Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

විජේවීර සමඟ වනයේ ගත කළ සගයකුගේ මතක ගිනි පුපුරු

කෘතිය- නොනිමි අරගලයක මතක ගිනි පුපුරු
කර්තෘ- ගාමිණී මුතුකුමාරණ
ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි
පිටු ගණන- 552 / මිල- රු 2,000
WhatsApp- +447 7350 90155

ශ්‍රී ලංකාව යනු විසිවැනි සියවසේදී තරුණ නැගිටීම් දෙකකට මුහුණ දුන් රටක් බව බොහෝ දෙනකුට අමතක නැති කරුණකි. ඒ තරුණ නැගිටීමට මුහුණ දුන් තරුණයකු ඉන් දශක තුනහමාරකට පමණ පසු ඒ පිළිබඳ කරනු ලබන විවරණයක් කෙසේ විය හැකිද? ගාමිණී මුතුකුමාරණ නම් ලේඛකයා අපට හමුවන්නේ එහිදීය. ඒ, ‘නොනිමි අරගලයක මතක ගිනි පුපුරු’ නම් කෘතිය තුළිනි. කෘතියේ පෙරවදනේ ගාමිණී මුතුකුමාරණ පවසා ඇති වදන්වලින්ම මේ විවරණයට මූලාරම්භය ගනු කැමැත්තෙමි.

“ලාංකේය ධරණී තලයේ විසිවැනි සියවස තුළ ඇතිවූ අතිශය තීරණාත්මක දේශපාලන සංසිද්ධිය 1987-1989 අරගලය මගේ මතකය තුළින් මෙසේ දිග හරින්නෙමි. මේ ලියන සියලුම අකුරුවල වගකීම මම පෞද්ගලිකව භාර ගනිමි. මා ඇසින් දුටු, කනින් ඇසූ, සිතින් ධාරණය කළ බොහෝ දෑ මෙහි ඇතුළත්ය. එහි අතිශයෝක්තිය හෝ අල්පෝක්තිය අඩංගු නැත. එසේම අරගලයේ වීරයන් මෙන්ම ද්‍රෝහීන් ගැන සත්‍යය මෙහි ඇතුළත් වේ. “එසේ පවසන ගාමිණී මුතුකුමාරණ වැඩිදුරටත් සඳහන් කරන්නේ අරගලය තුළ සිය භාවිතය සහ අත්දැකීම් කෘතියක් ලෙසට එළිදක්වන්නට තමා අදහස් කළේ අරගලයේදී හමුවූ සිය උදාරතර සගයන්ට උපහාරයක් ලෙසින් බවය. ඔහුගේ වෑයම කොතෙක්දුරට සාර්ථක ද යන්න තීරණය කිරීම පාඨකයාට භාරය.

බැලූ බැල්මට මේ කෘතියේ ඇතුළත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ පදනම් කරගත් සටහන් සමූහයකි. එකී ඉතිහාසයේ සමස්තය මෙහි ලියැවී නැතත් එහි ඉතිහාසය සොයා යන්නෙකුට මේ කෘතිය මඟින් ඒ සඳහා සමීප මඟපෙන්වීමක් කරනු ඇතැයි සිතිය හැකිය. සමස්ත ජවිපෙ අරගලකාරී ඉතිහාසය තනි පුද්ගලයකුගේ අත්දැකීම් සහ දැනුම්වත්කම මත පමණක් වාර්තා කිරීම අසාර්ථක බව මේ කෘතියේ කතුවරයා මැනවින් වටහා ගෙන ඇත. කිසියම් පක්ෂයක සමස්ත ඉතිහාසය ලිවිය හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයක් තුළින් බව විශ්වාස කරන ඔහු ඒ සඳහා තමාගේ මේ මතක ආවර්ජනය ද යම් ප්‍රයෝජනයක් සලසනු ඇතැයි විශ්වාස කරන්නේය.

ඒ අතීතය ආවර්ජනය කරන ගාමිණී මුතුකුමාරණගේ හදවත විටෙක බොහෝ සංවේදී වෙයි. ඒ අරගලයේදී තම ප්‍රාණසම සහෝදර සහෝදරියන් හැට දහසකට අධික සංඛ්‍යාවක් දහසක් වධ වේදනා විඳ අවසන් ගමන් ගිය අයුරු ඔහුගේ සිතේ කිසිදා නොමැකෙන වේදනාත්මක මතකයකි. 1990 වසරේදී ගාමිණී මුතුකුමාරණ පක්ෂයේ නායකයකුව සිටි දයා වන්නිආරච්චි සම්බන්ධ කරගනිමින් අරගලයේ ඉතිහාස කතාව ලියන්නට උත්සාහ කළද මර්දනයේ හස්තය ඔහු පසුපස හඹා ආවෙන් ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වන්නට ඔහුට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ගාමිණී මුතුකුමාරණ එක්සත් රාජධානියේ පුරවැසියකු ලෙස ජීවත් වේ.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පමණක් නොව මේ කෘතිය තුළින් ජවිපෙ දේශපාලන ක්‍රියාකාරීත්වය හමුවේ එකල දකුණේ විපක්ෂය ලෙස ක්‍රියාත්මක වූ පක්ෂවල හැසිරීම පිළිබඳ ද මේ කෘතියෙන් අනාවරණය වේ. ඒ ඉතිහාස කතා පෙළ කිසිසේත් රසබර නොවේ. බිය සැක සහ ජීවිත අවදානම බොහෝ සිත් තුළ අරක් ගෙන තිබූ භයංකර යුගයක මතක සටහන් පෙළක් වුවත් මේ කෘතිය හුදු ප්‍රබන්ධය ඉක්මවා ගිය සත්‍යයට ළඟ කෘතියක් ලෙස වඩාත් සුවිශේෂී වේ. විශ්වාසනීය බව සිය කෘතිය තුළින් ප්‍රබල ලෙස ඉස්මතු කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. ඊට ප්‍රමුඛ හේතුව ඔහු ඒ ඉතිහාසය තුළ සක්‍රීය කොටස්කරුවකු වීමයි. හැත්තෑ එකේ අරගලයේ සිට පක්ෂය වෙත ඇති සම්බන්ධකම් සහිත සගයන්ගේ ඇසුර සහ සිය පවුලෙන්ම පක්ෂයට ඇති බැඳීමද, හැත්තෑ හතේ සිට ඔහු රෝහණ විජේවීර සහ පක්ෂය සමඟ තිබූ සමීප බැඳීම ඇසුරෙන් ලැබූ අත්දැකීම් ද මේ කෘතියේ සජීවී බවට පෝෂණය සලසයි.

