම්

ගෘහ ජීවිතය :- ලග්නයේම සඳු බලවත්ව සිටීමත් ලග්නාධිපති සිකුරු සිවුවැන්නේ ගෝචර වීමත් අනුව සමාජ සේවා සුබසාධන කටයුතුවලට පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙමින් චිත්ත පාරිශුද්ධියෙන් සහ විනෝදයෙන් ගෘහ ජීවිතය ගෙවයි. බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය ලබයි. වියදමට සරිලන ආර්ථිකයක් ගොඩනැඟෙන ග්‍රහබල පෙන්නුම් කරයි. යානවාහන, ගේදොර හිමිවීමේ භාග්‍ය ද ඇත. මාසයේ මැද භාගයෙන් පසු ඇතිවන ග්‍රහ මාරු අනුව යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වුවත් ඒවා තාවකාලික වේ.

රැකියාව :- දියර වර්ග ආශ්‍රිතව කෙරෙන කෘෂි නිෂ්පාදන, තීන්ත කර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලින් ආදායම් වැඩි වේ. ගෘහස්ථ කර්මාන්ත, ස්වයං රැකියා ආදායම් උපද්දවයි. ඇවිදිලි වැඩි වෘත්තීමය කටයුතු හා විදේශ ගමන්වලින් ද සුබපල ගෙන දෙයි.

අධ්‍යාපනය :- විද්‍යා, ගණිත අංශවලින් ඉගෙනුම ලබන දරුවන්ට මතක ශක්තිය ගොඩනැංවෙන ග්‍රහබල හොඳින් පවතින අතර කැපවීම අවශ්‍යය. කලාත්මක අංශවලින් ද ඉදිරියට යයි.

සෞඛ්‍යය :- සෙම් රෝග සහ කොඳුඇට පෙළේ වේදනා ඇතිවිය හැකි අතර පාදවල අසනීප අඩුවී යයි. ගුරු 12 වැන්නේ බැවින් ඔබගේ හොඳ ගති වෙනස් නොකර පවත්වා ගැනීමට උනන්දුවීම වැදගත් වේ. අපල අවම කර ගැනීමට වකුගඩු රෝගීනට උපකාර කිරීමත් නොයෙක් වර්ණයෙන් යුත් මල් බුදුන්ට පූජා කිරීමත් දසදිසා පිරිත කීම හා ශ්‍රවණය කිරීමත් සුදුසු වේ.

සුබ අංක – 6, 11, සුබ වර්ණ – ක්‍රීම්, රෝස,

සුබ දවස් – සිකුරාදා, බදාදා

මිථුන – මාපිය දූදරු බැඳීම් වර්ධනය වේ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති බුධ සහ තුන්වැන්න අධිපති සිකුරු රාශි මාරුවක් සමඟින් ගෝචර වීම අනුව පදිංචි ස්ථානයේ දියුණුව පිළිබඳව වෙහෙසෙන මාපිය සහෝදර දූදරු බැඳීම් වර්ධනය කෙරෙමින් ගත කරනු ලබන යහපත් කාල සීමාවකි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු සපල වීමේ ඉඩකඩ පෙන්වයි. දුර ගමන් බිමන් යෙදෙන අතර අසරණ ජනතාවගේ ගැටලුවලට උදවු උපකාර කරයි. යානවාහන, ගේදොර බලාපොරොත්තුවෙන් සිටින අයට ඒවායේ විසඳුමක් ලැබිය හැකි කාලයකි.

රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ අධිපති 11 වැන්නේ වීමත් සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථානයේ ගෝචරව සිටීමත් අනුව කරන කියන රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙනු ලබයි. කෘෂිකාර්මික අංශවලින් ද දියුණුවක් සලසා ගත හැකි අවදියකි. රැකියා ස්ථාන මාරුවකට ඉඩ ඇත.

අධ්‍යාපනය :- විද්‍යා, අධ්‍යාපනය මෙන්ම කලාත්මක අංශවල නිපුණතාවන්ට සුබ කාලයකි. දක්ෂයන්ට තව තවත් ඉදිරියට යා හැකි දුර්වල දරුවන්ට වුව මතක ශක්තිය ඇති කරන අවදියක් බැවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන්න.

