by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ
පොතින් පොතට ඉගිළී යමි හරි සැහැල්ලුවේ
තාත්තගේ කොටු කමිසය උඩ සාක්කුවේ
බර අඩු වෙනවා දැක්කම ඇති කියා සිතේ

ගීතය සිසුහු තාලයකට වේදිකාවේ ගැයූහ. විපුලි සොයුරිය ගෙල මඳක් ඇල කරගෙන මඳ සිනාවකින් යුතුව එය ශ්‍රවණය කළ අයුරු එක් වරක් දෙවරක් නොව විවිධ පාසල් වැඩසටහන්වලදී මම දැක ඇත්තෙමි. හතරවැනි ශ්‍රේණිය සිංහල පෙළ පොතේ ඇය ලියූ පොත් කුරුල්ලා ගීතය දරුවන්ට සමීප ගීතයක් විය. ඒ විපුලි සොයුරියගේ බසෙහි අරුමැසිය නිසාය. ඇය ලියන්නේ හද බසෙනි. ඒ හද බසට පුංචි ළමුන් පමණක් නොව වැඩිහිටි අපි ද ඇලුම් කරමු.

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි මිනිස් සිතේ ළමා කල නැඟෙන චමත්කාරජනක අපූරු සිතිවිලි සමඟ ජීවත් වූ සොඳුරු සිතැත්තියකි. ඇය පවසන අන්දමට තමන් කුඩා අවදියේ ඉතා නිහඬ දැරියකි. ඒ නිහඬ සිත පරිසරයට සංවේදී විය. කුඩා අවදියේ පටන් ඇය ඒ සංවේදීතාව චිත්‍රවලින් ප්‍රකාශ කිරීම සිදු කළාය. විපුලි සොයුරිය දැරියක්ව සිටියදී කියැවීමට ලැබෙන පොත පත වැඩි විය.

විශේෂයෙන් ඉංග්‍රීසි බසින් ලියැවුණු ළමා පොත් සහ රුසියානු ළමා කතන්දර පොත්පත් කියැවීමට ඇය දැඩි රුචියක් දැක්වූවාය. මේවායේ ඇති කවිවල රිද්මයට ඇය ඇලුම් කළාය. ඒ කවි ගායනා කළාය. ආච්චි අම්මා, තාත්තා කියා දුන් ජන කවිත් කුඩා විපුලි පාඩම් කර ගත්තාය. මේ හැම රිද්මයකටම ඇය ඉතා ආශාවෙන් ඇහුම්කන් දුන්නාය. ඒ ළමා සිතට මනරම් කවිකම් පිහිටීමේ පසුබිම මේ අයුරින් නිර්මාණය වන්නට ඇත. ඇය කිවිඳියක ලෙස සමාජ ගත වෙන්නේ පැටිවියේ ලද පෙරකී වින්දනාත්මක අත්දැකීම් සමඟිනි.

ඇය 2016 – 2019 වසර දක්වා කාලයේදී ප්‍රාථමික සිංහල පෙළ පොත්වල ලේඛක මණ්ඩල සාමාජිකාවක් ලෙස ඇගේ වගකීම නොපිරිහෙළා ඉටු කළාය.

පාඩම් ලිවීමේදී නිවැරදි බස හසුරුවමින් දරුවන්ගේ භාෂාව පෝෂණය උදෙසා තම දායකත්වය උපරිමයෙන්ම ලබා දුන් ඇය නිවැරදි සමාජ දෘෂ්ටිය දරුවන් වෙත විතැන් කිරීමට අප්‍රමාණ වෙහෙසක් ගත්තාය. ළමුන්ට ගැළපෙන පාඩම් නිර්මාණය කිරීමේදී කර්තෘ මණ්ඩලයේ සිටින සෑම අයෙකුගේම පාඩම් පිළිබඳ ඇගේ අදහස් ඉදිරිපත් කරමින් ඒ ඒ පාඩමේ ගුණාත්මක බව රැකීමට වෙහෙසුණාය.

