Home » වාස්තු දෝෂවල බල දුබලතා තක්සේරු කරන්නේ මෙහෙමයි

වාස්තු දෝෂවල බල දුබලතා තක්සේරු කරන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– දිශාගත දෝෂ ගැන නම් වැඩි අවධානයක් ඕනෑ
– නිවැසියන්ට එතරම් තදින් බල නොපාන දෝෂවලට අනවශ්‍ය වටිනාකමක් වුවමනා නෑ
– සම්ප්‍රදායික ජනකාන්ත දෝෂ තත්ත්වයන් ගැන විශේෂ සැලකිලි එපා

පුරාතන වාස්තු ශාස්ත්‍රයත් නූතන වාස්තු විද්‍යාවත් තුලනාත්මකව විග්‍රහ කිරීමේදී ඒවායේ පවත්නා නිසඟ (නෛසර්ගික) ලකුණු සේම වෙසෙසි ලකුණු විමසීම ද වටී. පුරාතන හා නූතන වාස්තු සංකල්පවල යම් වෙනසක් මතු වන්නේ නම් එහිදී ප්‍රායෝගික භාවිතාව ප්‍රමුඛ කරගැනීමට අපට සිදු වේ. එවිට වඩාත් බලවත් වාස්තු දෝෂ කවරක් ද යන වග තර්කානුකූලව වටහා ගැනීමට අවස්ථාව උදා වේ.

නිදසුනක් ලෙස අප විසින් සම්ප්‍රදායිකව දොරවල් සංඛ්‍යාව ඔත්තේ විය යුතු බවත්, ජනේල සංඛ්‍යාව ඉරට්ටේ විය යුතු බවත් නිර්දේශ කරන අයුරු පෙන්වා දිය හැකිය. එසේ වුවත් නිවස අභ්‍යන්තරයේ කාමරයකට තවත් දොරක් එක්කිරීමෙන් හෝ වැසිකිළියක කුඩා ජනේල කවුළුවක් (PAN LIGHT) වැඩි කිරීමෙන් හෝ සම්ප්‍රදායට වෙනස් වී ඇති දොරවල් හා ජනේල ගණන පැවති සම්මතයට ගළපා ගැනීම සිදු කිරීමෙන් බලවත් දෝෂයක් වැළකී ගියේ යැයි සිතීම පිළිගත හැක්කක් ද?

එහිදී දොරක් හෝ ජනේලයක් එක්කිරීම හෝ ඉවත් කිරීම සඳහා වන පිරිවැය අධික බවද සැලකීමට වර්තමානයේ සිදු වේ. මේ අනුව නිවාස සිය ගණනක් නිරීක්ෂණයෙන් ලත් ප්‍රායෝගික අත්දැකීම අනුව මෙකී සම්ප්‍රදායික ජනකාන්ත දෝෂ තත්ත්වයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය නොවන තරම්ය.

එසේම දොරක් බිත්ති කෙළවරකට වන්නට පිහිටුවීමෙන් හටගන්නා දෝෂය පිළිබඳව ද මඳක් විමසා බලමු. දොර බිත්ති කෙළවරේ පිහිටුවීමේදී දොරෙහි ඉහළ පිටතට නෙරා ඇති දැව දඬු කොටස (දොරේ කන) සවි කරන ලද බිත්ති සීමාව ඉක්මවා ගොස් තිබීම දෝෂයක් ලෙස සම්ප්‍රදායිකව දක්වනු ලබන අතර බොහෝ වාස්තු ශිල්පීන් දන්නා දෝෂයක් බවට ද මෙය පත්ව තිබේ.

එසේ වුවත් දොරක් යනු එක් තැනකින් තවත් තැනකට පිවිසීමට යොදා ගන්නා තැනක් පමණි. එසේ ගමන් කිරීමේදී දොර මත සිට ගැනීම කිසිසේත් සම්ප්‍රදායිකව අනුමත කරන ක්‍රියාවක් නොවේ. මේ හේතුව නිසා මෙකී දෝෂය පැවතුණත් එය නිවැසියනට බලපාන දෝෂයක් නොවන බව කිව හැකිය. මෙය තවදුරටත් නූතන වාස්තු විද්‍යාව ඇසුරින් විග්‍රහ කොට දැක්විය හැකියි.

