Home » මාරයාට ආරාධනා පතක්

මාරයාට ආරාධනා පතක්

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

ලංකාව නමැති දේශපාලන සර්කස් මඩුවේ මේ දිනවල පිනුම් ගසන්නෝ විරෝධතාකරුවෝය. අය – වැය ලේඛනය ඉදිරිපත් වීමට ඉතා ආසන්නව ඇති මෙසමයෙහි පඩි වැඩි කරදෙන ලෙස ඉල්ලා රාජ්‍ය අංශයේ සේවකයන් නටන නාඩගම අපට ඉතාම පුරුදුය. වැඩ වර්ජකයන් වැටුපත් සමඟ සේවයේ පිහිටු වන එකම රට ලංකාව විය යුතුය.

එහෙත් 1980 ජූලි වර්ජනයේදී වැඩ වර්ජකයන්ට තුන් හතර වතාවක් දැනුම් දුන් ජේ.ආර්. ජයවර්ධන වැඩට එන අය වැඩට ගෙන්නා ගෙන වැඩට නොඑන අය පලවා හැරියේය. අන්තිමට එසේ පලවා හැරීම නිසා රැකියා නැති වූ අයට කන්න දෙන්නට වෘත්තීය සමිති ඉදිරිපත් වුණේ නැත. එදා වේල කන්න නැති වර්ජකයන් තමන්ට න්‍යායාත්මක නායකත්වය සැපයූ දේශපාලන නායකයන්ගේ ගෙවල්වලට ගිය විට එකී නායකයෝ සැඟවුණහ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ඕනෑවටත් වඩා නාකි වූ ව්‍යාපාරයකි. මෙය කොතරම් සිහි විකල් තත්ත්වයට පත්ව ඇත් ද යත් තමන් අනුගමනය කළ යුත්තේ වාමාංශික දේශපාලනය ද නොඑසේ නම් දක්ෂිණාංශික දේශපාලනය ද යන්න තෝරා බේරා ගැනීමට බැරි වන තරමට ඔවුහු චොරවී සිටිති. වාමාංශික ව්‍යාපාරය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය යන න්‍යාය වාද කොතරම් ශ්‍රේෂ්ඨ වුව ද කොතරම් ජනහිතකාමී වුව ද අද පවතින්නේ පොත්වල පමණි. මේ අනුව දැනට මේ රටේ පවත්නා සියලුම විරෝධතා ද, සියලුම වැඩ වර්ජන තැති ගැන්වීම් ද, පඩි වැඩි කරන ලෙස ඉල්ලා ගසන පිනුම් ද ධනවාදී ප්‍රභවයකින් එන බව පෙනේ.

මේ මොහොතේදී මේ මුළු මහත් මිහිතලයම ධනවාදීය. ධනවාදයේ දේශපාලන ස්වරූපය වන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ලෝකය පාලනය කරනු ලැබේ. අප සිටින්නේ තුන්වන ලෝක යුද්ධයකට මුලය. තව ටික දිනකින් ඊශ්‍රායල යුද හමුදාව පලස්තීනයේ ගාසා තීරය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කර ෆුට්බෝල් පිට්ටනියක් බවට පත් කරනවා ඇත. ගාසා තීරය සමතලා කිරීමේ වැඩසටහනක් තම න්‍යාය පත්‍රයේ ඇති බැවින් එම භූමියේ සිටින ලක්ෂ 11ක් වූ පලස්තීන වැසියන්ට ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය පසුගියදා දැන්වීය. ඔවුන් කියන්නේ සිවිල් ජනතාව ගාසා තීරයෙන් ඉවත්ව ගිය පසු ඉතිරි වන හමාස් ගරිල්ලන්ට ගේමක් දෙන බවය.

එහෙත් ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලීමට හමාස් සෙබළුන් එකෙක් හෝ ගාසා තීරයේ නවතින්නේ නැත. එසේම හමාස්ලා හිටියත් නැතත් ඊශ්‍රායලය ගාසා තීරයේ තිබෙන සියලු ගොඩනැගිලි බිමට සමතලා කරනවා ඇත. මෙයින් සිදු වන්නේ හමාස් ගරිල්ලන්ටත් සාමාන්‍ය ජනතාවටත් යන එන මං නැති වීමයි. ගරිල්ලා ව්‍යාපාරයක් විනාශ කරන ක්‍රම දෙකක් ලෝකයේ තිබේ. ඉන් පළවැන්න නම් ගරිල්ලා සෙබළා මරා ඔහුගේ බංකරය ද විනාශ කිරීමය. ගරිල්ලා සෙබළා හසු නොවූව ද උගේ බංකරය විනාශ කළ විට නැවත වරක් ස්ථානගත වීමට තැනක් නැති වන බැවින් ගරිල්ලෝ භූගත වෙති. ලෝකය යනු මේ මොහොතේදී උවමනාවටත් වඩා කරදර තිබෙන තැනකි. ඒ කරදර මඟහැර ජීවත් වීමේ අවස්ථාව යම් ප්‍රමාණයකින් අපට තිබේ. එහෙත් අප කරන්නේ ඉතා ඈත ගමන් කරන කරදර වෙත ගොස් එම කරදරවලට තේ පොවා බනිස් කන්නට දී රටට අඬ ගසාගෙන ඒමය.

