Home » සම්මාන රාත්‍රියේ දී හිරු පෙරට
BRITISH WAY POPULAR AWARDS - 2023

සම්මාන රාත්‍රියේ දී හිරු පෙරට

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය සම්මාන ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන BRITISH WAY POPULAR AWARDS 2023 සම්මාන රාත්‍රිය පසුගිය ඔක්තෝබර් 13 වනදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා. මෙම BRITISH WAY POPULAR AWARDS 2023 සම්මාන උලෙළ සංවිධාන කෙරුණේ පළමු වරටයි. රූපවාහිනි, ගුවන්විදුලි, සිනමා, සමාජ මාධ්‍ය ඇතුලු අංශ රැසක් නියෝජනය කරමින් සම්මාන පිරිනැමීමට කටයුතු යොදා තිබුණා. මෙම අවස්ථාවට දේශපාලනඥයින්, කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

මෙරට රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටතාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතා මනාපයෙන් සම්මාන ප්‍රදානය කෙරෙන POPULAR AWARDS 2023 දිග්විජය කරන්නට සමත් වුණේ හිරු මාධ්‍ය ජාලයයි. ඒ BRITISH WAY POPULAR AWARDS 2023 සම්මාන රාත්‍රියේ සම්මාන හතක් හිරු මාධ්‍යය ජාලය දිනා ගනිමින්.

එහිදී වසරේ ජනප්‍රියම රූපවාහිනී නාළිකාව ලෙසින් වැඩිම ජනතා මනාපයෙන් සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී ලංකාවේ වින්දනාධිපති හිරු TV නාලිකාවයි. වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාළිකාව ළෙසින් හිරු FM ජනතා සම්මානයට පාත්‍ර වුණා. ජනතාවාදී ජනමාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් හිරු ප්‍රවෘත්ති මෙතෙක් ආ ගමන්මගේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් පැත්ත ගියත් ඇත්ත කියන “හිරු ප්‍රවෘත්ති” වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ජනප්‍රියම ගුවන් විදුලි ප්‍රවෘත්ති නාළිකාව ලෙසින් හිරු FM ජනතා සම්මානයට පාත්‍ර වුණේ සියල්ලට ඉහළින් සියල්ල දකින හිරු කවදත් මුල්තැන බව නැවතත් පසක් කරමින්. මහ පොළොවේ ජීවිත අහස උසට උසස් කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටිය “හිරු ස්ටාර්” වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙසින් අභිෂේකයට නැංවුණා.

වසරේ ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් කවදත් රේඩියෝවේ පෙරළිකාර අංක එක, DJ අරා & පැස්බරා, POPULAR AWARDS 2023 සම්මානයෙන් පිදුම් ලැබුවා. වසරේ ජනප්‍රියම රූපවාහිනී නිවේදකයා ලෙසින් POPULAR AWARDS 2023 සම්මානය දිනා ගත්තේ චමුදිත සමරවික්‍රම.

හිරු මාධ්‍ය ජාලය වෙනුවෙන් සම්මාන දිනාගත් සම්මානලාභීන් සිළුමිණ රසඳුනට එක් කළ අදහස් කෙටියෙන් මෙසේයි…

වසරේ ජනප්‍රියම රූපවාහිනී නාළිකාව – හිරු TV වින්සන්ට් සිල්වා – ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ

ලාංකේය මාධ්‍ය කලාව මෙන්ම ටෙලිවිෂන් කලාව උඩු යටිකුරු කළ හිරු ටීවී සමාරම්භයේම පටන් ජනතාවාදී, ජනකාන්ත රූපවාහිනී නාලිකාවක් වුණා. සුපැහැදිළි දර්ශන මෙන්ම සමාරම්භයේ පටන්ම දීපව්‍යාප්ත ආවරණය නිසාම වැඩි වැඩියෙන් ජනතා ප්‍රසාදය දිනා ගන්නට හිරු ටීවී වෙත හැකියාව ලැබුණා. තවත් සම්මාන රැසක් සමඟ වසරේ ජනප්‍රියම ටෙලිවිෂන් නාළිකාව ලෙස මෙවරත් British way popular awards හි ජනතා සම්මානයෙන් පුදලබන්නට හැකිවීම අප මෙන්ම හිරු ටීවී හා බැඳී ප්‍රේක්ෂකාගාරය ලද සුවිශේෂී ජයග්‍රහණයක් වනවා. විශේෂයෙන්ම මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි, යන තේමාව ඔස්සේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරමින් ආරම්භ කළ හිරු ටීවී ලාංකේය ටෙලිවිෂන් සංස්කෘතියේ පැවති සාම්ප්‍රදායික වැඩසටහන් ආකෘති බිඳදමමින්, උඩුයටිකුරු කරමින් නවතම ටෙලිවිෂන් ආකෘති සහ නිර්මාණශීලී අන්තර්ගතවලින් හැඩ කරන්නට හිරු ටීවී වෙත හැකියාව ලැබුණා. ඒ නිසාම හිරු හඳුන්වාදුන් විවිධ වැඩසටහන් සමඟ ලාංකේය ප්‍රේක්ෂකාගාරය අදටත් අඛණ්ඩව බැඳී සිටිනවා. පැවැති සෑම සම්මාන උත්සවයකදීම හිරු ඉහළින්ම වැජඹුණේ ඒ හිරුටම ආවේණික නිර්මාණශීලී වැඩසටහන් ආකෘතීන් ජනතාව ආදරයෙන් වැලඳගත් නිසායි. විශේෂයෙන්ම ජාත්‍යන්තර ටෙලිවිෂන් ප්‍රමීතීන් අනුගමනය කරමින් ලාංකේය ටෙලිවිෂනය ද උසස් ලෙස ප්‍රමිතිගත කරන්නට හිරුට හැකියාව ලැබුණා. මේ සියල්ලේම පිටුපස යෝධ සෙවණැල්ල සේ සිටින්නේ ආසියානු මාධ්‍යජාලයේ සභාපතිතුමන් වූ රේනෝ සිල්වා මහතායි. එතුමන්ගේ යාවත්කාලීන වූ නව සංකල්පීය මඟපෙන්වීම ඔස්සේ හැමදාම අනෙක් සියලු ටෙලිවිෂන් නාළිකා අභිභවමින් හිරුට අංක එක වන්නට හැකියාව ලැබුණා. මේ නිසාම ලාංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරයේ රසයන් හඳුනා ගනිමින් දිගින් දිගටම නවමු ටෙලිවිෂන් සංකල්ප බිහිකරන්නට හිරු ටීවී සූදානම්න් සිටිනවා. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනයේ සිට විකාශනය දක්වා ලාංකේය ටෙලිවිෂන් නාලිකා අතුරින් ලොව අංක එකේ තාක්ෂණය භාවිත කරන එකම ටෙලිවිෂන් නාළිකාව වන්නේද හිරු ටීවී පමණක් බව දන්වන්නේද ඉතාම සතුටින්. උසස් තාක්ෂණය සහ නවීන මැදිරි පහසුකම් සහිත වීම නිසාම හිරු ටීවී වෙතින් නිර්මාණය වන වැඩසටහන් හිරුටම අනන්‍ය ප්‍රමිතියකින් සතු වනවා පමණක් නොව ප්‍රේක්ෂකයින් හිරු හා බැඳී සිටීමේ හේතුවද එයම වනවා.

වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාළිකාව – හිරු FM
ජාන් පෙරෙයිරා – සමූහ අධ්‍යක්ෂ – ගුවන්විදුලි

විසිපස් වසරක් පුරාව හිරු ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් රස වින්දනාත්මක හා ගවේෂණාත්මක මුහුණුවරකින් හෙබි ඉහළම තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් රැසක් හිරු තිළිණ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට හිරු සම්මාන පිට සම්මාන ලබා ගන්නවා. සියලුම ගුවන්විදුලි නාලිකා අභිභවමින් යළි යළිත් හිරුගේ විශිෂ්ටත්වය තහවුරු කරමින් British Way Popular Awards 2023 සම්මාන රාත්‍රියේදී හිරු සම්මාන රැසක් හිමි කර ගත්තේ ඒ නිසා. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සහ අංක 01 මාධ්‍ය ජාලය ලෙස හිරු ලැබූ මේ අනභිභවනීය විශිෂ්ටත්වයේ සැබෑ සාඩම්බරය හිරු ශ්‍රාවක ප්‍රේක්ෂක සැමටත් හිරු සමඟ අත්වැල් බැඳගෙන සිටින අනුග්‍රාහක භවතුන් සැමටත් හිමි විය යුතුයි. හැමදාමත් හිරු ඉහළින්ම තබන ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබ අපේ වත්කමයි!

වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන – “හිරු ස්ටාර්”
විරාජ් වැලිවත්ත – වැඩසටහන් අධ්‍යක්ෂ

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 2018 දී මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන්කරණය “හිරු ස්ටාර්” නමින් බිහිවූ සජීවී ගායන තරගාවලිය වෙනුවෙන් මෙරට රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසය නැවත ලියවුණා. මහපොළොවේ ජීවිත අහස උසට ඔසවන “හිරු ස්ටාර්” ජීවිතය වෙනස් කරන යතුර සොයන ජනතා පරමාදර්ශය ද වෙමින් තිබියෙදී ඇරඹුමේ පටන්ම සියලුම ටෙලිවිෂන් විභවයන් සහ සියලුම ශානරයන් අභිභවමින් අංක එකේ ටෙලිවිෂන් වැඩසටහන බවටද පත් වුණා. එක් මොහොතකින් ජීවිත වෙනස් වෙන, සජීවීව විනිවිදව ජනතා පරමාධිපත්‍යය රජයන, හිරු ස්ටාර් වැඩසටහන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද ගෞරව සම්මානයට පාත්‍ර වුණා. හිරු ස්ටාර් වටා රොද බඳින හිරු ස්ටාර් ලෝලී උද්‍යෝගය මධ්‍යයේ මෙරට සංගීතමය පුනරුදයක් බිහි කළ හිරු ස්ටාර් පසුගියදා පැවති “BRITISH WAY POPULAR AWARDS ” සම්මාන රාත්‍රියේදී නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිව්ෂන් වැඩසටහන බවට ගෞරව සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ජනප්‍රියම ගුවන්විදුලි ප්‍රවෘත්ති නාළිකාව – හිරු FM
මහේෂ් කොස්ගම්පල – නියෝජ්‍ය අධ්‍යක්ෂ – හිරු FM ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ අංක එකේ ගුවන්විදුලි නාළිකාවේ ප්‍රවෘත්ති අංශයට මේ වගේ ජනතා සම්මානයක් ලැබීම ගැන නිහතමානීව හදවතින්ම සතුටුයි. මෙරට තරගකාරී ගුවන්විදුලි නාළිකා අතර විශිෂ්ටයෙකු ලෙස ලැබූ මේ ඇගයීම ගැන පළමුව අප කෙරෙහි විශ්වාසය තැබූ ලක්ෂ සංඛ්‍යාත හිරු ශ්‍රාවකයන්ට අප ස්තුතිය පළ කළ යුතුයි.

ඒ වගේම මේක හිරු FM ප්‍රවෘත්ති අංශයේ සෑම සාමාජිකයකුගේම කැපකිරීම්වලට ලැබුණු මහත් ගෞරවයක් ලෙසත් සඳහන් කරන්න පුළුවන්.

අපි අද ජීවත් වෙන්නේ තොරතුරු පිපාසයෙන් පෙළෙන විශ්ව ගම්මානයක. එම නිසා එදිනෙදා ජීවිතයට අවශ්‍ය සහ නිවැරදි තොරතුරු තෝරා ගැනීම, අත්‍යවශ්‍ය කරුණක්. හිරු FM ප්‍රවෘත්ති අංශයේ අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ ජනතාවට ජීවිතයට අවශ්‍ය සහ දැනගතම යුතු තොරතුරු නිවැරදිව සහ පළමුව අපක්ෂපාතීව ලබාදීම සඳහායි.

දිවයිනේ අස්සක් මුල්ලක් නෑර රට පුරා තොරතුරු හිරු FM අප ප්‍රාදේශීය ප්‍රවෘත්ති ජාලයේ වාර්තාකරුවන් සහ මාණ්ඩලික වාර්තාකරුවන් හරහා ලබා ගනිමින් ඒ සඳහා නිර්මාණශීලීත්වයත් එක්කර ගනිමින් අප යන මේ ගමන ඉතා ශක්තිමත්.