අන්තරීක්ෂ (COSMIC) ශක්තිය නිවසේ බිත්ති මතට වැදීමේදී කොටසක් ඒවා විනිවිදිමින් නිවසට ඇතුළු වෙයි. තවත් කොටසක් බිත්තිවල ගැටීමෙන් දුර්වලව තිරස්ව පහළට ගුරුත්වයට (GRAVITY) හසුව ගමන් කරයි. මෙසේ දුර්වලව අක්‍රමවත්ව පහළට ගලා එන අන්තරීක්ෂ ආංශික ශක්තිය යහපත් ප්‍රතිඵල නිවැසියන්ගේ ශරීරයට ඇති නොකරයි. එසේ වුවත් නිවැසියන් බිත්ති හරහා ගමන් කරනු ලබන දොරවලදී මිස අන් කිසිදු අහිතකර අන්තරීක්ෂ ශක්තියක් ඔවුනට බල නොපායි. එසේම දොරවල පෙර කී “දොර කන” දෙපසට දිගු කිරීමෙන් ඉහත කී අහිතකර ශක්තිය ද බිත්ති දිගේ විසිරී යෑමෙන් දොර හරහා බලවත්ව නිකුත් වීම වළකියි. ඒ සඳහා පැරණි උළුවහුවල කන අඩි ගණනින් දිගුව පිහිටුවාගෙන තිබේ. දැව මිල ඉහළ යෑමත්, දොර කනෙහි මෙකී ප්‍රතිඵලදායක භාවිතය නොදන්නා අය මේ කන අඟල් කීපයකට සීමා කිරීම අද දක්නට ලැබේ. එහෙයින් දොර හරහා වන අහිතකර ශක්තියේ තීව්‍රතාව හෙවත් ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලතාව මෙයින් වැඩි වේ. එසේ වුවත් දොර මත නිවැසියන් රැඳී සිටීමක් නොවන බැවින් මේ දෝෂය නිවැසියනට වැඩි වැඩියෙන් බල නොපායි.

නිවැසියනට එතරම් තදින් බල නොපාන දෝෂ (විශේෂයෙන් සංඛ්‍යාත්මකව දක්වන දෝෂ ආදිය) බොහෝ අනවශ්‍ය වටිනාකමක් දී තක්සේරු කිරීම නිෂ්ඵල වුවත් සමහර බලවත් හා ප්‍රතිඵල ගෙන එන (විශේෂයෙන් දිශාගත දෝෂ ආදිය) පිළිබඳව අපගේ අවධානය කිසි ලෙසකින් අඩු කළ යුතු නොවේ.

මෙහිදී මුළුතැන්ගෙයක් හෝ වැසිකිළියක් ඊශාන, උතුර, නැඟෙනහිර හා නිරිත යන දිශාවන්හි පිහිටුවා ඇත්නම් නිසැක අභාග්‍යයක් නිවැසියනට අත්වන බව අප හොඳින් සිහියේ තබා ගත යුතු වේ. මෙවැනි බරපතළ අහිතකර ප්‍රතිඵල ලබා දෙන වාස්තු දෝෂ සියයක් පමණ අප විසින් නිරන්තරයෙන් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. මේ දෝෂ භෞතිකව (PHYSICALY) හෝ පිරමීඩ ආදී වෙනත් මෙවලම් භාවිතයෙන් ශක්තිමය වශයෙන් (VERSUALY) හෝ ඉවත් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් බවද මෙහිදී අවධාරණය කළ යුතු වේ.

සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය 
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ 
ප්‍රධාන පර්යේෂක 
ජනක ප්‍රියන්ත දයාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division