Home » උසාවියේ රෙජිස්ට්‍රාර්වරියත් අල්ලන් නඩු ලිපි ගොනුවත් උස්සන් චුදිතයා රටින් පනින්න ගහපු ගේම

උසාවියේ රෙජිස්ට්‍රාර්වරියත් අල්ලන් නඩු ලිපි ගොනුවත් උස්සන් චුදිතයා රටින් පනින්න ගහපු ගේම

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ධිකරණ ක්ෂේත්‍රය තුළ විනිසුරුවරයාගෙන් පසු ඇති බලවත්ම තනතුර ලෙස සැලකෙන්නේ රෙජිස්ට්‍රාර්යය. අධිකරණයක් තුළ රෙජිස්ට්‍රාර්වරයාට ඇත්තේ ලොකු පිළිගැනීමකි. එසේම ගෞරවයකි. එම ගෞරවනීය තනතුර මුදලට පාවා දෙමින් හෑල්ලුවට ලක් කරන්නේ නම් ඒ තුළින් බලපෑම් එල්ල වන්නේ මුළුමහත් අධිකරණ පද්ධතියටමය. එසේ සිය බලය අයුතු ලෙස භාවිත කරමින් කටයුතු කළ තනතුරේ ගෞරවය පවා හෑල්ලුවට ලක් කළ අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් පසුගිය 13 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද පැමිණිල්ලකට අනුව එම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියවය.

ඇයව අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ ව්‍යාජ ලේඛනයක් සකස් කර එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කිරීමක් සම්බන්ධයෙනි. ඒ අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පැනවූ පුද්ගලයකුට එම තහනම ඉවත් කර ඇතැයි ව්‍යාජ නියෝගයක් නිකුත් කිරීමක් සම්බන්ධයෙනි.

මේ කතාව 2010 වසර දක්වා දිව යන්නෙකි. මේ කියන පුද්ගලයා අරුණ කීර්ති නමැති අයෙකි. ඔහු පදිංචිව සිටින්නේ බොරැල්ල වනාතමුල්ලේය. ගුවන් හමුදා නිවාස සංකීර්ණය ආසන්නයේ ඇති නිවෙසක පදිංචිව සිටින ඔහු මෑත කාලයේ දියුණුවේ හිණිපෙතට ගමන් කරන්නට වූයේ අසල්වාසීන් පවා පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි. ඔහුගේ බිරිය රූපලාවණ්‍ය ශිල්පිනියක් වූවාය. ඇගේ රූපලාවණ්‍යාගාරය පිහිටා තිබුණේ දෙමටගොඩ පැත්තේය. දැන් එතැන ඇත්තේ වෙනත් ව්‍යාපාරික ස්ථානයකි. එසේම අරුණ කීර්ති ද දැන් වනාතමුල්ලේ දකින්නට නැති තරම්ය. ඒ ඔහු වනාතමුල්ලේ නිවෙස කුලියට හෝ බද්දට දී වෙනත් ස්ථානයක පදිංචිව සිටින බැවිනි. කියැවෙන්නේ ඔහු කොළඹින් බැහැර අඹුදරුවන් සමඟ ජීවත් වන බවය.

හීන්දෑරි වැඩි කතාබහක් නොමැති නිහඬ චරිතයක් වන අරුණ කීර්ති ඒ පැත්තේ පන්සල් කිහිපයක දකින්නට හැකි චරිතයකි. මල් ආශ්‍රිත ව්‍යාපාරයකට ද අත ගසා සිටි ඔහු ගැන හා ඔහුගේ ආදායම් මාර්ග ගැන වැඩි තොරතුරක් අසල්වැසි කිසිවෙක් දැන සිටියේ නැත. එකී ව්‍යාපාරික ස්ථානය තිබුණේ වැලිකඩ පැත්තේය. වැඩි සමාජ ඇසුරක් ඇතැයි පෙනෙන්නට නොතිබුණත් ඔහු හොර රහසේ ඇසුරු කළේ නම් අමුතු පුද්ගලයන්වය. මේ පුද්ගලයා හීන් නූල් සූත්තරකාරයෙක් බව පසක් වන්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් 2010 වසරේ ඔහුට එරෙහිව කරනු ලබන රුපියල් ලක්ෂ 30කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයක් සමඟිනි. මෙම විමර්ශනය සිදු කරනු ලබන වකවානුවේ ඔහු සේවයේ නිරතව සිටියේ යැයි කියනු ලබන්නේ මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමකය. ඒ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් ලෙසිනි. දැන් ඔහු එම රක්ෂණ සමාගමේ සේවයේ නැත. ඒ රක්ෂණ මුදල් වංචාවකට චෝදනා ලැබ සිටින බැවිනි. මෙම තැනැත්තාට එම චෝදනාව එල්ල වන්නේ අදාළ රක්ෂණ සමාගමේම ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරුවකුගෙනි. ඒ රුපියල් තිස් ලක්ෂ හැත්තෑදහසක මුදලක් වංචා කළ බවටය. එකී පැමිණිල්ල කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ලියැවෙන්නේ 2010 වසරේ නොවැම්බර් 08 වෙනිදාය. මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන අරඹන්නේ සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙනි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මේ තැනැත්තාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ද ගත්තේය. එහිදී ඔහුව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටය.