මේ රටේ පවතින විරෝධතා කොපමණ විහිළු සහගත ඒවා දැයි පහත සඳහන් සිද්ධියෙන් අනාවරණය වෙයි. සීනිගම දේවාලයේ මේ දිනවල ප්‍රශ්නයක් පවතී. එම දේවාලයට දෛනිකව ලැබෙන මිලියන ගණනක් වූ මුදල් සහ වටිනා භාණ්ඩ එම දේවාලයේ කාර්යාලය මඟින් අත් පත් කරගෙන විගණනය කරනු ලැබේ. සීනිගම දේවාලයේ කපු පිරිස මෙයට විරුද්ධය. මෙයට කලින් දේවාලයට ලැබෙන දෛනික ආදායම ඔවුහු බෙදා හදා ගත්හ. පූජා වට්ටියට තබන රුපියල් 5,000 හේ පටිය ද රත්තරන් මාලය ද කපුවන් ලෙස පෙනී සිටින දේවාල පුල්ලි විසින් ගසා කන ලදි.

ලංකාවේ දේවාලවල කපු රාල ලා ඉතා ධනවත්ය. දෙවියන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පඬුරු එකතු කරන ඔවුහු කොළඹ එපාර්ට්මන්ට් මිලට ගනිමින් BMW රථවල ගමන් ගනිමින් දෙවියන්ටත් වඩා සැපපහසු ජීවිත ගත කරති. මනුෂ්‍යයන් හා අදහස් හුවමාරු කරගැනීමටත් මනුෂ්‍යයන්ට උදව් කිරීමටත් දෙවියෝ නරපණු නියෝජිතයන් පත් නොකරති. අපට හැඟෙන පරිදි බැතිමතුන් හා අදහස් හුවමාරු කරගැනීම සඳහා කෙළින්ම සිග්නල් ගොඩනඟා ගැනීමට දෙවියන්ට පුළුවන් විය යුතුය. එසේ නම් කපුවන් ලෙස හැඳින්වෙන අතරමැදි පල් හොරුන් දෙවියන් හා ජනතාව මැදට පැන කරන්නේ තනි වංචාවකි. මෙතෙක් කලක් තමන්ට ලැබුණු දීමනා එසේම ලබා ගැනීමට ඉඩ නොදේ නම් දේවාලයේ වතාවත් වලින් බැහැර වන බව කියමින් සීනිගම දේවාලයේ කපුවෙක් පසුගියදා දේවාලයේ මකර තොරණ උඩට නැඟ්ගේය. හොර කපුවන් දේව සේවයෙන් ඉවත් වීම ගැන වැඩිපුරම සතුටු වෙනවා ඇත්තේ දෙවියන්ය. එසේම මකර තොරණට නැඟපු කපුවා කනින් අල්ලා බිමට නොපතබෑවීමෙන් දෙවියන් ඕනෑවටත් වඩා නිහතමානී වූ බව අපගේ හැඟීමයි.

36%ක වැටුප් වැඩි කිරීමක් හා රුපියල් 20,000 දීමනාවක් නොදුන්නොත් වැඩ වර්ජනයක් පටන් ගන්නා බව වරායේ වෘත්තීය සමිති ආණ්ඩුවට දන්වා ඇත. බඩු මිල ඉහළ යාම නිසා වරාය සේවකයන්ට බොහෝ කරදර සිදු වු බැවින් ඉහත සඳහන් වෘත්තීය පියවර ගන්නා බව ඔවුහු කියති. ලංකාවේ දෙකෝටි විසිපන් ලක්ෂයක ජනගහනයක් ඇත. ඒ ජනගහනයෙන් පවුල් 600ක් පමණ ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරති. එනම් මේ රටේ සම්පත්වලින් වැඩිම කොටස අයිතිකරගෙන ඇත්තේ එම පවුල් 600ය.

මීට අමතරව යාන වාහන තබාගෙන අවශ්‍ය වෙලාවට පිට රට ගොස් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් බෙහෙත් ගනිමින් උපරිම සැපක් ගන්නා තවත් පවුල් 1,000 ක් පමණ සිටිති. මේ පිරිස හැරුණුකොට ලංකාවේ සෙසු සියලු ජනගහනය මේ දිනවල සිටින්නේ වැලේ වැල් නැතිවය. එබැවින් න්‍යායාත්මකව බලනවිට 36%ක වැටුප් වර්ධකයක් සහ රුපියල් 20,000ක දීමනාවක් දෙකෝටි විසි හතර ලක්ෂයක පමණ ජනගහනයකට අවශ්‍යය ය. එහෙත් මේ වෙලාවේ ආණ්ඩුව යන්නේ ද රිම් එකෙනි. කොරෝනා කාලයේදී ගැලවී වීසිවුණු ටයරය වෙනුවට සෙකන්ඩ් හෑන්ඩ් ටයරයක් හෝ දමාගෙන රීම් එකේ විලි වසා ගැනීමට ආණ්ඩුවට හැකිව නැත. අරගලයේ අවසන් සමය වන විට අපේ මිනී පෙට්ටිවල ඇණ ගැසීම සඳහා ඇණ තොගයකුත් මිටියකුත් රැගෙන මාරයා පැමිණ සිටියේය. එහෙත් අවසන් මොහොතේදී මේ පර වූ මල් වට්ටියට රනිල් වික්‍රමසිංහ අත ගැසීම නිසා එම මල් යළි පුබුදු වී මාරයාට ටිකක් ඈතට යාමට සිදු විය. වරාය සේවකයන්, ගුරුවරුන් සහ වෙනත් රාජ්‍යය සේවකයන් ඉස්සරහට දමාගෙන මේ රටේ වෘත්තීය සමිති විසින් කිරීමට උත්සාහ කරනු ලබන්නේ පිපුණු මල් වට්ටිය නැවත පරකොට දමා අපේ පෙට්ටිවලට නැවත ඇණ ගැසීම පිණිස මාරයාට ආරාධනා කිරීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division