Home » පෞරුෂ අංක 1 හිමියෝ අන් අය අවනත කරගන්න දක්ෂයෝ

පෞරුෂ අංක 1 හිමියෝ අන් අය අවනත කරගන්න දක්ෂයෝ

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– සැම තැනකම පළමු ස්ථානය හිමිකර ගන්නා අය
– අදහස් – උදහස් නිර්මාණශීලියි – සම්භාව්‍යයයි
– අන් අය පාලනය කිරීමේ සුවිශේෂි හැකියාවන් ඇත්තෝ

පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අත්හැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය. ඊට උදාහරණයක් ද පළ කර ඇත.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි ඔබ පෞරුෂ අංක 1 හිමි පුද්ගලයෙක් නම් ඔබ ඉතාමත් ඉහළ පෞරුෂයක් සහිත පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නට පුළුවනි. ඔබගේ සිතිවිලි අන් අය ලවා ක්‍රියාවට නැංවීමේ විශේෂ හැකියාවක් ඔබට පවතී. එනම් පෞරුෂ අංක 1 හිමි ඔබගේ අදහස් හා යෝජනාවලට අන් අය අවනත කරගැනීමේ හැකියාව ඔබට ඇත. ඔබගේ බාහිර පෙනුම ගමන බිමන සහ කතා විලාසය ද අන් අයව ආකර්ෂණය කරගන්නා ස්වරූපයෙන් යුක්තය. සෑම තැනකදීම ඔබට ප්‍රමුඛතාව හිමි වෙයි. තම කණ්ඩායම හෝ සමූහය තුළ ඔබ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කැමැති වෙයි.

පෞරුෂ අංක 1 හිමි ඔබගෙන් තරමක් ආඩම්බරකාරී ස්වරූපයක් පෙනුණද ඔබ අවශ්‍ය තැනදී නම්‍යශීලිව ක්‍රියා කරයි. සෑම දෙයක්ම ඉතා උසස් ආකාරයට හොඳින් සිදු කිරීමට උත්සාහ දරයි. එසේම සෑම විටම තමාගේ අදහස්වලට ප්‍රමුඛතාව දී කටයුතු කරයි. ඉතා උසස් මට්ටමේ නිර්මාණශීලී සම්භාව්‍ය අදහස් ඔබට පවතී. ඒ නිසාම අන් අයගේ අවධානය ද පහසුවෙන් හිමි වෙයි. ඔබ අත්දැකීමෙන් ඉගෙන ගන්නා අයෙකි. වරක් වැරදුණ පසු එය හොඳින් මතක තබා ගනී. ඔබ කැපී පෙනෙන ලෙස ඉතා පිළිවෙළට ඇඳීමට පැලඳීමටද කැමැතිය. එය පෞරුෂ අංක 1 හිමියන් ඕනෑ ආකාරයට නිදහසේ කිරීමට කැමැති වෙයි. විවිධ නීතිරීති රාමුවලට යටත් වී හිර වී කටයුතු කිරීමට කැමැති නැත. ඔබ ඔබටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ ජීවිතය පවත්වාගෙන යෑමට උත්සාහ කරන කෙනෙකි. ස්වභාවයෙන්ම ඔබට නායකත්ව ලක්ෂණ පිහිටා ඇති අතර අන් අයව පාලනය කිරීමේ හැකියාවක් මෙන්ම කැමැත්තක් ද පවතී. ඕනෑම තැනක මූලිකත්වය හිමි වෙයි. පෞරුෂ අංක 1 හිමි ඔබ අභියෝගවලට මුහුණදීමටද බිය වන්නේ නැත. ඔබ තැනකට ගිය පසු මුලින්ම ඔබට අවශ්‍ය ආකාරයට එම පරිසරය සකස් කර ගැනීමට උත්සාහ ගනියි. එසේ නැතිනම් එම පරිසරයට අනුගත වෙයි. කෙසේවත් පරාජය වී අත හැරීමට කැමැති නැත. කෙසේ හෝ උත්සාහයෙන් ජයග්‍රහණය තෙක් රැඳී සිටීම ඔබේ ස්වභාවයයි.

පෞරුෂ අංක 1 හිමියන් නිතරම තැනට ඔබින ලෙස ජීවත් වෙයි. තම ආත්ම ගරුත්වය රැක ගැනීමට ක්‍රියා කරයි. ඔබේ පෞරුෂය තුළ උනන්දුවත්, උත්සාහයත්, මනා කැපවීමත් කැපී පෙනෙන ලක්ෂණ ලෙස දැකිය හැකිය. ඔබ ඕනෑම දුෂ්කර අවස්ථාවක නොසැලී සිටීමට උත්සාහ දරයි. ජීවිතයේ විඳීමට සිදු වන විවිධ බාධා කම්කටොලුවලට නොබියව මුහුණ දෙමින් එන සියලු අභියෝග සහ බාධා දරාගෙන ජීවිතයට මුහුණ දීමට තරම් ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් ඔබ තුළ පවතී. එය අවබෝධ කරගැනීම මත ඔබේ ජීවිතයේ වාසනාව රැඳී පවතී. ඔබේ පෞරුෂය තුළ සැඟව තිබෙන ශක්තිය ඔබ මනාව හඳුනාගතහොත් ඔබේ ජීවිතය ඉතා ඉහළ සාර්ථකත්වයට පත් කරගැනීමේ හැකියාව පෞරුෂ අංක 1 හිමියන් තුළ පවතී.

පෞරුෂ අංක 2 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division