සෞඛ්‍යය :- මාසයේ මැද භාගයෙන් පසුව කොඳුඇට පෙළේ වේදනා, ස්නායු දුබලතා හට ගැනීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට කුඩා දරුවන්ගේ අධ්‍යාපනයට, රැකවරණය සලසාලීමට, නැතිබැරිකම් පියවා ගැනීමට උදවු කරන්න‍.

සුබ අංක – 7, 11, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සඳුදා, සිකුරාදා

කටක – නිවසට අලුත් කොටසක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති අයස්ථානගතව සිටින බැවින් ලැබීම්වලට යහපත්වේ. සැහැල්ලුවෙන් විනෝදයෙන් ගෙදර දොර කටයුතු සිදු කරයි. දෙවැන්න සිවුවැන්න රාශි මාරුව නිසා මෙතෙක් අඩුපාඩුව තිබූ යම් කොටසක් ගෘහයට එකතු කර ගැනීමට හැකි වනු ඇත. එසේ නොවූයේ නම් නවීකරණ කටයුත්තක් හෝ සිදු කරයි. පුණ්‍ය කටයුතු සඳහා කැපවීමෙන් වැඩ කරන අතර වැඳ පුදා ගැනීම සඳහා දුර ගමන්වලට සහභාගී වෙයි. දරුවන්ගේ ඉගෙනීම මෙන්ම වෙනත් යහපත් බලාපොරොත්තු ද සපලවනු ඇත.

රැකියාව :- ඔබ දැනට කරගෙන යන රැකියාවලින් උසස් වීම් හෝ අගය කිරීම් පිළිගැනීම් වැනි දේ අත්විඳින්නට හැකිවන අතර මිල මුදල් අතමිට ගැවසෙන කාලයක් ද වනු ඇත. මෙතෙක් රැකියා නොලද තම දරුවන්ට ඒ සඳහා කැඳවීම් ලිපි ලද හැකි වේ.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුටම පාහේ තිබෙන අඩුපාඩුකම් මඟහැරී දැනුම වර්ධනය කර ගැනීමටත් විභාගවලින් වැඩි ලකුණු ලබා ගැනීමටත් හැකි වාතාවරණයක් ඇති කරනු ලබයි.

සෞඛ්‍යය :- අෂ්ටම ඒරාෂ්ටකයක් බල පවත්වන බැවින් සුළු අපල උපද්‍රව අසනීප ගතිවලට ඉඩ ඇත. එම අපල අවම කර ගැනීමට විෂ්ණු දෙවියන්ට, පත්තිනි මෑණියන්ට පින් දී කටයුතු කරන්න. අන්තරාය නිවාරණ පිරිත කියන්න.

සුබ අංකය – 11, සුබ වර්ණ – සුදු, කහ, සුබ දවස් – සඳුදා, සිකුරාදා

සිංහ – විදේශ ගමන් සාර්ථකයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 3 වැන්නේ ගෝචරව සිටිනුයේ යෝගකාරක කුජ හා දෙවැන්නාධිපති සමඟය. ලග්නගතව ඇත්තේ සිකුරුය. ඒ අනුව පදිංචි ස්ථානයේ දියුණුව, ගේදොර යානවාහන සශ්‍රීකත්වය මෙන්ම දුවා දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ද ඉටු වනු ඇත. සහෝදර සබඳතා වර්ධනය වේ. විදේශ ගමන් යෙදෙන්නට පුළුවන. ඇවිදිලි වැඩිය. පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් සපයයි.

රැකියාව :- මෙතෙක් ඔබ කරගෙන ආ රැකී රක්ෂා, කර්මාන්තවල මන්දගාමී ස්වරූපයක් තිබුණේ නම් ඒවා ඉවත් වී කාර්යක්ෂම වේ. ස්ත්‍රී පක්ෂය සමඟ වැඩි ගනුදෙනු සිදුවන අතර වෘත්තීමය කටයුතු වෙනුවෙන් මෙරට මෙන්ම විදෙස් සංචාර ද යෙදෙන්නට ඇති ඉඩකඩ වැඩිය. දියර වර්ග සම්බන්ධව කෙරෙන කර්මාන්තවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත්කර දෙයි.

