Home » ඔබේ ජ්‍යොතිෂ ගැටලුවට‍ විශ්ව ශාස්ත්‍රයෙන් විසඳුම්

ඔබේ ජ්‍යොතිෂ ගැටලුවට‍ විශ්ව ශාස්ත්‍රයෙන් විසඳුම්

පිළිතුරු විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ ගෙන්

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– මෙවර පිළිතුරුයෝගියාන මාලිනී සමරසේකර, කුලියාපිටිය කපිල ජයවිලාල් හේරත්, ගම්පහ ඉන්ද්‍රා ස්වර්ණමාලි, යක්කල එම්. ධනපාල සහ ගම්පොළ ශ්‍රීලාල් හපුතන්ත්‍රි ට

මාලිනී සමරසේකර – යෝගියාන

ප්‍රශ්නය – 1983 නොවැම්බර් 29 දින පෙරවරු 9.42ට උපන් මාගේ එකම පුතු දැනට වසරකට පමණ පෙරදී නොගැළපෙන විවාහයකින් වෙන් වී ඇත. ඒ සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මාගේ පුතුගේ ඉදිරි කාලය කෙබඳු ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මකර ලග්නයෙන් උපන් පසුගිය කාලය පුරාවටම ගත කළේ ලග්න ඒරාෂ්ටක කාලයක්. එම ඒරාෂ්ටක කාලය ගත කළ නිසා 2020 සිට 23 දක්වා කාලය තුළ කිසි විටෙක ජීවිතය සුන්දර සහ යහපත් කාලයක් වුණේ නැහැ. ගැටලු රැසක් පැන නැඟුණා. පවතින තත්ත්වය සමඟ බැලූ විට නීතිමය කටයුතුවලදී පරාජයක් අත්වන්නේ නැහැ. ඒ ලග්න ඒරාෂ්ටකය මේ වන විට අවසන් නිසා. නීතිමය පැත්තෙන් සාර්ථකව තමන් අපේක්ෂා කරන තැනට ගමන් කළ හැකියි. නමුත් සුන්දර මෙන්ම යහපත් වූ තමන් බලාපොරොත්තු වන ආකාරයටම කටයුතු සාර්ථක වන්නේ 2024 වසරේ මාර්තු 12න් පසු එළඹෙන කාලයේදියි.

2015, 16, 17 කාලවලදීත් ඉතාමත් අයහපත් කාලයක් ගතකර තිබෙනවා. ඒ සමයේ පැවැති ඒරාෂ්ටක කාලයන් නිසා. මේ වන විට පැවැති ඒරාෂ්ටක දෙකම අවසන් කරමින් සිටින්නේ. පැවැති අසහනකාරී, අයහපත් කාලය තුරන් කර ඉතාම සුන්දර කාලයක් අනාගතයේ පෙන්නුම් කරනවා. ඒ 2024 මාර්තු මාසයේ 12 වැනිදායින් පසුවයි. එදින සිට 2027 වසර දක්වා කාලය ඉතාම සශ්‍රීක යුගයක් ලෙස හැඳින්විය හැකියි.


කපිල ජයවිලාල් හේරත් – කුලියාපිටිය

ප්‍රශ්නය – මා හට දියුණුව, ස්ථාවරත්වය සපිරි ආර්ථික තත්ත්වයක් කරා ළඟා විය හැකි ද?

ජ්‍යොතිෂ විග්‍රහය – ඔබ 2017 න් පසු වසර තුනක පමණ කාලයක් ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් ගෘහාශ්‍රිතව මෙන්ම මිත්‍රයන් සමඟද කලකිරුණු ස්වභාවයකින් ගතකර තිබෙනවා. 2021 වසරෙන් පසු කාලයේ සිට යම් යහපත් කාල සමයක් උදා වීම ක්‍රමයෙන් සිදු වුවත් එය සාර්ථකම සමයකට තවම ළඟා වී නැහැ. එම සාර්ථක සහ සංවර්ධිත අවධිය ආරම්භ වන්නේ 2025 ජනවාරි මාසයෙන් පසුවයි. එහෙත් ලබන වසරේ අගෝස්තු, සැප්තැම්බර් වන විට ආර්ථික අතින් යම් ගොඩනැඟීමක් සිදු වෙනවා. 2025 සහ 2026 කාල සමය ඉතාම සතුටින් ප්‍රීතියෙන් ගත කළ හැකි යුගයක් ලෙස සඳහන් කළ හැකියි. ඒ වගේම සෞඛ්‍යමය වශයෙන් යම් සැලකිලිමත් බවක් තිබිය යුතුයි. පසුගිය කාලයේ හිස බර ගතිය, උදාසීන ගති මතු වුණා. ඊට හේතුව ජන්ම ඒරාෂ්ටකයක් පසුගිය කාලයේ ගමන් කිරීමයි.


ශ්‍රිලාල් හපුතන්ත්‍රි – ගම්පොළ

ප්‍රශ්නය – මාගේ ඉදිරි අනාගතය කෙබඳු ද? අපල තත්ත්වයන් ඇත්නම් ඊට පිළියම් මොනවා ද?