අරුණ කීර්ති නමැති මේ පුද්ගලයාට එරෙහිව එහිදී එල්ල වී තිබුණු චෝදනා ගණන 08කි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනා 08න් 07කටම ඔහු වරදකරු වන්නේ සැකයෙන් තොරව ඒ හැම චෝදනාවක්ම අධිකරණය හමුවේ ඔප්පු වන්නට වූ බැවිනි. ඒ අනුව පසුගිය පෙබරවාරි 08 වෙනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් චෝදනා තුනකට මාස 06 බැඟින් වූ සිරදඬුවම් ද, චෝදනා 04කට අවුරුද්ද බැගින් වූ සිර දඬුවම් ද සමඟ දඩ මුදලක් නියම කරනු ලබන්නේ නඩු විභාගය අවසන් කරමිනි.

මෙහිදී අරුණ කීර්තිගේ නීතිඥවරු ඔහු වෙනුවෙන් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව දැනුම් දෙමින් අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට වගබලා ගත්තේ පහළ උසාවියෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමිනි. ඒ අනුව ඊට සතියකට පසු එම අභියාචනය මුල් කරගෙන අරුණ කීර්තිට ඇප ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පියවර ගන්නේ ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවමිනි.

මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව එදා ඇප ලබාගන්නා අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව මහාධිකරණයට යන්නට තරම් උනන්දුවක් අරුණ කීර්තිට නොවීය. අරුණ කීර්තිගේ නඩුවට අදාළ ගොනුව අධිකරණ ලේඛනාගාරයෙන් අතුරුදන් වන්නේ ද මේ අතරතුරදීය. ඒ බව අධිකරණ ලේඛනාගාරයේ නිලධාරීන් මෙන්ම සේවිකාවන් කියන්නේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියටය. ඒ නඩු අංකය සමඟ අදාළ ගොනුව අස්ථානගතව ඇති බවය.

අධිකරණයක ලේඛනාගාරයක ඇති ගොනුවක් හෝ නඩු භාණ්ඩයක් අස්ථානගත වී ඇතැයි කියන විට වැඩියෙන්ම කලබල විය යුත්තේ රේජිස්ට්‍රාර්වරයාය. ඒ ඇයට හෝ ඔහුට ඒ ගැන ලොකු වගකීමක් ඇති බැවිනි. එහෙත් මෙම ගොනුව අස්ථානගත වීම ගැන ලේඛනාගාර නිලධාරිනියන් පවසන විට ඇය ඊට ප්‍රතිචාර දක්වන්නට වූයේ සැහැල්ලුවටය. ඒ අධිකරණාගාරයක ඇති ගොනු අතුරුදන්වීම අලුත් දෙයක් නොවන ගානටය. ඒ ගැන ලේඛනාගාරයේ නිලධාරිනියන්ට ගෙන දුන්නේ බලවත් කුතූහලයකි. ඒ නිසාම නැවත නැවත ලේඛනාගාරය කණපිට පෙරළමින් අදාළ ලිපි ගොනුව සොයන්නට ගත්තේ වැරදීමකින් හෝ වෙනත් ගොනුවක් සමඟ මාරුවීමක්වත් වී තිබේදැයි කියා දැන ගැනීමටය.