අධ්‍යාපනය :- අධ්‍යාපනික අංශවල ප්‍රගතියක් ඇතිවන අතර ගුරු භවතුන්ට කීකරුව ඔවුන්ගේ ජයග්‍රහණ හා ඉලක්ක කරා යාමට කටයුතු කරයි. කලා හා ක්‍රීඩා අංශවල ජයග්‍රාහී අවස්ථා උදා වේ. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මතක ශක්තිය ගෙන දෙන ග්‍රහබල පෙන්නුම් කරයි.

සෞඛ්‍යය :- උණ, කොඳු ඇට පෙළේ වේදෙනා, මුත්‍රා ආසාදනවලට ඉඩ ඇති බැවින් ජලය වැඩියෙන් පානය කිරීමත්, සෞඛ්‍යය තත්ත්වය පරික්ෂා කර ගැනීමත් වැදගත් වේ.

අපල අවම කරගැනීමට වස් කාලයේ විහාරස්ථානයේ කටයුතුවලට සහභාගීවන්න. දායකත්වය දෙන්න.

සුබ අංක – 4, 11, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා.

කන්‍යා – රැකියා කටයුතුවල වෙනසක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ ත්‍රිග්‍රහ යෝගයකින් සිටින අතර දෙවැන්නාධිපති 12 වැන්නේ ගෝචරව ඇත. එයින් කියැවෙන පරිදි මිල මුදල් ඉපැයුවත් වියදම් ද ඊට සාපේක්ෂව වැඩි වෙයි. කල්පනාකාරීව වියහියදම් කිරීම, අත්‍යවශ්‍යම දේට පමණක් මුදල් යෙදවීම කළ යුතුය. ණය ගනුදෙනුවලට අත්සන් කිරීමෙන් ප්‍රවේශම් වන්න. විදෙස් ගමන් යෙදෙන්නට ඇති ඉඩකඩ වැඩි අතර මෙරට වුවද දුර ගමන් පුණ්‍ය කටයුතු සඳහා යොදා ගනී. රාහු මීනයේ බැවින් යුග දිවිය පිළිබඳ ගැටලු පැන නැගීමට ඉඩ ඇත.

රැකියාව :- ඔබ දැනට කරන රැකියා කටයුතුවල වෙනසක් ඇතිවිය හැකියි. එය ඔබගේම උනන්දුව මත උසස් වීමක් හෝ විය හැකි අතර වචනයේ ප්‍රබලත්වය ඇති කරයි. ගුණාත්මක බව අවංක සාධාරණවීම තුළ ප්‍රධානීන්ගේ අවධානය ඔබ වෙත ලැබේ.

අධ්‍යාපනය :- බුධගේ දෘෂ්ටිය මෙන්ම සඳුගේ ද දෘෂ්ටිය 5 වැන්නට යොමුවන බැවින් ප්‍රාථමික අධ්‍යාපනයේ මෙන්ම උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගන්නා දරුවනට සුබපල ප්‍රදානය කරයි. උනන්දුවෙන් කැපවීමෙන් ඔබගේ කාර්යයන් සිදුකර ගන්න.

සෞඛ්‍යය :- සෙම් රෝග, හිසරදය මෙන්ම මුත්‍රා දෝෂ ආදියට ද ඉඩ ඇති බැවින් අවේලාවේ නෑම ඔබට අගුණය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ උනන්දු වන්න.

අපල අවම කර ගැනීමට වස් කාලයේ භික්ෂූන් වහන්සේට තද කොළ පැහැයට හුරු කැඳ වර්ග පිළිගන්වන්න. කොහොඹ වෘක්ෂයට සත්කාර කරන්න.

සුබ අංක – 7, 11, සුබ වර්ණය – කොළ,

සුබ දවස් – සිකුරාදා, බදාදා

තුලා – කාන්තා පාර්ශ්වයෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 11 වැන්න වූ අයස්ථානයේ ගෝචරව සිටින බැවින් කාන්තා පාර්ශ්වයේ උදවු උපකාර මෙන්ම සමාජයෙන් ලැබෙන පිළිගැනීම වැඩිවේ. පොදු වැඩවලට, පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් සපයයි. ආර්ථිකය ශක්තිමත් වේ. යුග දිවිය, ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි සහ දුවා දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි අසන්නට ලැබෙයි. ගෙදර දොර කටයුතු වෙනසකට භාජනය කරමින් අලංකරණය සඳහා වෙහෙසෙයි. රැකියාව :- ඔබ විදෙස් රැකියාවක් ඉල්ලුම් කර තිබුණේ නම් එය ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. දැනට කරගෙන ගිය රැකියාව හදිසි වෙනස් වීමකට භාජනය විය හැකි අතර ආදායම් මාර්ග අවහිර නොවේ. වෙළෙඳ ව්‍යාපාර, සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය ඔබට වැඩි ලාභ අත්කර දෙයි.