1987-1989 මෙරට පැවැති අරගලය පිළිබඳ සමාජ දේශපාලන නිරීක්ෂකයෝ, මාධ්‍යවේදියෝ විසින් ලියන ලද කෘති බොහෝය. එපමණක් නොව විවිධ සාහිත්‍ය ධාරා මඟින් ද අරගලය ප්‍රතිනිර්මාණය කිරීමට දරා ඇති උත්සාහයන් වේ. එසේ වුවද එම අරගලයට පූර්ණකාලීනව සම්බන්ධ වී සිටි පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් තම අත්දැකීම් විවිධ විවරණ ඔස්සේ මෙන්ම සාහිත්‍ය ධාරාවන් ඔස්සේ ද ප්‍රකාශ කිරීම අත්හල නොහැකි සමාජ වගකීමක් බව ගාමිණී මුතුකුමාරණ ගේ අදහසයි. ඊට හේතුව අරගල භූමියට කිසිදා පා නොතැබූ අය ඒ ඉතිහාසය තුළට බලෙන් ඔබ්බවා ඇති නොමඟ යවන සුලු සාහිත්‍යමය සුරංගනා කතා අහෝසි කළ හැක්කේ එවිට වන නිසාය.

 


1971 කැරැල්ල ගැන කියන කමල් නිශ්ශංක

කෘතිය- 1971 අප්‍රේල් කැරැල්ල
කර්තෘ – කමල් නිශ්ශංක
ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි -පිටු ගණන – 228
මිල- රු 1,000 / දුරකතනය- 077 773 3347

ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ නූතන යුගය ආරම්භ වන්නේ 1971 අප්‍රේල් මස 05 වැනිදා පාන්දර වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ බව මේ කෘතියේ කතුවරයා වන කමල් නිශ්ශංක පවසන්නේය. එම කැරැල්ල හා සම්බන්ධ සියලු තොරතුරු සැකැවින් හෝ මේ කෘතියට ඇතුළත් කරන්නට ඔහු උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ අනුව 1971 අප්‍රේල් කැරැල්ලට පසුබිම් වූ රහසිගත දේශපාලනය ක්‍රමානුකූලව සහ විවිධ දුෂ්කරතා මැද දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ආකාරයත් එම දේශපාලන ව්‍යාපාරයට පසුබිම් වූ ජාත්‍යන්තර සාධක පිළිබඳවත් මේ කෘතිය තුළ තොරතුරු ඇතුළත් වේ.

කතුවරයා මේ කෘතිය ලිවීම ආරම්භ කර ඇත්තේ 1971 අප්‍රේල් කැරැල්ලට වසර පනහක් ගතවූ තැනදී වන අතර, සිය කෘතිය මඟින් සිදුවූ කරුණු ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමට උත්සාහ දැරුවා විනා කිසිවකු දෝෂදර්ශනයට හෝ විවේචනයට ලක් කිරීම අරමුණු කර නොගත් බව ද කතුවරයා කෘතියේ පෙරවදන තුළින් පවසා ඇත. 1971 කැරැල්ල සිය ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක් වූ අතර, මීට අඩසිය වසකට පමණ පෙර සිදුවූ සිදුවීම් සිය මතකයේ තවමත් තදින් රැඳී පවතින බව කතුවරයා පවසන්නේ ඒ අත්දැකීම් ද මේ කෘතියට ඇතුළත් කරමිනි.

1971 සිට මේ දක්වා ගතවී ඇති අඩ සියවසකට වැඩි කාලය තුළ මෙරට දේශපාලනය මෙන්ම කලාපීය සහ ලෝක දේශපාලනය ද වෙනස් වී ඇති අතර, සමාජවාදී කඳවුර ද විශාල පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක, ලංකාවේ කලක් ජනප්‍රියව තිබූ වාමාංශික දේශපාලනය ද බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති කාලයක තමා මේ කෘතිය රචනා කළ බව කතුවරයා පවසයි.

මූලික පරිච්ඡේද 15ක් තුළ පෙළගස්වා ඇති මෙම කෘතියට ඒ පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් කිරීමට කතුවරයා සමත්වී ඇත. ඒ අනුව 1971 අප්‍රේල් මහ නඩුවේ චුදිතයන් වූ 41 දෙනා පිළිබඳ, එක් එක් ප්‍රදේශවල කැරලි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය, අප්‍රේල් කැරලිකරුවන්ට එරෙහිව තිබූ චෝදනා සහ නඩු සම්බන්ධයෙන්, අප්‍රේල් කැරැල්ලේ නායකයන් පිළිබඳ, බන්ධනාගාර සහ කඳවුරු ජීවිතය පිළිබඳ, කැරැල්ලට පසුබිම් වූ අන්තර්ජාතික සාධක ද කැරලිකරුවන්ගේ සංයුතිය පිළිබඳ තොරතුරු ප්‍රමුඛ වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division