Home » තවත් කසාදයක් බඳින්න කිසිම අදහසක් නෑ

තවත් කසාදයක් බඳින්න කිසිම අදහසක් නෑ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– නිර්මාණ හරහා කිසිම වෙලාවක ප්‍රේක්ෂකයින්ව ගොනාට අන්දවන්නේ නැහැ
– දරුවෝ දෙන්නයි කලාවයි තමයි මගේ ජීවිතය
– ඒ වෙන චන්න පෙරේරා කෙනෙක්

සත්පුරවැසියෝ, එක ගෙයි කුරුල්ලෝ, දිය සුළිය, සක්වා ලිහිණියෝ, සූරිය දරුවෝ වැනි ටෙලි නාට්‍ය රැසක ද සුජාතා, ගිනි අවි සහ ගිනි කෙළි, තීර්ථ යාත්‍රා, සීතල ගිනි කඳු, මිල්ලසොයා වැනි චිත්‍රපට රැසක ද රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනූ චන්න පෙරේරා 2006 වර්ෂයේදී සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස කලඑළි බසින්නේ සිය අංජලිකා චිත්‍රපටයෙනි. ඉන් පසු කල්පාන්තේ සිහිනයක්, එකයි දෙකයි තුනයි නම් සිනමාපට සිය අධ්‍යක්ෂණයෙන් එළිදක්වමින් යුගාත්‍රා දක්වා පැමිණුණි. පුංචි වීරයෝ අධ්‍යක්ෂණයෙන් හොඳ ම නිර්මාණාත්මක අධ්‍යක්ෂවර‍යා ලෙස සම්මාන දිනූ චන්න පෙරේරා 2001 වර්ෂයේ සිට අඛණ්ඩ ව වසර තුනක් අතිශය ජනප්‍රිය නළුවා බවට පත් විය. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ අංජලිකා චිත්‍රපටය සඳහා 2009 වසරේදි හොඳ ම අධ්‍යක්ෂණය උදෙසා සම්මාන හිමි වුණි. මෑතකදී තිරගත වූ ඔහුගේ යුගාත්‍රා චිත්‍රපටය සඳහා ඇත්තේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයි.

ඔබගේ යුගාත්‍රා චිත්‍රපටය බොහෝ අයට නරඹන්න බැරි වුණා කියා මැසිවිලි තිබෙනවා නේද…?

යුගාත්‍රා චිත්‍රපටය ප්‍රදර්ශනය වුණු මාසය ඇතුළත ලංකාවේ චිත්‍රපට හතරක් එළියට ආවා. මාසය‍කට එක චිත්‍රපටයක් වගේ තමයි මිනිස්සු බලන්නේ. එකක් ඉවර වෙන්න එකක් චිත්‍රපට එළියට ආවාම ලංකාවේ මිනිස්සුන්ට ඒක දරා ගන්න අමාරුයි. එක මාසයක් ඇතුළත චිත්‍රපට හතරක් බලන්න තරම් ආර්ථික හයියක් මිනිස්සුන්ට නැහැ. මේ නිසා බොහෝ අයට මේ චිත්‍රපට මඟහැරුණා. බලපු හැමකෙනාම යුගාත්‍රා අගය කළා. ඒ ගැන සතුටුයි.

මිනිස් සමාජයේ යථාර්ථවාදී කර්කශ ගැඹුර ඔබගේ නිර්මාණවලදී ආදරය, සිහින, සෞන්දර්ය, විචිත්‍රත්වය සහිත ව ප්‍රේක්ෂකයින්ට ඔබ හැම විට ම ලබා දෙන්නේ ඇයි…?

ගොඩාක් මහන්සියෙන් උපයන මුදල් වියදම් කරලා කාර්ය බහුල ජීවිතයෙන් මදකට අත්මිදිලා අපේ රටේ මිනිස්සු චිත්‍රපටයක් නරඹන්න එන්නේ මගේ නිර්මාණ කෙරෙහි යම් විශ්වාසයක් සහ කැමැත්තක් ඇති නිසයි. ඒ අයට උසස් රසවින්දනයක් ලබා දෙමින් ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා විතැන් කිරීම නිර්මාණකරුවෙකු හැටියට මගේ යුතුකමයි. මිනිස් සමාජයේ යථාර්ථවාදී කර්කශ ගැඹුර නිර්මාණය හරහා

මිනිස්භාවයන් කුපිත කරවීමට වඩා සෞන්දර්යාත්මක විචිත්‍රත්වයක් සහිත ව හෘදයාංගම අත්දැකීම් නිර්මාණාත්මක ව හා උසස් රසවින්දනයක් සහිතව ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න මම හැම විටම උත්සාහ කරන්නේ ඒ නිසයි. අපට නිෂ්පාදනය පැත්තෙන් මොනතරම් බාධක ගැටලු තිබුණත් නිර්මාණකරුවෙකුටවත්, නිර්මාණ නරඹන අයටවත් ඒවා අදාළ වෙන්නේ නැහැ. මගේ නිර්මාණ හරහා කිසි ම වෙලාවක මම ප්‍රේක්ෂකයින්ව ගොනාට අන්දවන්නේ නැහැ. මේ නිසා මගේ නිර්මාණත් එක්ක බැඳුණු පිරිසක් ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන් ම මගේ නිර්මාණ නරඹනවා. චිත්‍රපට සංඛ්‍යාව වැඩි කර ගන්නවාට වඩා විවිධත්වයක්, වෙනස් විදිහේ අත්දැකීම් සහිත ව උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයින්ට ලබා දීම මගේ උත්සාහය. මගේ චිත්‍රපටවල පිටපත මමම ලියන්නේත් ඒ නිසා යි. පිටපතක් ලියන්න මට ලොකු කාලයක් ගත වෙනවා. ඒ මම හොඳ දෙයක් දෙන්න උපරිම උත්සාහ කරන නිසා යි. මගේ උත්සාහය සාර්ථක බව ලැබෙන ප්‍රතිචාරවලින් තහවුරු වෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගන්න ඔබේ නිර්මාණ පාවිච්චි කරන්නේ මොන ආකාරයෙන්ද….?