අධ්‍යාපනය :- ගණිත අංශවල ඉගෙනුම ලබන දරුවනට ගැටලු විසඳාලීමේ නැණ නුවණ ගෙන දෙයි. පරිගණක දැනුම වර්ධනය කෙරේ. විභාගවලින්, ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ කිරීමේ ශක්තිය පෙන්වයි.

සෞඛ්‍යය :- උණ රෝග, යටිබඩ ආශ්‍රිතව හෝ ගර්භාෂගත රෝග පීඩා මතු විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීම වැදගත් වේ. හදිසියේ සුළු අනතුරුවලට ද ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට ගිතෙල්, පොල්තෙල්, අබතෙල් මිශ්‍ර කර කරඳකොළ මත පහන් දල්වා සිකුරාදා දින බෝධි පූජා තබන්න. සුවඳ වර්ග දල්වන්න. බෝධිය අවට සුවඳවත් කරන්න. දෙවියනට පින් දෙන්න.

සුබ අංක – 6, 11, සුබ වර්ණ – සුදු, ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – දේපළ උරුම

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 12 වැන්නේ 10 වැන්නාධිපති සමඟ මෙන්ම 11 වැන්න අධිපති ද සමඟ යෝගව ඇත. විදෙස් ගමන් අයදුම් කර තිබුණේ නම් ඒවා සපල වීමට පුළුවන. වැඩිහිටි අයගේ දේපළ, ගෙවල් දොරවල් හිමිවිය හැකි කාලයකි. සමාජශීලී වේ. පොදු කටයුතුවලදී කැපවීමෙන් ඉදිරිපත් වේ. අසල්වැසියන් සමඟ මෙන්ම ඥාති හිතවත් අය සමඟ ද ඉතා කුළුපගව කටයුතු කරයි. සමාජයෙන් පැසසුම් ලබයි. අසාධාරණය අයුක්තිය දුටුවිට නොඉවසන ගතියක් ඇති වේ.

රැකියාව :- ඔබ දැනට කරගෙන යන්නාවූ රැකී රක්ෂා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. රන් ආභරණ, මැණික් ව්‍යාපාර, සුඛෝපභෝගී භාණ්ඩ, ඇඳුම් පැලඳුම් අලෙවිය ලාභදායකය. ස්වයං රැකියාවලට සුබ කාලයකි. කෘෂිකාර්මික භෝග වගාව ද පලදායීය.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට යම් බාධා පැමිණිය හැකි වන්නේ රාහු 5 වැන්නට පැමිණ ඇති නිසාවෙනි. බාහිර ක්‍රියාකාරකම්වලට හිත යයි. ඒ නිසා ඔබගේ අවධානය පොතපත කරුණු කෙරෙහි තබාගන්න. ගුරුවරුනට සවන් දීමට කරුණු අවබෝධ කර ගැනීමට උනන්දුවන්න.

සෞඛ්‍යය :- සෙම් රෝග, උණ වැලඳීමේ ප්‍රවණතාවක් ඇති හෙයින් ශරීර සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට ඔබ දන්නා හඳුනන අක්ෂි රෝගීන්ට පිහිටක් වන්න. ඒ අයට අවශ්‍ය බෙහෙත් හෝ රැගෙන දෙන්න. ශල්‍යකර්මවලට භාජනය වූ අයට උපකාර කරන්න.

