Home » මම ඔයාට කැමතියි ඒත් ආදරේ නෑ

මම ඔයාට කැමතියි ඒත් ආදරේ නෑ

මම ඒක අහලා කන්ෆියුස් වුණා

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

– බොහෝ දෙනෙක් කිව්වා එයාව බඳින්න එපා එයා හරියට ප්ලේ බෝයි කෙනෙක් වගේ කියලා
– එයා මාව කොළඹ ඉඳලා සීදූවට එක්කගෙන යනවා රස සැලඩ් එකක් කන්න අරන් දෙන්න ඒක කාලා ආයෙමත්  කොළඹට ගෙනත් දාලා යනවා
– මගේ 40 වෙනි උපන්දිනයට එයා මල් පොකුරක් දීලා මට අයි ලව් යූ කියලා පළවෙනි වතාවට කිව්වා
– විවාහ වුණාට පස්සෙ සැමියාගෙන් නිදහස ලැබුණා ඒත් මම සීමා දාගෙන වැඩ කරන්න පුරුදු වුණා

ලෝකය පුරා නිරූපණ ක්ෂේත්‍රය ප්‍රචලිත වී තිබුණත් ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ගැන නොදන්න යුගයක නිරූපිකාවක් විදිහට සමාජ ගත වුණු චරිතයක් හැටියට වාසනා දන්තනාරායන් හඳුන්වා දෙන්න පුළුවන්. අදටත් ඇගේ නම වගේම රූපය දන්න අය බොහෝයි. ඇය ගිය මඟ යමින් නිරූපණයට ආ අයද බොහෝයි. ඒ නිසා ඇයත් එක්ක ඇය හා පුංචි පවුලේ තොරතුරු මේ විදිහට රසඳුන අතරට ගෙන එන්න හිතුවා.

කොහොමද වාසනා ජීවිතේ..?

සතුටින් සුවෙන් කාලය ගත කරනවා.

ඒ වගේම දැන් කාර්‍යබහුලයි නේද ..?

කලින් කාර්‍යබහුල වුණේ සැමියගේ ව්‍යාපාර එක්ක. දැන් ඒ වැඩ එක්ක තවත් රාජකාරියක් පටන් ගත්තා. ඒ තමයි මගේ V ඇකඩමි ඔෆ් ෆැෂන් ඇන්ඩ් මොඩ්ලිං ඇකඩමිය. සැප්තැම්බර් මාසේ 30 පටන් ගත්තා. නුවර තමයි ඒ කටයුතු වෙන්නේ.

වාසනත් නිරූපණ නිරූපිකාවන් බිහි කරන රැල්ලට අහු වුණා ද..?

මම ඇකඩමි එක පටන් ගත්තේ මුලින්ම 2005 අවුරුද්දේ . ඊට පස්සේ ඇති වුණු කලකිරිම් එක්ක අවුරුදු අටකට කලින් නතර කරලා ආයේම පටන් ගත්තා. තරුණයින් මුළා කරන ඇකඩමි බොහෝමයක් තියෙනවා. කිසිම පළපුරුද්දක් නැති අය මුදල් ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන ඒවා. හරි දෙයක් කරන්න ආපු ඉල්ලීම් එක්ක ආයෙමත් වැඩ පටන් ගත්තා.

වාසනා කියන්නේ නිරූපණ රැකියාව මුදලට පාවා දුන් කෙනෙක් ද..?

කොහෙත්ම නැහැ. ප්‍රසිද්ධිය හෝ සල්ලි හොයාගෙන ගිය ගමනක් නෙමෙයි. අපි ආත්ම තෘප්තිය උදෙසා එදත් වැඩ කළේ, අදත් වැඩ කරන්නේ. ඒකයි අපිව තවම ජනතාවටත් මතක. කොච්චර කාලයක් වැඩ නොකර හිටියත් හඳුනගෙන කතාබහ කරන ප්‍රතිචාර දක්වන අය ඉන්නවා කියන්නේ මාව මතකයි කියන එක කියලයි මම හිතන්නේ.