අපේ නිර්මාණයක අපේකම, අපේ අත්දැකීම්, අපේ අනන්‍යතාව තිබිය යුතුයි. ඉන්දියාවේ චිත්‍රපටවල ඔවුන්ගේ අනන්‍යතාව පැහැදිලි ව පේන්න තියෙනවා. තෙළිඟු, මලයාලම්, හින්දි මේ ඕනෑ ම සිනමාවක ඒ අනන්‍යතාව තියෙනවා. අපේ වාණිජ සිනමාව, අපේ ආකර්ෂණීය සිනමාව තුළ අපේ අනන්‍යතාව, අපේ අත්දැකීම්, අපේ සෞන්දර්ය, අපේ සංස්කෘතිය, අපේ ජීවන රටා අන්තර්ගත විය යුතුයි කියා මම විශ්වාස කරනවා. ඒ තුළ අපේ හුරුව තියෙන්න ඕනේ. මගේ නිර්මාණවල ඒ අනන්‍යතාව මම මතු කරනවා. ඒ අනන්‍යතාව සහිත ව අපේ වාණිජ සිනමාව ජාත්‍යන්තර වෙළෙඳ පොළට රැගෙන යාම මගේ උත්සාහය යි. ඒ උත්සාහය මල්ඵල දරමින් තිබෙනවා. ඉන්දියාවේ ලයිකා සිනමා නිෂ්පාදන ආයතනය ඔවුන්ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා මාව තෝරා ගෙන තිබෙනවා. එහි වැඩ නුදුරේදී ආරම්භ කරනවා.

ඔබ පුංචි තිරය අතහැරියා ද…?

නැහැ. දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන්න මගේ එතරම් කැමැත්තක් නැහැ. විශේෂ චරිතයක් මට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

දරු දෙදෙනා සමඟ ගත කරන්න කාලයක් ඔබට තිබෙනවා ද…?

බොහෝ විට මම දරුවෝ දෙන්නා එක්ක සතුටින් ඉන්න සෙනසුරාදා දවස වෙන් කරගෙන ඉන්නවා. ඒ දෙන්නා වෙනුවෙන් වෙන් කරන කාලය මම මොන විදිහකින්වත් වෙන දේකට යොදවන්නේ නැහැ. ඒ දිනය ඒ වෙලාවම කියලා නැති වුණත් සතියකට දවසක් දෙකක්වත් මම ඒ දෙන්නා එක්ක සතුටින් ගත කරනවා. ලොකු දුව විවාහ ගිවිස ගත්තා. එයා උපාධිය අවසන් කරලා ඉංග්‍රීසි දේශකවරියක් ලෙස වැඩ කරන අතරතුර ශාස්ත්‍රපති උපාධිය සඳහා

සූදානම් වෙනවා. පොඩි දුව ළඟදි සාමාන්‍ය පෙළ විභාගය කළා.

දිගට ම තනිකඩ ව ඉන්නවාද..?

ඔව්… ඉතින් මම මේ විදිහට තනිකඩ ව ම ඉන්නවා. මේ ජීවිතය හරිම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. දරුවෝ දෙන්නායි, කලාවයි තමයි මගේ ජීවිතය.

එතකොට සමාජ මාධ්‍යවල කියන කතා මොනවාද…?

මම දන්නේ නැහැ ඒවා කවුරු කොහොම නිර්මාණය කරනවාද කියලා. මම ගැන මම නොදන්න බොහෝ දේ සමාජ මාධ්‍යවල තියෙනවා. මමත් ඒවා දැන ගන්නේ ඒවායින්මයි. කොහොම වුණත් මේ වගේ බොරු දේවල් හදලා දාලා එයාලා සමාජ මාධ්‍යවලින් කීයක් හරි හොයා ගන්නවා ඇතිනේ. මං හින්දා තව කෙනෙක් කනවා බොනවා ජීවත් වෙනවා ඇතිනේ කියලා ඒ දේවල් ගැන මම උපේක්ෂා සහගත ව නිහඬ වෙනවා. එච්චරයි.

සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල ද..?

මම දවසකට පැය හයක් විතර තමයි උපරිම නිදාගන්නේ. අවධියෙන් ඉන්න පැය දහඅටම උපරිම අයුරින් වැඩ කරනවා. නමුත් මම අධික ලෙස කාර්යබහුල වෙන්නත් කැමති නැහැ. නිදහසේ ඇවිදින්න, පොත් කියවන්න, සිංදු අහන්න මම සිකුරාදා දවස වෙන් කරගෙන ඉන්නවා. මම හැමදේකට ම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා. ඒක හරි පහසුයි. එහෙම වුණාම වැඩ අතපසු වෙන්නෙත් නැහැ.

ඔබ නැවත විවාහ වෙන්නද යන්නේ……?

මගේ ජීවිතයට නැවත කසාද බඳින්න හෝ වෙන කිසි ම කෙනෙක් ගැන එවැනි අදහසක්වත් නැහැ. නමුත් අන්තර්ජාලය බැලුවා ම නම් චන්න පෙරේරා ගැන ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. මං හිතන්නේ ඒ මම නෙවෙයි. වෙන චන්න පෙරේරා කෙනෙක් වෙන්න ඇති.

තුෂාරි කලුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division