සුබ අංක – 7, 11, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා

ධනු – සහජ හැකියාවට ඇගැයීම්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ගුරු පූර්ව පුණ්‍යස්ථානය වූ 5 වැන්නේත් යෝග කාරක රවි සහ බුධ අයස්ථානගතව කුජ සමඟත් ගමන් කිරීම සුබපල උදා කරයි. සෙනසුරුගේ වක්‍ර ගමන ද නිමා වන බැවින් ධන ලාභ ගෙන දෙයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට බලාපොරොත්තු ඉටුවේ. ධර්ම කරුණු අවබෝධ කර ගනිමින් පුණ්‍ය කටයුතුවලට සහභාගී වේ. නිවසෙහි රැඳී සිටීමේ අවස්ථා මඟ හැරේ. ගේ දොර, ඉඩකඩම් ලාභ ද හිමිවිය හැක.

රැකියාව :- නිවසින් පිට රැකියාවලට යොමු වේ. රැකියා ස්ථානවලදිත් ඇවිදිලි යෙදෙන්නට පුළුවන. ස්ථාන මාරුවලට ඉඩ ඇත. සහජ හැකියා තුළින් තමන් ආරම්භ කළ දේට ඇගැයීම් මෙන්ම ඒවායින් ලාභ ප්‍රයෝජන ද හිමිකර දෙයි. ලිපි ලේඛන සම්බන්ධ මුද්‍රණ කටයුතු ආදියෙන් ලාභ ඉපයීමට පුළුවන.

අධ්‍යාපනය :- කලා අංශවල ඉගෙනුම ලබන දරුවනට විශේෂ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට අවස්ථා සැලසේ. අනෙකුත් දරුවනට ද පවතින ග්‍රහ තත්ත්වයන් මත උනන්දුවෙන් කටයුතු කළහොත් ඉලක්ක සපුරා ගැනීමට හැකි වේ.

සෞඛ්‍යය :- ආමාශගත අසනීප, උණ සෙම් රෝග ආදියට ඉඩ ඇති බැවින් ආහාර රටාව සහ ගන්නා ආහාර පිළිබඳ වැටහීමෙන් කටයුතු කළ යුතුය.

අපල අවම වීමට දානමය කටයුතුවලට සහභාගී වන්න. දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 9, 11, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – ඕනෑම රැකියාවකින් ලාභ ප්‍රයෝජන

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ 5 වෙනිදා සිට විවෘත වීම හේතුවෙන් ධනය අතින් අගහිඟතා ඇති නොකරයි. නිවසෙහි පුණ්‍ය කටයුත්තක් සිදු කිරීමට සිතයි. දුවා දරුවන්ගේ සහයෝගය ඊට ලැබෙයි. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය වේ. ඔවුන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේ. ගෙදර දොර අලංකාරය පදිංචි ස්ථානයේ දියුණුව පිණිස කළ යුතු කැප කිරීම් කරයි. ඥාති හිතවත් පිරිස් නිතර නිවසට පැමිණේ. සතුටින් ගෘහ ජීවිතය ගෙන යයි. විදෙස් ගමන් යෙදේ.

රැකියා :- රැකියා කාරක සෙනසුරු දෙවැන්නේ සිට ත්‍රිකෝණ දෘෂ්ටියෙන් 10 වැන්න දැකීම සුබදායකය. ඔබ කුමන රැකියාවක නියැළුණද ලාභ ප්‍රයෝජන හිමි වනු ඇත. කරන කියන දේ තුළ අනිවාර්යයෙන්ම සාධාරණත්වය තිබිය යුතු වේ. එසේ නොවුණහොත් ඔබට අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැක.

අධ්‍යාපනය :- ඉගෙනීම පිළිබඳ උනන්දුවන දරුවනට මතක ශක්තිය පිහිටන ග්‍රහබල ඉදිරි මාසය තුළදී දක්නට ලැබෙයි. උසස් පෙළ දරුවනට පොතපත දැනුම නොඅඩුව උකහා ගැනීමට හැකි වන්නේ කේතු 9 වැන්නේ බැවිණි. පරිගණකය ඇසුරු කරගෙන කරුණු සොයන දරුවනට වුව ඒවායේ සුබපල අත් වෙයි.

සෞඛ්‍යය :- ලේ අඩුකම, දණහිස් ආබාධ පෙන්නුම් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

අපල අවම වීමට තිරිසන් සතුන්ට ආහාර, ජලය දෙන්න.

