Home » ගෙදරට කියලා තියෙන්නේ රැප් කරන්නේ ඔයාලගේ පුතා නෙමෙයි ඒකා ෂාන් පුතා කියන ආරූඪයක්

ගෙදරට කියලා තියෙන්නේ රැප් කරන්නේ ඔයාලගේ පුතා නෙමෙයි ඒකා ෂාන් පුතා කියන ආරූඪයක්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

අනේ අනිච්චං සංසාරේ” මේ දවස්වල යූටියුබ් අවකාශයේ අතිශයින්ම ජනප්‍රිය සඳමාලී ගීතයේ කොටසක් තමයි ඒ. එහි නිර්මාණකරුවා වන්නේ ෂාන් පුතා. අමුතු ආකාරයේ ශෛලියකින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ ෂාන් පුතා සමඟයි මෙවර කතාබහ.

ෂාන් පුතා කියන්නේ ඔබේ ඇත්ත නම නෙමෙයි නේද?

මගේ ඇත්ත නම අමිල කෞෂාන් ගුණරත්න. මම අමිල කියන නම භාවිතා කළේම නෑ. මට ගමේ යාළුවෝ කතා කරන්නේ ටුටූ කියලා. ගමෙන් පිට අය කතා කළේ කෞෂාන්, ෂානා කියලා. රත්නපුරේ ඉන්නවා මගේ යාළුවෝ ටිකක්. එයාලා කතා කළේ ෂාන් පුතේ කියලා. මේ හැමදේම වුණේ මම මේ ක්ෂේත්‍රයට ඉන්න කලින්. ඒ කියන්නේ 2015 විතර. 2019 දී තමයි මම මගේම කියලා චැනල් එකක් හදලා ෆීල්ඩ් එකට එන්නේ. එතකොට මට නමක් ඕනේ වුණා. මං කියන්නේ සිංහල රැප් නිසා නමත් සිංහල වෙන්න ඕනෙ නේ. ඉංග්‍රීසි නමක් දාන්න බෑනේ. ඒ නිසා මම යාළුවෝ කිව්ව ෂාන් පුතා කියලා නමක් දාගත්තා.

කොහොමද මේ රැප් ශෛලිය පුරුදු වුණේ?

පොඩි කාලේ ඉඳන්ම මේ රැප් ශෛලිය මගේ ඇගේ තිබුණා.ඒ දවස්වල වැඩිපුරම ඇහුවේ අයිකොන් ගේ සිංදු. ඊට පස්සේ ඉරාජ් අයියලාගේ සිංදු යනවා, කයිසර් අයියලා රැප් කරනවා දකිනවා. ෆිල්ටි ගේ රැප් යනවා. මටත් දැන් ආසයි මේක කරන්න.නමුත් මට කරන්න තෙරෙන්නේ නෑ. මේවා ඉගෙන ගන්න කොහේවත් ක්ලාස් නෑ. මම කළේ ඉරාජ් අයියලා කිව්ව සිංදු, රැප් අරගෙන ලියලා බැලුවා. කොහොමද වචන ගලපන්නේ, සෙට් වෙන්නේ, රයිම් කරන්නේ කියලා. එතකොට තමයි මට වැඩේ අහුවුණේ. එතැන ඉඳන් මම දිගටම ලියන්න පටන් ගත්තා. මම තාමත් ඉගෙන ගන්නවා. ඉගෙනීමට වයසක් , සීමාවක් නෑ.

ඊට පස්සේ කොහොමද රැප් කියන්න පටන් ගත්තේ?

2019 තමයි ෂාන් පුතා ඉපදෙන වසර. ඊට කලින් මම සිංදු 2ක් විතර කරලා යූටියුබ් එකට දැම්මා. ඒවා එච්චර ජනප්‍රිය වුණේ නෑ. මට හිතුණා හිට් එකක් වෙන්න නම් අනිවාර්‍යෙන්ම වෙනසක් කරන්න ඔනේ කියලා. මම කරපු රැප් එකක් තිබුණා සමරු පොතේ පිටු ගැලවී දුවන්නේ හුළඟේ කියලා. මම ඒකට පොඩි ගීත කෑල්ලක් එකතු කළා “හඳපානේ ගණ අඳුරේ …අත් පටලා යමු ආයේ” කියාලා. ඒක ෆෝන් එකෙන් රෙකොඩ් කරලා ෆේස් බුක් දැම්මා. ඒක තමයි හිට් එකක් වුණේ. ඊට පස්සේ මට හිතුණා මගේම ගමනක් මම යන්න ඕනේ කියලා.

ඔබේ තොරතුරු ටිකක්,පවුලේ විස්තර ටිකක්.

මගේ ගම දික්වැල්ල. මුලින්ම ඉස්කෝලේ ගියේ දික්වැල්ල විජිත සෙන්ට්‍රල් එකට. ඊට පස්සේ මම වීරකැටියට යනවා. ඒ මගේ අම්මගේ ගම. තාත්තා විශ්‍රාමික රජයේ සේවකයෙක්. ඔහු වැඩ කළේ සී.ටී.බී එකේ. අම්මා ගෘහිණියක්. ඒ වගේම මගේ දයාබර බිරිඳ ගයංගනී ඉන්නවා. වැදගත්ම දේ තමයි මම පවුල කියන්නේ ගෙදර ඉන්න අයට විතරක් නෙමෙයි. අපේ අහල පහළ ඉන්න නෑයෝ සේරම. ඒ විදිහට තමයි පොඩි කාලේ ඉඳන්ම අපිව මවුපියන් පුරුදු කළේ. එහෙම බැලුවාම මට ඉන්නවා අයියලා මල්ලිලා 14ක් විතර. අක්කලා නංගිලා 10 විතර. ඒ හැමෝම මට උපරිම සහය දෙනවා මගේ වැඩකටයුතු වලට. ඒක ලොකු ශක්තියක් මට. මේ වෙනකනුත් මට ලොකුම සපොට් එක තියෙන්නේ මගේ පවුලෙන්.