“මැඩම් අපි දෙතුන් පාරක්ම චෙක් කළා. ෆයිල් එක නම් ඇතුළේ නැහැ. මේ ගැන සර්ට කියමු නේද?“ යැයි ලේඛනාගාරයේ නිලධාරිනියෝ රෙජිස්ටාර්වරියට කීවෝය. සර් යැයි ඒ අය කීවේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේටය.

“ඕව කියන්න ඕනේ නැහැ. “ යැයි එහිදී කියන්නේ රෙජිස්ට්‍රාර්වරියයි. ඇය එහිදී නැවතත් එම නිලධාරිනියන්ට කියන්නේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් කියාය.

වැදගත් නඩු ගොනුවක් අස්ථානගතව තිබියදීත් ඒ ගැන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ව දැනුවක් කරන්නට ඉඩ නොදී රෙජිස්ට්‍රාර්වරිය එසේ හැසුරුණේ ඇයි දැයි හෙළි වන්නේ පසුගිය 12 වෙනිදාය. ඒ ඇය විසින් ආගමන විගමන පාලන ජනරාල්වරයාට යැවූ කූට ලේඛනයක් මුල් කරගෙනය.

විදෙස් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීමකට අදාළ නියෝගයක් සම්බන්ධයෙන් වූ එම ලිපිය රෙජිස්ට්‍රාර්වරිය විසින් එදින යතුරු ලියනය කරගනු ලබන්නේ අධිකරණයේ ලඝු ලේඛිකාවක් මඟිනි. වෙනදාට මෙවන් නියෝග යතුරු ලියනය කරනු ලබන්නේ අදාළ නියෝගයට අදාළ ගොනුව තබාගෙනය. ඒ හැම තොරතුරක්ම ඇත්තේ ගොනුවේ වන බැවිනි. එහෙත් මෙම නියෝගයට අදාළ ගොනුවක් ලඝු ලේඛිකාව අතට එදා පත්වූයේ නැත. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ තොරතුරු ඇතුළත්ව රෙජිස්ට්‍රාර්වරිය ඇගේ අත්අකුරින් සකස් කළ කටු සටහනක් පමණි. ඇය එම සටහනේ තොරතුරු ඇතුළත් කරමින් අදාළ නියෝගය ආගමන විගමන පාලක ජනරාල් නමින් යතුරු ලියනය කළ පසු රෙජිස්ට්‍රාර්වරිය එය ආගමන විගමන පාලකවරයාට යොමු කරනු ලබන්නේ ෆැක්ස් පිටපතක් ලෙසිනි.

අනතුරුව ඇය විසින් යතුරු ලියනය කළ එම නියෝගයත් කටු සටහනත් ඉරා ඇගේ මේසය අසල ඇති කසළ බඳුනට දමන්නේ ලඝු ලේඛිකාවට යම් සැකයක් ඇති කරවමිනි. ඒ ආගමන විගමන පාලන ජනරාල්වරයාට යොමු කරන මෙවන් නියෝග අදාළ ගොනුවේ ඇමුණුමක් ලෙස තිබිය යුතු වූවත් රෙජිස්ට්‍රාර්වරිය එය ඉරා කසළ බඳුනට විසි කර දැමීම ගැනය. ඒ නිසාම ලඝු ලේඛිකාව රෙජිස්ට්‍රාර්වරිය ඇගේ මේසය අසලෙන් එහා මෙහා යන තෙක් බලා සිට කසළ බඳුනට ඉරා දැමූ ආගමන විගමන පාලකට යොමු කළ නියෝගයේ කොටස් අතට ගෙන එය රැගෙන යන්නේ ලේඛනාගාරය වෙතය. ඒ ආගමන විගමන පාලක ජනරාල්වරයාට යොමු කළ ඒ නියෝගයට අදාළ ගොනුව කුමක්දැයි දැන ගන්නටය. ඒ සඳහා ඇයට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වන්නේ ලේඛනාගාරයේ ඒ වන විට සේවයේ සිටි නිලධාරිනියන්ය. ඒ අය ලේඛනාගාරයේ නඩු පොත් එකින් එක පරීක්ෂා කර බැලූහ. එහිදී පෙනී යන්නේ මේ නියෝගය ලබා දී ඇත්තේ ඒ වන විටත් අස්ථානගතව ඇති ගොනුවකට අදාළව බවය. ගොනුවක් නොමැතිව නියෝගයක් නිකුත් නොකරන බව එම නිලධාරිනියෝ හොඳාකාරවම දැන සිටියහ.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඒ වන විටත් අරුණ කීර්තිට ලබා දී ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරමින් නියෝගයක් නිකුත් කර නොමැති බව පවා ලේඛනාගාරයේ නිලධාරිනියෝ දැන සිටියහ. ඒ ගොනුව බොහෝ කලක සිට අස්ථානගතව තිබුණු බැවින් සහ එම ගොනුව අස්ථානගත වූ දින සිට ඒ දක්වා කිසිදු නඩු වාරයක් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග නොවූ බැවිනි.

