Home » නොවැම්බර් ලග්න දහයකට සුබපල රැගෙන සිකුරු ග්‍රහයා බුධ රාශියට එයි

නොවැම්බර් ලග්න දහයකට සුබපල රැගෙන සිකුරු ග්‍රහයා බුධ රාශියට එයි

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

by Mahesh Lakehouse
October 28, 2023 12:35 am 0 comment

ලග්න දහයකට සුබපල උදා කරමින් 2023 නොවැම්බර් 03 වැනිදා සිකුරාදා අලුයම 5.13ට කලාකාමී, රසකාමී සිකුරු ග්‍රහයා ඥාන තාරකා බුධගේ රාශිය වූ කන්‍යාවට පිවිසෙයි.

ඒ අනුව මෙම ග්‍රහ මාරුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර සහ මීන ලග්න හිමියන්ට සුබපල උදා කරන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

මෙවන් ග්‍රහ මාරුවක් ඇති වූ කල ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන කවුරුන් වුවත් බුද්ධිමත් තීරණ ගැනීමට පෙලඹේ. බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වූ පාසල් දරුවන්ට වුව මතක ශක්තිය වැඩි කරයි. අමතර කටයුතු අතරේ විභාගවලින් ලකුණු ලබා ගනියි. පොදුවේ ගත් කල සියලු දෙනාටම ගෘහ ජීවිතය පිළිබඳ දැනුම් තේරුම් ඇති කරයි. ලෞකික ලෝකෝත්තර දෙයාකාරවම වැඩ සලසා ගැනීමේ උත්සාහයක යෙදෙයි. ප්‍රේමය, විවාහය වැනි කටයුතුවලදී සදාචාර සම්පන්න වේ. නොවැම්බර් 03 සිට 30 වැනි දින දක්වාම සිකුරු මෙම රාශියේ සිය චලිතය පවත්වාගෙන යන අතර ඔබගේ ලග්නය අනුව සිදුවන වෙනස්කම් කවරේද ඒ අනුව අප විසින් කළ යුතු වත්පිළිවෙත් කවරේද යන්න විමසා බලමු.

මේෂ :- ඔබගේ කේන්දරයේ 6 වැන්නට පිවිසෙන සිකුරු තදබල අයහපත් තත්ත්වයක් ඇති නොකරයි. සතුරු කරදර තිබුණේ නම් ඒවා අවම කරයි. මිල මුදල් ඉපයීම් කරන්නට දක්ෂ කෙනෙක් බවට පත්වන අතර කර්ම බලය ශක්තිමත් වේ. ආමාශගත අසනීපවලට ඉඩ ඇත. පින් දහම් කටයුතුවලට යොමු කරයි.

වෘෂභ :- ඔබගේ කේන්දරයේ ත්‍රිකෝණස්ථානයක් වූ 5 වැන්නට පිවිසෙන සිකුරු ලෞකික සැප සම්පත් පිළිබඳව වැඩි ඇල්මක් දක්වයි. සහජ හැකියාවන් ඔප් නංවයි. කුටුම්භ සංරක්ෂණය හොඳින් සහ ඇල්මෙන් සිදු කරන අතර විද්‍යාව දියුණු කරයි.

මිථුන :- කේන්ද්‍රස්ථානයක් වූ සිවුවැන්නට පිවිසෙන අතර එය සිකුරුට දිග්බල ස්ථානයක්ද වේ. ඒ නිසා පදිංචි ගෘහයේ මෙතෙක් තිබු අඩුපාඩු කෙසේ හෝ සම්පුර්ණ කරගැනීමට උනන්දු වෙයි. මවු පාර්ශ්වයේ උදවු උපකාර යාන වාහන ලාභ ලැබීමේ භාග්‍ය ඇත.

කටක :- සිකුරු ඔබගේ කේන්දරයේ තුන්වැන්නට පිවිසෙන නිසා කලා කටයුතුවල ප්‍රගතියක් සහ සමාජයේ ගෞරවයට පාත්‍ර වීමේ අවස්ථා මතු කර දෙයි. රුව ලස්සන ඇති කරයි. සහෝදර උපකාර ලැබ දෙයි.

සිංහ :- පවුලේ සමගිය වර්ධනය වේ. දියුණුවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගනී. ප්‍රියමනාප කතාව යහගුණ වර්ධනය නිසා හිතවතුන්ගේ ආදරය කරුණාවට ලක්වෙයි.

කන්‍යා :- ඔබගේ ලග්නභාවයට පිවිසෙන සිකුරු ඔබට තැන්පත් සහ හික්මීමෙන් යුතුව වැඩ කටයුතු කිරීමට පොලඹවයි. ප්‍රිතියෙන් සහ සැහැල්ලු බවකින් යුතු වෙයි. අන්‍යයන් සමග සුහදශීලීව ගත කරයි. අපල අවම කරයි.