වාසනා නිරූපණයට සම්බන්ධ වුණු යුගයේ ලංකාවේ එතරම් නිරූපණය ට ඉඩක් තිබ්බේ නැහැ. සමාජ මාධ්‍ය හෝ වැඩි ප්‍රසිද්ධියක් නැති ගමනේදි ඔබ ඔබව තවමත් මතක ඇති කෙනෙක් බවට කොහොම හෝ පත් කරගත්තා නේද ..?

මම ඉගෙන ගත්තේ බොරැල්ල CWW කන්නංගර විද්‍යාලයෙන්. මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් විදිහට වගේම ක්‍රිඩා අංශ සඳහාත් සම්බන්ධ වූ කෙනෙක්. මගේ අම්මගේ පවුලේ කලාවට සම්බන්ධකම් තිබ්බා. ඒ නිසා පවුලේ අය කලාවට ආදරෙයි. මට මතකයි මම එක වසර වගේ ඉගෙන ගන්න කාලේ ඉඳලා ලස්සනට අදින්න ආසයි. ලිප්ස්ටික් ගානවා. කණ්ණාඩිය ඉස්සරහා හැඩ බලනවා. ටික ටික ලොකු වෙද්දී නිරූපණය කරන්න ආසාවෙන් හිටියා. ඒ කාලේ සමාජ මාධ්‍ය නැහැ. ටීවී චැනල් ගොඩක් නැහැ. පත්තර විතරයි. ඒ කාලේ පත්තරවලින් නිරූපණය ගැන ඉගෙන ගත්ත බොහෝ දේවල් තිබුණා. කලාවට තිබුණ ආසාව නිසා විවිධ කලා සමුළුවලට සම්බන්ධ වුණා. විවිධ දේ කළා. ඊට පස්සේ මම විද්‍යාරත්න ප්‍රනාන්දු සර් ළඟ උඩරට නර්තනය ඉගෙන ගත්තා. පහතරට නර්තනය රැජිණි මිස්ගෙන් ඉගෙන ගත්තා. බැලේ ඩාන්ස් ඉගෙන ගත්තා, ඒ වගෙම චන්න විජේවර්ධන සර්ගෙන් ඉගෙන ගත්තා. ඒවා තමයි පටන් ගැන්ම.

එතැනින් නතර වුණේ නැහැ නේද ..?

නැහැ. මගේ අයියගේ විවාහයේදී දෙවැනි මනමාලිට හිටියේ මම. මාව හැඩගැන්වූයේ ගාමිණී පණ්ඩිතරත්න මහත්මයා. එතුමා ඇහුවා මොඩ්ලිං කරන්න කැමති නැද්ද කියලා. මම කැමැත්තෙන් හා කිව්වා. ඊට පස්සේ පුවත්පතක කවරයකට හිටියා. එතැනින් පස්සේ දිගටම මම මොඩ්ලිං කළා. මාව වෙළෙඳ දැන්වීම්වලට ගත්තා. වෙළෙඳ දැන්වීම් 27කට සම්බන්ධ වෙලා තියෙනවා. මිස් ශ්‍රී ලංකා වගේම තවත් පැජන්ට් හතක් නියෝජනය කරලා ජය ගත්තා.

කොල්ලෝ දෙන්නෙක් මැද හැදුණු වාසනාට නිතී රිතී වැටුණේ නැද්ද?

විවාහ වෙනකල්ම මගේ පස්සෙන් හිටියේ අම්මා. තාත්තා මොකුත් කිව්වෙ නැහැ. අයියයි මල්ලියි වුණත් මගේ කැමැත්තට ඉඩ දුන්නා. විවාහ වුණාට පස්සෙ සැමියාගෙන් නිදහස ලැබුණා. නමුත් මම සීමා දාගෙන වැඩ කරන්න පුරුදු වුණා.

ආදරේ ප්‍රකාශ කරලා නැතිව මුණගැහුණු ප්‍රේමය මුණගැහෙන්නෙත් ඔබ නිරූපීකාවක් නිසා..?