ඒ අනුව ලේඛනාගාරයේ නිලධාරිනියන්ටත් ලඝු ලේඛිකාවටත් පෙනී යන්නට වූයේ රෙජිස්ට්‍රාර්වරිය ලොකු හොර වැඩක් ඒ වන විටත් කර ඇති බවය. ගොනුව අස්ථානගතව ඇති බව කියන විට ඇය කලබලයක් නොමැතිව සැහැල්ලුවෙන් සිටීමට හේතුව කුමක්දැයි ඒ අයට පවා දැනෙන්නට ගන්නට ඇත්තේ ඒත් එක්කම විය හැකිය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ ජනප්‍රිය චරිතයක් මෙන්ම කාටත් හිතවත්ව සිටින චරිතයක් වූ ඇය එසේ හැසිරුණේ ඇයිදැයි හැමෝටම ඒ වන විට ගෙන දුන්නේ ලොකු ගැටලුවකි. ඔය අතරතුර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයකුගේ කනට ද මේ ගැන ගොස් තිබුණේය. ඔහු නඩු කටයුතු සඳහා නිතර අධිකරණයට එන යන නිලධාරියෙකි.

“මැඩම්, අරුණ කීර්තිගේ විදෙස් ගමන් තහනම තිළිණ සර් ඉවත් කරල නියෝගයක් දීල නැහැ නේද? ඒ වුණාට ආගමන විගමන පාලකට නියෝගයක් ගිහින් තියෙනවා. පොඩ්ඩක් හොයල බලන්න වැරදිලාවත් ගියා ද දන්නේ නැහැ“ යැයි කියා සැරයන්වරයා අමුතු ගේමක් එහිදී ගැසුවේය. ඒ ඇයව කලබල කර ඇත්ත එළියට ගැනීමේ අරමුණ ඇතිව විය හැකිය.

එයින් රෙජිස්ට්‍රාර්වරිය හොඳටෝම කලබල වන්නේ අධිකරණයේ සෙසු නිලධාරීන් මේ ගැන දැන සිටින බවක් නොදැනය. ඇය සිතන්නට ඇත්තේ සැරයන්වරයා අහම්බෙන් එම නියෝගය ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැන ගෙන ඇතැයි කියා විය හැකිය.

ඒ නිසාම ඔහුව බැලන්ස් කරන්නට සිතාගෙන ඇය දුරකතන ඇමතුම් කිහිපයක්ම සැරයන්වරයාට ගත්තාය.

“වැරදිලා ගිහිල්ල වෙන්න පුළුවන්. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. “ ඇය සැරයන්වරයාට එහිදී කියන්නට වූවාය.

මේ හැමදෙයක් ගැනම ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ කන වැකෙන්නට වැඩි කාලයක් ගතවන්නේ නැත. 13 වෙනිදා වන විට මේ හැමදෙයක් ගැනම විමර්ශන පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ ඒ අනුවය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කසල කූඩයේ දමා තිබුණු ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපියේත් එහි කෙටුම්පතේත් ඉරා දැමූ කඩදාසි කොටස් සිය භාරයට ගත්තේය. අනතුරුව රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගනු ලබන්නේ කූට ලේඛනයක් සකස් කිරීමේ චෝදනාවටය. එහිදී ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ අරුණ කීර්තිට ඇප ලබාදෙමින් විදෙස් ගමන් තහනමක් ලබා දුන් පෙබරවාරි 15 වනිදාම රෙජිස්ට්‍රාර්වරිය විසින් ඊට අදාළ නඩු ගොනුව ටියුලින් බෑගයක දමා ඔහුට ලබාදී ඇති බවය. ඒ වෙනුවට ඇයට ඔහුගෙන් ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් පමණි.