තුලා :- සිකුරු 12 වැන්නට පිවිසීම සුබපලම ප්‍රදානය නොකරයි. අසුබ පල ඇතිවිය හැකි බැවින් ඔබ කල්පනාකාරීව යහපත් සිහි බුද්ධිය මෙහෙයවා වැඩ කළ යුතුව ඇත. විනෝදයට සහ විරුද්ධ පාර්ශ්වයන්ට මුදල් හදල් වියදම් කිරීමේදී ප්‍රවේශම් වන්න. අය පක්ෂය රඳා පවත්වා ගන්න.

වෘශ්චික :- ඔබගේ කේන්දරයේ 11 වැන්න වූ අයස්ථානයට පැමිණෙන සිකුරු ආදායම වැඩි දියුණු කරයි. යහපත් මිතුරන් මුණගස්වයි. අන්‍යයන් අතර ගෞරවාදරයට පාත්‍ර වන අතර සමාජයේ යහපත වෙනුවෙන් වෙහෙසෙයි.

ධනු :- ඔබගේ කේන්දරයේ 10 වැන්නට සිකුරු පැමිණෙයි. කර්මස්ථානය හා රැකියා ස්ථානය බැවින් යහපත්ය. රැකියාවේ දියුණුව සහ දෙලොවටම පින් දහම් කරගැනීමට උනන්දු වේ. ලාභ ආදායම් ලබයි. සැප සම්පත්ද හිමි වේ.

මකර :- භාග්‍යස්ථානයට මෙවර පැමිණෙන සිකුරු උසස් ඉගෙනීම දැනුම මෙන්ම ජයග්‍රහණද අත්පත් කර දෙයි. තම පියාගේ තත්ත්වය උසස් කරයි. යහගුණදම් වැඩි වේ. ධර්මයට නැඹුරු ජීවිතයකට හුරු වේ.

කුම්භ :- අටවැන්න කේන්දරයක අසුබ ස්ථානයක් වුවත් සිකුරුගෙන් තදබල අයහපතක් සිදු නොවනු ඇත. ධාර්මිකව කටයුතු කරන්න. පරාර්ථකාමී වන්න. සමාජ සේවා කටයුතුවල නියැළෙන්න. අපල මඟ හැරී යයි.

මීන :- ඔබගේ කේන්දරයේ 7 වැන්නට පිවිසෙන සිකුරු රැකියා ව්‍යාපාරවලින් ආදායම් හිමිකර දෙන අතර යුගදිවිය සතුටින් ගෙවයි. සමහර විට සුළු මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇතත් ඒවා තාවකාලිකව පමණි.

ඕනෑම ග්‍රහ මාරුවකදී සුබ පල මෙන්ම අසුබ පලද හිමිකර දෙන බැවින් මෙම ග්‍රහ මාරුවේදීද සමහර ලග්න හිමියනට අපල තත්ත්වයක් පෙන්නුම් කරයි. සුබ පල අඩු කරයි. ඒවාට සෙත් ශාන්ති මඟින් සහනය ළඟාකර ගැනීමටත් පවතින සුබපල තව තවත් වර්ධනය කරගැනීමටත් පොදුවේ සිදු කළ යුතු පිළිවෙත් පහතින් සඳහන් කරමි.

මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ සිකුරුගේම දිනයක බැවින් එළඹෙන තුන්වැනි සිකුරාදා ඔබ ඉර උදාවන 5.58 ට කලින් අවදී වී මුහුණ කට සෝදා බුදුන් වඳින්න. විසිතුරු මල් වර්ණ කීපයකින් යුතු මල් ගන්න. ළඟම විහාරස්ථානයක් ඇත්නම් කිරි ආහාර පූජාවක් කරන්න. වස් කාලයේ නිසා සුදු හාල්වලින් සකසන කිරි බතක් වැඩ වසන භික්ෂුන් වහන්සේට පිළිගන්වන්න. ගිතෙල් පහනක් දල්වන්න. පන්සිල් ගෙන දෙවියන්ට පින් දී අපල අවම කර ගන්න. සුවඳ වර්ග දුම් අල්ලන්න.

ඔබේ ගෙවත්තේ කරඳ ගසක් තිබේ නම් එයට සත්කාර කරන්න. එම කරඳ ගසේ කොළ අතු ස්පර්ශ කරන්න. විසිතුරු අලංකාරවත් ඇඳුමක් කුඩා දරුවකුට හෝ වෙනත් අයකුට පරිත්‍යාග කරන්න. එනසාල් මනෝසීල ගෙඩි මල් සහිත කුංකුම තැම්බු වතුර ස්නානය කරන්න. ජය පිරිත, දසදිසා පිරිත හැකි නම් කියන්න. නැතිනම් ශ්‍රවණය කරන්න. සුදු පාට ගවයෙක් ළඟපාත සිටීනම් ජලය දෙන්න. ග්‍රහමාරුව සිදු වූ දිනයේ සිට ඔබට හැකි අයුරින් ඉහත සෙත් ශාන්තිවලට යොමු වීමෙන් සහ වස් පිංකම්වලට සහභාගී වීමෙන් අපල අඩු කරගැනීමට හැකි වනු ඇත. සිකුරාදා දිනයේ නිර්මාංශ වීමට හැකි නම් එය වඩා ප්‍රතිඵල දායක වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division