එයා රසික මෙල්රෝයි. එයාගේ ඉදිකිරීම් ආයතනයේ ගෲප් චෙයාමන්. මොඩ්ලිං ෂෝ එකක මාව දැකලා මාව හොයාගෙන එයාගේ රියැදුරු එක්ක අපේ ගෙදර ආවා. එයාගේ ඩ්‍රයිවර් මාව දන්නවා. එයා අහලා තියෙනවා “මහත්තයාට ඒ මිස්ව හිතට අල්ලලා වගේ නේද? මම ගෙදර තියෙන තැන දන්නවා යමු“ කියලා. පහුවදා උදේ අට විතර වෙද්දී ගෙදර හොයාගෙන ගෙදරට ආවා. කලින් දවසේ මගේ පර්ස් එක නැති වුණා. එදා මම හොඳටම අඬලා හිටියේ. ඒ පිටින් දාලා තමයි ගෙදර ආවේ. එයා වාහනේ හිටියේ ඩ්‍රයිවර් ආවා ගේ ඇතුළට. ඊට පස්සේ මගේ මල්ලී මෙල්රෝයිට ගෙදරට එන්න කිව්වා. ඒ හඳුනා ගැනීම දුරදිග ගියා. අපේ පවුලට හිතවත්. දවසක් මගේ මල්ලි එක්ක ගමනක් ගියා. එයාගේ ඩ්‍රයිවර් මල්ලි එක්ක වාහනෙන් බැස්ස වෙලාවක එයා මගෙන් එකපාරටම ඇහුවා වාසි ඔයා මට ආදරෙයිද කියලා. මගේ කැමැත්තක් තිබ්බට මම ඒක අහලා කන්ෆියුස් වුණා . මම ඇහුවා ඔයා මොකද කියන්නේ කියලා මම උත්තර නොදී. එයා කිව්වා මම ඔයාට කැමතියි. ඒත් ආදරේ නැහැ කියලා. ඒකට මම බය වුණා. පස්සේ ඒ කතාබහ එතනින් ඉවරයි. මාස දෙක තුනකට පස්සේ අපි බදිමුද ඇහුවා. මම ඇත්තටමද කියන්නේ කියලා ඇහුවා. එයා ඔව් කිව්වා. මගේ තාත්තා ඒ වෙද්දී ජීවතුන් අතර නැහැ. අම්මා කිව්වා අයියගෙන් අහන්න ඕන කිය. අයියා සිංගප්පූරුවේ පදිංචි වෙලා ඉන්නේ. එයා අපේ පවුලේ හැමෝම හා එයාගේ පවුලේ හැමෝම එක්ක එයාගේ වියදමින් සිංගප්පූරුවට ගියා. අයියා කැමති වුණා. ඊට පස්සේ ආදරේ නොකියා ආදරේ කරලා මාස තුනක් විතර ගියාට පස්සෙ විවාහ වුණා. ඒ වෙද්දී අපි දෙන්නම ආදරේ කරලා විරහව විදිමින් හිටපු කාලයක්. ඒ නිසා තේරුම් ගැනීම් හා ගැළපීම් තිබ්බා කියලා හිතුණා. මගේ 40 වෙනි උපන් දිනයට එයා මල් පොකුරක් දීලා මට අයි ලව් යූ කියලා පළවෙනි වතාවට කිව්වා. එදා මට හරියට හිනා ගියා.

නිරූපණයේදී ඔබව නිරන්තරයෙන් හැඩ ගැන්වූ ප්‍රවීණයින් අතින්ද ඔබ සැබෑවට මනාලියක් විදිහට හැඩගැන්වුණේ?

චාන්දනී බණ්ඩාර මහත්මිය මාව ඇන්දුවා. මයිකල් විජේසූරිය මහත්මයා තමයි මගේ ඇඳුම හැදුවේ. එතුමා මගේ මිමි දන්න නිසා ෆිටෝන්වත් කළේ නැහැ. වෙඩින් එක දවසේ උදේ තමයි මෙල්රෝයි ගිහිං ගවුම ගෙනාවේ. එයා යද්දිත් මයිකල් ස්ටෝන් අල්ලනවලු.