අරුණ කීර්තිට පනවා ඇති විදෙස් තහනම ඉවත් කර ඇතැයි සඳහන් කරමින් ඇය විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට කූට ලේඛනයක් පසුගිය 12 වෙනිදා යොමු කළ ද මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ සැප්තැම්බර් 14 වෙනිදා ද ඔහු මෙවැනිම ව්‍යාජ ලේඛනයක සහයෙන් විදෙස්ගතව නැවත පැමිණ ඇති බවය. ඒ ගැන මේ වන විට ඇත්තේ විමර්ශන තත්ත්වයේය. මෙවර ඔහු සූදානම් වී ඇත්තේ ගේ දොර පවා විකුණා දමා නැවත නොඑන්නම රටකට පැන ගන්නට බවට වූ සැකයක් ද මේ වන විට මතුවී හමාරය. ඒ තමාට අධිකරණයෙන් ගැලවිල්ලක් නොමැති බව ඔහු දන්නා බැවිනි. රෙජිස්ට්‍රාර්වරියව ඔහු ඒ සඳහා අල්ලා ගෙන තිබුණේ මුදල් බලයෙන්ම නොව, ඊට එහා ගිය හිතවත්කමක් ද තිබී ඇතැයි සැකයක් ද මේ වන විට මතුවී තිබේ. නැතිනම් ඇය රුපියල් ලක්ෂයක් වැනි මුදලකට මෙවන් නඩු ගොනුවක් පන්නාවි දැයි ඇත්තේ තදබල සැකයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇයට එම ලක්ෂයක මුදලට අමතරව ඔහු විසින් විටෙන් විට තවත් මුදල් ලබාදී ඇති බවය. ඒ ගැන පවා තවමත් ඇත්තේ විමර්ශන තත්ත්වයේය.

මෙහිදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තු නිලධාරීන් අරුණ කිර්තිව ද අත්අඩංගුවට ගත්තේය. ඒ නඩු ගොනුව ඔහු අතට පත් කළේ යැයි රෙජිස්ට්‍රාර්වරිය කියන්නට වූ බැවිනි. අරුණ කීර්ති එය කිසිවිටකත් ප්‍රතික්ෂේප කළේ නැත. ඇය එම ගොනුව තමා අතට දුන් බව පිළිගන්නේය. ඇප ලබා එළියට පැමිණි විට තමා අතට අධිකරණය ඉදිරිපිටදී පත්වුණු එම ගොනුව රැගෙන කැලණි පාලම මතට ගොස් කැලණි ගඟට එය විසි කර දැමූ බව ඔහු කියන්නේය. එහි ඇත්ත නැත්ත දන්නේ ඔහු පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් ඔහු ඒ කියන කතාව එකවර විශ්වාස කරන්නට තවමත් සූදානම් නැත. එබැවින් තවදුරටත් එම ගොනුව සොයා කරන විමර්ශන හමාර කර නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශනයේදී සොයාගෙන ඇති ආකාරයට අනුව නඩු ගොනුව අරුණ කිර්තිට ලබා දුන් දිනයේ ඔහු සමඟ ඇය සවස 3.53 සිට 4.33දක්වා මිනිත්තු 40ක කාලයක් දුරකතනයේ කතාබහක නිරතව සිට ඇති බවය. එම කතාබහ එතැනින් හමාර වන්නේ නැත. එය දුරදිග ගිය කතාබහක් බවට පෙරළී ඇති බවට සාධක ද මේ වන විට මතු වෙමින් ඇති බව කියැවෙති.

මේ තත්ත්වය මත විනිසුරු තිළිණ ගමගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ නිලධාරිනියටන්ට දැනුම් දී ඇත්තේ මෙවන් තවත් නඩු ලේඛන සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ දැ යි යම් සොයා බැලීමක් කරන ලෙසය. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කර ඇති විදෙස් ගමන් තහනම් ඉවත් කිරීම්වලට අදාළ නියෝග ලේඛන ගැන විශේෂ අවධානයක් ද යොමු කරමිනි. ඒ අනුව දැන් එම කටයුත්ත සිදු වෙමින් පවතිනුයේ වරදක් දුටු තැන සිය නිලධාරීන්ට පවා ක්‍රියාත්මක වෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සෙසු අධිකරණවලට ද ආදර්ශයක් ලබා දෙමිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division