සුබ අංක – 9, 11, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – මවගෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය :- ශනි ලග්නගතව සිටී අනුව පීඩිත පන්තියේ ජනතාවට රෝගීනට උදවු උපකාර කරන්නට පෙළඹේ. මව සමඟ දක්ෂතා වැඩි වේ. මවගේ උදවු උපකාරය තමාගේ දියුණුව පිණිස කටයුතු සම්පාදනය කර ගනී. පුණ්‍ය කටයුතුවලට සහයෝගය ලබා දෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. රැකියා, ව්‍යාපාරවලින් ආදායම් ලබයි. විවේකය අඩුකම සෞඛ්‍යයට බලපෑ හැකි බැවින් ඒ පිළිබඳව සිතා කටයුතු කරන්න. රාහු දෙවැන්නට පැමිණීම හේතුවෙන් ඔබට අනවශ්‍ය වියදම් යෙදීමට ද බොරු කීමට ද විය හැකි බැවින් ඒ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වේ.

රැකියාව :- සෙනසුරු ලග්නයේ සිට රැකියා ස්ථානය දැකීම සුබය. යුක්තිය සාධාරණය අනුවම කටයුතු කරන්න. පීඩිත පන්තියට තම රාජකාරිය තුළදී අයහපතක් සිදු නොකර ඔවුන්ගේ කාරණා ඉටුකර දෙන්න. එවිට සතුටින් කල් ගෙවිය හැක.

අධ්‍යාපනය :- 5 වැන්න වූ විද්‍යස්ථාන අධිපති 9 වැන්නේ බැවින් ඉගෙනීමෙහි යෙදෙන දරුවනට සුබපල ගෙන දෙයි. පහළ පන්තිවලට උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ද එකසේ බුද්ධිය අත්කර දෙන ග්‍රහබල පෙන්වයි. ඔවුන්ගේ අභිප්‍රායන් මුදුන් පමුණුවා ගත හැකි වේ.

සෞඛ්‍යය :- සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකි බැවින් සහ හදිසි අනතුරුවලට ද ලක්විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අපල අවම වීමට දුර්වල අයට උපකාර කරන්න.

සුබ අංක – 7, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – දෙවැන්නේ ගුරුගෙන් සහනයක්

ගෘහ ජීවිතය :- ඔබ වෙනදාට වඩා වැඩි කලබල ගතියකින් වැඩ කටයුතු කිරීමට පෙළඹේ. මානසික තෘප්තිය අඩුවිය හැක. පාදවල වේදනා මතු කරයි. අමතකවීම් අතපසුවීම් යෙදේ. ඔබ මුදල් ගනුදෙනු කරන කෙනෙක් නම් කල්පනාකාරී වන්න. දෙවැන්නේ සිටින ගුරු නිසා ඔබට සහනයක් ඇත. සහජ හැකියාවන්ගෙන් උපරිම පල නෙළා ගත හැකි කාලයකි. දියර නිෂ්පාදන, වෙළහෙළදාම් පල දරයි. වාහන පැදවීමේදී ප්‍රවේශම් වන්න. ඔබේ කාරුණික කතා විලාසය අන්‍යයන්ගේ සිත් ගනී. ඒ අයට ගුරුහරුකම් දෙයි. ඒරාෂ්ටකයක් පවතින බව සිතා වැඩ කටයුතු කරගෙන යන්න.

රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ අධිපති ධනස්ථානයේ බැවින් කරන කියන වෘත්තිමය කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. ව්‍යාපාර කටයුතුවලදී ගැටලු මතු කරයි. සේවක ප්‍රශ්න ඇතිවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට යම් බාධා මතුවිය හැක. මඟතොට ප්‍රමාදයන් හෝ ගුරුභවතුන්ගේ මාරුවීම් හෝ තම අරමුණ වෙනතක යාමෙන් හෝ ප්‍රමාද දෝෂ ඇතිවිය හැකි බැවින් යහපත් සිහියෙන් පොතපත පරිහරණය කරන්න. ගුරුභවතුන්ට සවන් දෙන්න.

සෞඛ්‍යය :- ලේ අඩුකම, හෘදය සම්බන්ධ වේදනා, ඉදිමුම් ඇතිවිය හැකිය. සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම වීමට අන්තරාය නිවාරණ පිරිත උදේ සවස කියන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී – ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division