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව – “හිරු ප්‍රවෘත්ති”
මහේෂ් සේනාරත්න – නියෝජ්‍ය අධ්‍යක්ෂ – හිරු ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ අංක එකේ රූපවාහිනි නාළිකාවේ ප්‍රවෘත්ති අංශයට මේ වගේ සම්මානනීය ඇගයීමක් ලැබීම ගැන ඇත්තටම හරිම සතුටුයි. තරගකාරී රූපවාහිනි නාළිකා අතරින් විශිෂ්ටයෙකු වශයෙන් ලත් මේ ඇගයීම අපේ ප්‍රවෘත්ති අංශයේ සෑම කෙනෙකුගේම මහන්සියට සහ කැපවීමට කරන ලද ගෞරවයක් ලෙස සලකන්න පුළුවන්. විශේෂම දේ තමයි වසර ගණනාවක් පුරා සෑම සම්මාන උලෙළකදීම හිරු ප්‍රවෘත්ති විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නාළිකාව ලෙස සම්මානයට පාත්‍රවීම. ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. අද අපි ජීවත් වෙන්නේ තොරතුරු ලෝකයක. ඒ අතරින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය සහ නිවැරදි තොරතුරු තෝරා ගැනීම අතිශය වැදගත්. හිරු ප්‍රවෘත්ති අංශයේ අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ ලාකීය ජනතාවගේ ජීවිතයට අවශ්‍ය නිවැරදි සහ අපක්ෂපාතී තොරතුරු ඉදිරිපත් කරන්න. ලංකාවේ විවිධ ප්‍රදේශවල තොරතුරු හිරු ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරුවන් සහ මාණ්ඩලික වාර්තාකරුවන් මඟින් ලබා ගනිමින් සංස්කාරකවරුන්ගේ නිර්මාණශීලීත්වයත් ඊට එක්කර ගනිමින් අපි යන මේ ගමන ඉතාමත් ශක්තිමත්. සභාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ සියලු සාමාජිකයින්ගෙන් ඊට විශාල සහයෝගයක් ලැබෙනවා. දම් වැලක පුරුක් වගේ අපි හැමෝම එකමුතුවෙන් වැඩ කරන නිසා තමයි හිරු‍ ප්‍රවෘත්ති අංශයට අද මේ වටිනාකම ලැබිලා තියෙන්නේ.

වසරේ ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන – DJ අරා & පැස්බරා

ශ්‍රී ලාංකීය මාධ්‍යකරණයේ පෙරළිකාර රේඩියෝ වැඩසටහන හිරු fm DJ අරා සහ පැස්බරා යළි යළිත් ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ අංක එකේ වැඩසටහන බවට පත්වන්නේ ශ්‍රී ලාංකීය ශ්‍රාවකයන්ගේ ආදරය විශ්වාසය තව තවත් ඇද බැඳ ගන්නා හෙයිනි. සෑම සතියේ දිනකම උදෑසන හතේ සිට උදෑසන දහය දක්වා ඩීජේ අරා සහ පැස්බරා, දැනුම වින්දනය සපිරි අතිවිශිෂ්ට අංග රැසකින් සම්පූර්ණ වෙමින්, ශ්‍රාවකයන්ගේ සිත් සතුටු කරන්නට හැකි වුණා. ඔබ කවුරුත් රසවිඳින, හාස්‍ය සපිරි “The Who’s Speaking”, “අනවශ්‍ය ප්‍රශ්න” වැනි විශේෂාංග වලින් ශ්‍රාවක ඔබව සිනහවෙන් පුරවන්නට හැකි වුනා. British way Popular awards 2023 හී ජනප්‍රියම රේඩියෝ වැඩසටහන ට පත් කළේ හිරු එෆ්එම් ඩී ජේ අරා සහ පැස්බරා ‍ ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ෂණය තව තවත් සම්මත කරමින්. වසරේ විශිෂ්ටතම රේඩියෝ වැඩසටහන ලෙස hiru fm ඩීජේ අරා සහ පැස්බරා වසර10ක් වාර්තාගත ලෙස සම්මානයට පාත්‍ර වෙන්නේ හිරු ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනාගේ මනාපය මතයි.