පරිසරයට ඇලුම් කරන ඇය සියැටල්ගේ ලිපිය අනුසාරයෙන් පාඩමක් ලිවීම ඉතා කැමැත්තෙන් භාර ගත්තාය. ප්‍රාථමික ශ්‍රේණි සඳහා කවි ගී තේරීමේදී ඇගේ උනන්දුව සහ අවධානය වැඩිය. ” තෝරාලා දුන්නොත් තරු ලකුණු ලැබෙන්නේ” තේරවිලි පාඩම ඇය ලස්සනට ලියා දුන්නේ ඇගේ කවි සිත අවදි කරමිනි.

ඒ පෙරකී රිද්මය අනුවය. දරුවන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා වූ පාඩම් වෙනුවෙන් ඇය සිය පෑන හසුරුවමින් ” පාර කියන ආත්තම්මා ” සහ සිහින මැවූ සිත්තරාව (සිබිල් වෙත්තසිංහ) අකුරු කළාය. මේ සියලු පාඩම් සංස්කරණ කටයුතුවල ඇගේ මැදිහත්වීම පාඩම්වල ගුණාත්මක බව සුරැකීමටය.

ළමා සාහිත්‍ය නිර්මාණකරණයට පිවිසෙමින් ඇය රන් කුඹලා, ඩිංගාට පාඩමක්, සමනල තටුවක නැඟලා, මුතූගේ ලෝකය, සීයා හරිම ආදරේලු, සතුටු කෝච්චිය සහ සීතල පුංචා යන ළමා පොත් දරුවන්ගේ ලෝකයට තිළිණ කළාය.

2005 වසරේ ඇය ලියූ සමනල තටුවක නැඟලා කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. පසුගිය වසරේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන සහ උපදේශක මණ්ඩලයෙන් ක්‍රියාත්මක වු “සමාජ චිත්තවේග” පිළිබඳ ළමා කතන්දර එකතුවට ඇගේ දායකත්වය සපයමින් කතන්දර රචනා කළාය. ඇගේ හද බසින් ලියැවුණු එහෙත් ප්‍රකාශයට පත් නොවුණු “සොබා” ළමා කවි පොතේ “ගසක් කතා කරයි” කවි පන්තිය ඇගේ පරිසර සංවේදී බව මොනවට පැහැදිලි කරයි.

කොළ පාටින් හැඩ වෙමී
කොළ දලු ලා හිනැහෙමී
අතු අත මල් පුබුදමී
ඒ මහ ගස මම වෙමී

මහ ලොකු හුස්මක් වෙමී
කුරුලු පැටව් සනසමී
සිසිල සෙවණ සලසමී
ජීවිතයම දන්දෙමී

එක්දහස් නවසිය හැට අටේ අප්‍රේල් මස 4 දින උපන් විපුලි සිය පවුලේ එකම දරුවා විය.

කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිධාරිනියකි.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තාය. වෘත්තියෙන් ගුරුවරියක වූ විපුලි වත්තල ලයිසියම් විද්‍යාලයේ සේවය කළාය.

තරුණි පුවත්පතින් සිය කවි දිවිය ඇරඹි ඇය කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම එළිදැක්වීය. ඒ අතර නික්මනට නිමිත්තක්, සකුන්තලාවගෙන් චූල කාව්‍යයක්, සැන්දෑ ආදි කෘති වේ.

සොබාදහමේ පංගුකාරියක් ලෙස විපුලි සොයුරිය ද මහ ගසක්ව හිඳ ජීවිතයම දන් දුන්නේ ඇයට තේරුම් ඇතිවියේ සිට අපෙන් සමුගත් දින දක්වා ඇගෙන් විය යුතු යුතුකම සහ වගකීම නොපිරිහෙලා ඉටුකරමිනි.

තනුජා එන්. අයගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division