ජ්‍යොතිෂ විග්‍රහය – කටක ලග්නයෙන් උපන්නෙකි. මේ වන විට අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත කරමින් පවතින්නේ. එම නිසා බොහෝ පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් අනතුරු කාරක ස්ථාන සහ ලිස්සා වැටෙන තැන්වලින් පවා ආරක්ෂා විය යුතු සමයකි. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් සඳහන් කළහොත් අනාරක්ෂිත ආහාර නොගත යුතුයි. විශේෂයෙන් තෙල් අධික සහ උෂ්ණ සහිත ආහාර ගැනීම අඩු කළ යුතුයි. පසුගිය කාලයේ ශරීරයේ උණුසුම වෙනස් වීම්, ගෙල සහ කොන්දේ සිට කකුල් අතර කැක්කුම් සහ පීඩා ගෙන දෙන අවස්ථාවන් වැඩියි. ලග්න ජන්ම අෂ්ටම ඒරාෂ්ටක අතුරින් අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරන කේන්දරයක් ලෙස සැකැසී තිබෙන නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන මහත් සේ සැලකිලිමත් විය යුතුයි. ඕනෑම අයෙකුට සසර පින් තකා පිනට දහමට දුන්නාට කම් නැත. හැබැයි ණයට දීමට නම් නොයන්න. කිසිදා නොලැබේ. හිතවත්කම්, ළෙන්ගතුකම් ඔස්සේ ගනුදෙනු නොකරන්න. ඔබට මහත් පාඩු ගෙන දෙයි.


ස්වර්ණමාලී ඉන්ද්‍රා සේනානායක – ගම්පහ

ප්‍රශ්නය – මම බෞද්ධ ආගමට ඉතාම ළැදිව කටයුතු කරන අයෙක්මි. එම නිසා මා හට ඉදිරියේදී භික්ෂුණි ශාසනයට ඇතුළුව මෙහෙණින් වහන්සේනමක් වීමට හැකියාව ඇද්ද?

ජ්‍යොතිෂ විග්‍රහය – ඔබතුමියට මෙහෙණින් වහන්සේනමක වීමට හැකියාව පවතිනවා. ඒ සඳහා කිසිම ගැටලුකාරි බවක් නැහැ. කටක ලග්නයෙන් උපන් ඔබ සඳු බලවත්ව උපන් හෙයින් ධර්මයට ළැදි, ධර්මානුකූල ගමනක නිරත වීමට කැමැති බව සඳහන් කිරීමට හැකියි. එසේම ගැඹුරු ධර්මය අධ්‍යයනය කිරීමට කැමැති කෙනෙක් ලෙස මනසේ යම් සංයමයක් සහ දියුණුවක් ළඟාකර ගැනීමට හැකියාව තිබෙනවා. කේන්දරය අනුවම පැවිදි යෝගයක් පවතිනවා. එම නිසා පැවිදි දිවියට යාමට සියයට සියයක්ම හැකියාව තිබෙනවා. ජීවිතයේ බැඳීම් අතර පුදුම විදිහට අත්දැකීම් විඳි කෙනෙකි. එම අත්දැකීම් සමඟ පැවිදි දිවිය ගත කළ හැකියි. පසුගිය කාලයේ විටෙන් විට කොන්ද, ගෙල ආශ්‍රිතව මෙන්ම ආමාශයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. එම නිසා ශරීරයේ නීරෝගී බව ආරක්ෂා කරගත යුතුයි.


එම්. ධනපාල – යක්කල

ප්‍රශ්නය – මා ගෙවමින් සිටින පීඩාකාරි කාලය අවසන් ද? ඉදිරි කාලය කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ වන විට ඔබ ලග්න ඒරාෂ්ටක කාලය ගෙවා අවසන් කර තිබෙන්නේ. ඔබ ගෙවූ පීඩාකාරි කාලය 2020 සිට 2023 ජනවාරි 17 වැනිදා දක්වා ගෙවා තිබෙනවා. මේ ගෙවමින් පවතින වර්තමාන කාලය එම පීඩාකාරි, මන්දගාමී සමයේ අවපීඩන කාලයයි. මේ සමය 2024 මැයි 12 වැනිදා දක්වා පවතී. ඉන් පසුව ඉතා වේගවත්ව සුන්දර සමයක් තම ජීවිතයට ලැබේ. පසුගිය කාලයේ පැවැති පපු ප්‍රදේශයේ දැවිල්ල, උරහිස, බාහු සහ දණහිසේ කැක්කුම් වැනි රෝග පීඩා ගෙන දුන්නා. මීට පෙරද එනම් 2014, 15, 16 සමයේදීද ඒරාෂ්ටක කාලයක් පැවතියා. එම සමයේදීද පාඩු, අලාභ, පීඩාකාරී තත්ත්වයන් ගෙන දුන්නා. මේ ඒරාෂ්ටක දෙකම ගෙවී අවසන් නිසා ක්‍රමයෙන් අනාගතයේදී සුන්දර කාලයක් උදා වන වාතාවරණයක් ඇති වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division