වසරේ ජනප්‍රියම රූපවාහිනී නිවේදකයා – චමුදිත සමරවික්‍රම

සාමාන්‍යයෙන් අපි වගේ අය ඇගයීමට ලක්වෙනවා ගොඩක් අඩුයි. අපිට තියෙන්නේ බැනුම්, රහස් පොලිසිය එහෙම නැත්නම් අධිකරණය. එහෙමත් නැත්නම් අපේ ගෙවල් වලට ප්‍රහාරයක් එල්ල කරන එක. මට හැම අඟහරුවාදාම වෙන් වෙලා තියෙනවා CID එක. ඒ කියන්නේ මම ප්‍රෝග්‍රෑම් එකක් කළොත් අනිවාර්යෙන්ම ඊට පහුවෙනිදා CID එකේ. ඒ නිසා අඟහරුවාදාම වෙන් වෙලා තියෙන්නේ රහස් පොලිස් දවස විදියට. එක පක්ෂයක් ගැන කතා කරලා අනිත් පක්ෂයේ වරදක් ගැන කතා කළොත් අපි නරකයි. අපිව හංවඩු ගැහිලා තියෙන්නේ එහෙම. අපහාස අවලාද බැනුම් තමයි නිතරම අපිට ලැබෙන්නේ. ඒ හැර අපිව ඇගයීම් ප්‍රශංසා කිරීම් වගේ දේවල් අපේ ජිවිත වලට අඩුයි. අපි ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

අපි පෙනී සිටින්නේ දුෂිත ව්‍යාපාරිකයන්ට සහ දූෂිත දේශපාලනඥයින්ට විරුද්ධව. එයාලට වියදම් කරන්න සල්ලි වැඩි නිසා බලය වැඩියි. ඒ නිසා මඩ අවලාද ප්‍රචාර යනවා. අපි මේ හැම අවදානමක්ම ගන්නේ රටේ ජනතාව වෙනුවෙන්. එහෙම නැත්නම් සල්ලි හොයන්න පහසුම මාර්ගය දූෂිතයාගේ පැත්ත ගන්න එක. හැබැයි අපි තෝරා ගත්තේ අපහසුම ක්‍රමය. ඒ නිසා අපි වගේ අය ඇගයීමට ලක්වීම විරලයි. මේ සම්මානය මට ගොඩක්ම වැදගත් වෙන්නේ විශේෂයෙන්ම සාමාන්‍යය ජනතාවගේ මනාපය හරහා ලැබුණු නිසා. අපි කරන කටයුතු සාමාන්‍ය ජනතාව අනුමත කරනවා කියන එක මේකෙන් පැහැදිලියි. ඉදිරියටත් මේ කටයුතු කරගෙන යන්න මේ ලැබුණු සම්මානය ලොකු ශක්තියක්. අවසන් වතාවට ලැබුණේ සුමති සම්මාන උලෙළේ දී හොඳම යූ-ටියුබ් නාළිකාවට.

ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට සුමති සම්මාන උළෙලේ හොඳම නිවේදකයා කියන කැටගරි එක හඳුන්වා දුන් අවස්ථාවේ සම්මානය ලැබුවේත් මම. ඒ නිසා හොඳම නිවේදකයා සහ හොඳම නිෂ්පාදක ඇතුළු සම්මාන මම ලබලා තියෙනවා. හැබැයි ජනතාවගේ මනාපයෙන් සම්මානිත වූ පළමු අවස්ථාව මෙයයි.

BRITISH WAY POPULAR AWARDS 2023 සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් වැඩිම ජනතා සම්මානයෙන් හිරු මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තැබූ ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබ සැමදා ඔවුන්ගේ වත්කම බැවින්, මෙලෙස හිරු වෙත තැබූ විශ්වාසය සහ ළෙංගතුබව වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ඔබ සැමට හිරු හි ප්‍රණාමය හිමිවෙන බවද ඔවුන් කියා සිටියා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division