Home » හදවත් සුවපත් කරන්න පෙළගැහෙන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා

හදවත් සුවපත් කරන්න පෙළගැහෙන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා

by Mahesh Lakehouse
October 21, 2023 12:29 am 0 comment

මිනිස් කයට සුවය ගෙනෙන වෛද්‍යවරු අතර වෛද්‍ය සමීර ජානක ජයසිංහ සුවිශේෂී චරිතයකි. සමාජයට පණිවුඩයක් දෙමින් අර්ථවත් ගීත රචනයෙහි යෙදෙන ඔහු වෘත්තියෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකි. කාර්යබහුල දිවියේ විඩා නිවාලන ගීයක මිහිර සොයමින් සිටින ඔහු අතින් ගී පද ලියවෙන්නේ ද මිනිස් සිරුර කපන මසන වෛද්‍යවරයකු තුළ සිටින්නේ ද සංවේදී මනුෂ්‍යයකු බව ලොවට පසක් කරමිනි. ඔහු තම නිර්මාණකරණය ගැන පැවසුවේ මෙවැන්නකි.

“ටී.එම්. ජයරත්න සහ නෙලු අධිකාරී ගායනා කරන ‘දියණිය ඔබයි මා සනසනා‘ කියන මගේ මුල්ම ගීතය ලියවෙන්නේ 2020 කොරෝනා අස්සෙ. ඊට පස්සෙ අවුරුදු 3ක විතර දිගු නිහැඬියාවක හිටියා. ඒ අතරේ ජීවිතේ ගොඩක් වෙනස්වීම්වලට ලක් වුණා. මං කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 20ක් සේවය කර විශ්‍රාම දිවියට එළැඹෙන්නේ මගේ තරුණ වියේදිමයි. සෞඛ්‍ය අමාත්‍යායංශයේ නියමිත සේවා කාලය නිමා කර විශ්‍රාම ගිය ළාබාලතම වෛද්‍යවරයා වෙන්නෙත් මං.

ඊට පස්සෙ එංගලන්තයේ පදිංචියට ගිහින් නැවතත් ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට සේවය ආරම්භ කරනවා. මගේ කලා කටයුතු වඩාත් දියුණු වුණේ එහේදි කිවුවත් හරි. මම ලියපු පද රචනා හතරක් ගීත බවට පත්වෙන්නේ එහේදි. මගේ ගීත මියුසික් වීඩියෝ විදිහට එළියට එද්දි සංගීතය සහ ගායනය හැරුණම අනෙක් සියලු අංශ කෙරෙන්නේ මගේ අතින්. ගී පදවැලක් ලියැවෙද්දි ඒක තුළ මං ජීවත් වෙනවා. රූප රචනය ගැනත් මං විශේෂ සැලකිල්ලක් දක්වනවා. ගීතයේ හැඟීම මගේ හිතේ තියෙන නිසා රූප රචනයටත් මම ම දායක වෙනවා.

‘වරා මල‘ ගීතය ලියවෙන්නේ කොන්දේසි විරහිතව පෙමින් බැඳෙන පෙම්වතුන්ගේ සිත් සනහාලන්න. මහින්ද බණ්ඩාරගේ සංගීතයට කීර්ති පැස්කුවල් සමඟ ධම්මිකා බණ්ඩාරගේ හඬ මුසුවෙද්දී එහි රූප රචනයට මාත් එක්ක එක්වෙන්නේ රිද්මි ගුණරත්න. සරසවි ශිෂ්‍යාවක් වන රිද්මි මගේ සමීපතම වෛද්‍යවරයකුගේ දුවක්. මේ රූප රචනය කෙරෙන්නේ එංගලන්තයේ.

දෙවැනි ගීතය ‘රිදුනා‘ ගීතය සමාජ මාධ්‍යවල ගොඩක් ප්‍රචාරය වුණු ගීතයක්. ඒ ගීතයට මා සමඟ රංගනයෙන් එක්වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී මීනා කුමාරි. මහින්ද බණ්ඩාරගේ සංගීතයට කීර්ති පැස්කුවල් සමඟ සමිතා මුදුන්කොටුවගේ මියුරු හඬ එක්වෙන්නේ ආදරය, විරහව, බැඳීම, අතහැරීම වගේ අතිශයින් සංවේදී හැඟීම් එක්ක. මේක වෙනස්ම තාලයේ විරහ ගීතයක්. දෙන්න දෙන්නගෙ හොඳ කියා ගෙන අන්තිමේ වෙන්වෙලා යනවා. මේක ප්‍රේක්ෂකයන් අතරට යන්න රූප රචනයත් ඉවහල් වුණා කිවුවත් හරි. මේ හැම ගීතයකම පද රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වගේම රංගන දායකත්වය මගේ. මේ ලියැවෙන්නේ නිරායාසයෙන්ම මගේ හිතේ ඇතිවෙන හැඟීම්. ඒ නිසා අර්ථ රසයට මුල්තැන දීල තමයි රූප රචනයට නඟන්නේ.

දුක, සතුට සමසේ බෙදා ගනිමින් මේ සංසාර ගමනේ යෙදෙන සුවහසක් ප්‍රේමවන්තයින් වෙනුවෙන් ලියවුණු ගීතයක් තමයි ‘සංසාර මහ ගිරිදඹේ‘ කියන්නේ. දර්ශන වික්‍රමතුංගගේ මියුරු සංගීත ස්වරයට චන්දන ලියනාරච්චි සමඟ නව පරපුරේ ගායන ශිල්පිනී යශෝධා ප්‍රියදර්ශනීගේ තමයි හඬ මුසු කරන්නේ.“

වෛද්‍ය වෘත්තියේ නියැළීමේ අදහසින් එංගලන්තයට ගිය ඔහුට කලාවෙන් ඈත්වන්නට නොහැකි වී ඇති බව වැටහුණේ ඔහුගේ මෙවන් අදහස් නිසාය.

“පියසේන රතුවිතාන කියන්නේ මගේ මාමා. ඒ නිසා කුඩා කාලෙ ඉඳන්ම කලාව මගේ ඇඟේ තිබුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ සිංහල භාෂාව හා සාහිත්‍යයට මගේ විශේෂ ලැදිකමක් තිබුණා. ඒත් මං උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් නිම කරලා A හතරක් අරන් ලංකාවේ 5 වැනියා වුණා. අදටත් මට මතකයි ප්‍රතිඵල කියන්න පරණ ගුරුවරු හමුවෙන්න ගිය වෙලාවෙ සිංහල ගුරුතුමිය සතුට වෙනුවට ප්‍රකාශ කළේ එයාගෙ නොසතුට. සිංහල ගුරුතුමිය බලාපොරොත්තු වෙලා තියෙන්නෙ මං සිංහල අංශයෙන් ඉදිරියට ගිහින් මහාචාර්යවරයෙක් වේවි කියලා. ඒත් අද ආපහු හැරිල බලද්දි මට සතුටු වෙන්න පුළුවන්. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට අතිවිශාල ශල්‍යකර්ම ප්‍රමාණයක් කරල ලංකාවෙ වගේම එංගලන්තයෙත් සේවය කරනවා. ගීතවලට අමතරව පොත් 3ක් ලියලා කලා අංශයෙනුත් සේවයක් කරලා තියෙනවා. දේශය වෙනස් වුණා කියලා මගේ හිතේ කැකෑරෙන කලා සිතුවිලි යට ගහල තියන්න බෑ“.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division