මේ රැප්වල රචකයා ඔබමයි. ඒක රැප් ගායකයෙකු වෙන්න අවශ්‍යම දෙයක්ද ?

රැප් කෙනෙක් කියන්නේ සමාන්‍ය සිංදු කියන කෙනෙක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් ගායකයෙක් ගේ පුතෙක් ගායකයෙක් වෙන්න පුළුවන්. නමුත් රැප් ගායකයෙක් ගේ පුතෙක් හෝ දුවෙක් එහෙම වෙන්නේ නෑ. ඒක තමන්ම හදාගන්න ඕනේ ශෛලියක්. මට වෙන කෙනෙක්ගේ රැප් එකක් කියන්න බෑ. සමහර අය ඉන්නවා පිටරට ආටිස්ලා ෆලෝ කරන. නමුත් ඒක පවතින්නේ නෑ. මුලින්ම තමන්ගේ ශෛලිය හොයා ගන්න ඕනේ. ඊට ගැලපෙන විදිහට වචන ටික තමන්ම හදා ගන්න ඕනේ. අත්දැකීම්, සමාජ ආශ්‍රය, ලෝකය ගැන දැනුවත්කමක් තියෙන්න ඕනේ.

ඔබට ලැබෙන රසික ආදරය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මට හරිම සතුටුයි.කොල්ලෝ කෙල්ලෝ කොයි තැනක දැක්කත් ඇවිත් කතා කරනවා.මම මොන වැඩේ තිබුණත් එයාලට මුල් තැන දෙනවා. එයාලා නිසා තමයි ෂාන් පුතා ඉන්නේ.

සඳමාලී ගීතය නිර්මාණය වුණේ කොහොමද?

ඔය සිංදුවේ පාට් දෙකක් තියනවා නේ. ඒකේ පළමු කොටස ලියන්නේ මම. ඒ 2017 අවුරුද්දෙදී. අනිත් කොටස ලියන්නේ සිංදුව හදද්දී. පළමු කොටසේ තියනවා වචන ටිකක් ” මාව තරුවක් කරලා , පොළවට එවලා ” කියලා. පත්තරයක තමයි ඒ වචන ටික තිබුණේ. ලියලා තිබුණේ කුරුළු නිස්කලංක අයියා පත්තරයකට ලියලා තිබුණ වචන ටිකක් තමයි ගීතයක් වුණේ. සඳමාලි මේ වෙනකොට ෆෝටි ෆයිව්වල, ඇපල් මියුසික්වල, යූටියුබ්වල අංක 1 වුණා. ඒක ආඩම්බරයක් මට.

කවුද මේ ගීතවල රූප රචනා සහ සංගීතය සංයෝජනය කරන්නේ?

මේ සියලුම විඩියෝවල අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය මගේ. කැමරාකරණය හසිදු ඩී සිල්වා. ඕඩියෝ සයිඩ් එක සම්පූර්ණයෙන්ම බලන්නේ ඩිලු බීට්ස්ලා. අවසානයේ ඔයාලා දකින ලස්සන නිර්මාණය ඇතුළේ තියෙන්නේ මේ අයගේ උත්සහාය සහ කැපවීම. ඇත්තටම ඒ අය මට ලොකු ශක්තියක්.

මගේ ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මගේ තියෙන්නේ ඉලක්ක. ඒ ඉලක්කවලට මම අනිවාර්යයෙන්ම යනවා. මගේ ලොකුම ආසාව රැප් අාටිස්ලාට සම්මාන උත්සවයක් කිරිම. ඒ වගේම ඉන්දියානු රැප් ගායකයෙක් එක්ක ගායනා කරන්න, ලංකාවෙන් පිට මියුසික්විඩියෝ එකක් කරන්න වගේ ඉලක්කත් තියනවා.

රැප් කියලා ගෙදරින් නෑයන්ගෙන් බැනුම් අහලා නැද්ද?

මම එයාලට කියලා තියනවා රැප් කරන්නේ ඔයාලගේ සුරතල් පුතා නෙමෙයි.ඒකා ෂාන් පුතා කියන ආරූඪයක්.ඒ නිසා ඒ දේවල් දිහා.නිර්මාණයක් විදිහට බලන්න කියලා. අපේ අම්මා වුණත් ඒක තෙරුම් අරන් ඉන්නේ.

ඔබේ ප්‍රේක්ෂකයන් ට මොනවද කියන්න තියෙන්නේ?

මගේ ගායන දිවිය තුළ අංක එක ප්‍රේක්ෂකයන් සහ රසිකයන්.එයාලගෙන් එහා මට කිසිම දෙයක් ලොකු නෑ.අඩුම තරමේ මට මාවවත් ලොකු නෑ මගේ ඕඩියන්ස් එක ඉස්සරහා. මට එයාලට කියන්න තියෙන්නේ මගේ සිංදුවලින් ගන්න පුළුවන් දෙයක් තියනවා නම් ඒක ගන්න. මගේ වැරැද්දක් අඩුපාඩුවක් තියනවා නම් මට මැසෙජ් එකක් දාලා කියන්න. ඒ ආදරයට මම හැමදාම ආදරෙයි.

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division