කෙටි කාලයකින් දැන හඳුනාගත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බයක් දැනුණේ නැද්ද ..?

මගේ යාළුවෝ වගේම දන්න බොහෝ දෙනෙක් කිව්වා එයාව බඳින්න එපා, එයා හරියට ප්ලේ බෝයි කෙනෙක් වගේ කියලා. මම කාටවත් ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ ගත්ත තීරණය හරි එකක් කියලා මම අදටත් විශ්වාස කරනවා. අපි තේරුම් අරන් ජීවිතේ ලස්සනට ගත කරනවා. පවුල් ආරවුල් ඇති වෙන්නේ ඕනවට වඩා ඇඟිලි ගහන්න යද්දී. එයා ප්‍රශ්නයක ඉන්නෙ නම් එක පාරක් අහනවා. කිව්වෙ නැත්තම් එයාට නිදහසේ ඒ ප්‍රශ්න විසඳගන්න ඉඩ දීලා මම ඉන්නවා.

ඔහුට ඔබව මුණගැහෙද්දි කෙසඟ සිරුරක් හිමි තරුණියක්, දැන් මහත වැඩියි කියලා කෙට්ටු වෙන්න කියන්නේ නැද්ද ..?

දුව ඉපදුණාට පස්සේ මම මහත් වුණා. මහතයි වෙනස් වෙන්න කියලා කවදාවත් කියලා නැහැ. මම මහත වුණත් ලස්සනට ඇඳලා ඉන්නවා. එයා ඒකට ආසයි. එයා මට කියන්නේ ඔයා ෆැෂන් කරන්න ඕන කාලේ ඇඟට වද දීලා බඩගින්නේ ඉදලා ඩයට් කරලා ඇග මේන්ටේන් කළා. දැන් බොරුවට ජිම් ගිහිං ඇග රිද්දගන්න ඕන නැහැ. හොඳට කාලා සැපෙන් ඉන්න කියලා. ආදරේ කරන කාලේ සැලඩ් විතරයි මම කෑවේ. එයා මාව කොළඹ ඉඳලා සීදූව එක්කගෙන යනවා රස සැලඩ් එකක් කන්න අරන් දෙන්න. ඒක කාලා ආයෙමත් කොළඹට ගෙනත් දාලා යනවා. ඒ වගේ මතකත් තියෙනවා.

දෙන්නටම රසට උයන්න පුළුවන් කියලා ආරංචියි ..?

මට ඕනෑම කෑමක් හදන්න පුළුවන්. ඒවා රසයි කියලා කනවා. මෙල්රෝයි උයනවා හරි රසයි. ඔක්තෝබර් 10දා අපේ දුව රශේන්ද්‍රි විහාරාගෙ 17 වැනි උපන් දිනේ තිබ්බා. එදා උදේ මම දුව එක්ක කොළඹ ආවා එයාගේ විභාගයකට. ගෙදර යද්දී දුවගේ උපන් දින පාටියට අවශ්‍ය සියලුම කෑම වර්ග එයා තනියම උයලා. කකුළුවෝ හොදි හදලා, පෝක් උයලා. ගෙදර යද්දී මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒකත් වාසනාවක්.

දුවත් ඔබ වගේ නිරූපිකාවක් වෙයිද? එහෙම නැත්නම් පියා වගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙයිද..? කතාබහ ට සමු දෙන්න කලින් ඒ ගැනත් කියමු..?

දුවව ගොඩක් අය ඉල්ලනවා මනාලියක් විදිහට අන්දන්න. එයා සාමාන්‍ය පෙළ කරන්න හිටපු නිසා ටිකක් වැඩවලට යැව්වේ නැහැ. කිහිපයක් කරා. ඒ වගේම දැනටත් තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට උදවු කරනවා. ඒ පැත්තෙනුත් දැනුම තියෙනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division