Home » මං කැමැති වුණේ නෑ ආධුනිකයි කියල පෙන්නන්න

මං කැමැති වුණේ නෑ ආධුනිකයි කියල පෙන්නන්න

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– ලොකුම බලාපොරොත්තුව සම්මානයක් ගන්න එක
– කොණ්ඩෙ කැපුවට පස්සෙ තමයි මට ආරාධනා ගලා එන්න පටන් ගත්තෙ

නිර්මාණකරණයේ විවිධත්වය සොයන අධ්‍යක්ෂවරයකු වන තුෂාර තෙන්නකෝන්ගේ හේල්‍යන්හි විස්මයජනක රංගනයක යෙදෙන දීවාරා ගනේගොඩ බොහෝ දෙනාගේ මතකයේ රැඳෙන්නේ කෙටි හිසකෙස් විලාසිතාව නිසා යැයි කීවත් නිවැරැදිය. එය ඇයට වාසනාව ගෙන දෙමින් මේ වන විටත් ක්ෂේත්‍රය තුළ ඇය බ්‍රෑන්ඩ් එකක් බවට පත්වී ඇත. රංගන ඇරියුම්වලින් අඩුවක් නැතත් ඇයට හිමි ටොම් බෝයි පෙනුමෙන් තවමත් කිසිවකු නිසි ප්‍රයෝජනයක් නොගත් බව පවසන ඇය සාධාරණය වෙනුවෙන් නැඟී සිටින අමාත්‍යවරියකගේ භූමිකාවක නිරතවීමේ ආසාවෙන් පසුවන්නීය.

දීවාරා ගනේගොඩ කියන රංගන ශිල්පිනිය මිනිසුන් හඳුනගන්නෙ හේල්‍යන් නිසා?

මං අවුරුදු 6ක් නර්තන ශිල්පිනියක් විදිහට ඡන්න -උපුලී නර්තනායතනයේ කටයුතු කළා. ඒ දවස්වල මට ලස්සන කොණ්ඩයක් තිබුණා. එතැනින් අයින් වෙලා මං කොණ්ඩෙ කොටටම කැපුවා. වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳල තිබුණත් මට රංගනයට ආරාධනා ලැබෙන්නෙ කොණ්ඩෙ කැපුවට පස්සෙ. මටත් ඕන වුණේ හොඳ අධ්‍යක්ෂවරයකු යටතේ හොඳ නිර්මාණයකින් ක්ෂේත්‍රයට එන්න. මං ආසාවෙන් හිටියෙ රාවණා එකට සම්බන්ධ වෙන්න. ඒකට අයැදුම් කළත් මට අවස්ථාවක් ලැබුණෙ නෑ. තුෂාර සර් ෆේස්බුක් එකේ මගේ ෆොටෝ දැකල හේල්‍යයන් නාට්‍යයට කතා කළා. පළවෙනි දවසෙම ඇඳුම් අන්දල බලලා මාව තෝරගත්තා. එතැනදි සර් මට කිවුවා මේක වර්තමානය සහ අතීතය අතර දෝලනය වන චරිත ද්විත්වයක්. වර්තමාන ජෙනීගේ චරිතයට නම් ඔයාට වෙනස්වෙන්න දෙයක් නෑ. ඔය චරිතෙම තමයි ඉදිරියට ගෙනියන්න තියෙන්නෙ. නමුත් අතීත චරිතය ගෙතෙන්නේ යම්කිසි බලයක් තියෙන රණහංස වාංශිකයෙක් වටා. යකඩ ඇඳුම් ඇඳගෙන, පලිහත් අරගෙන, ගස්ගල් උඩින් පනිමින්, පිරිමින් සමඟ කරට කර සටන් කරමින් යන අතරේ ඒ බලය පාවිච්චි කරන විදිහත් ඉගෙන ගන්න ඕන කියලා. රණහංස ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා. ප්‍රධාන භූමිකා නිසා බාරගනිද්දි මටත් දෙගිඩියාවක් තිබුණා මගේ පළමු අත්දැකීම ප්‍රේක්ෂකයන් මොන විදිහට බාරගනීද කියලා. කණ්ඩායමේ අනිත් අය රාවණා එක්ක අත්දැකීම් ලබල තිබුණත් මං කිසිදෙයක් දැනන් හිටියෙ නෑ. තුෂාර සර් නිසා ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන් වුණා. හවස 5.55 බෙල්ට් එකේ විකාශය වුණු නිසා වැඩිපුරම පොඩි දරුවන් අතරේ ජනප්‍රිය වෙලා තිබුණා.

තරුණියක් විදිහට පිරිමිත් එක්ක සටන් කරද්දි අපහසුතාවට ලක්වෙන්න ඇති?

ඔව් ඔව්, මේ තාමත් අතේ කැලලක් තියෙනවා. වැටීම් සීරිම් අපමණයි. මේක මගේ පළමු අත්දැකීම නිසා මං කැමති වුණේ නෑ මං ආධුනිකයි කියලා පෙන්නන්න.

කොහොමහරි දීවාරට වාසනාව ගෙනාවෙ කපපු කොණ්ඩෙ නේද?  

කොණ්ඩෙ කැපීම පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා. මට අවුරුදු 4දි තමයි කිසිම ලෙඩක් දුකක් නැතිව කාටවත්ම කරදරයක් නැතුව හිටපු මගේ තාත්ත මට නැතිවෙන්නෙ. දැනුම් තේරුම් ඇති වයසෙදි මං තීරණය කළා එයාට පිනක් වෙන්න ලස්සනට තියෙන මගෙ කොණ්ඩෙ පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න. ඒ 2019දි. එදාම මං තීරණය කළා ආයෙ කවදාවත් කොණ්ඩෙ වවන්නෑ කියලා.

බොහෝ දෙනාට රංගනයට අවස්ථාව ලැබෙන්නෙ ලස්සන කොණ්ඩයක් හිමි රූ රැජනක් වීමෙන්. ඔබට ඒ අවස්ථාව ගෙනාවෙ කෙටි කොණ්ඩය?

ඒක ඇත්ත. ඉස්සර මට ලස්සන කොණ්ඩයක් තිබිලත් අවස්ථාවක් ලැබුණෙ නෑ. කොණ්ඩෙ කැපුවට පස්සෙ තමයි මට ආරාධනා ගලා එන්න පටන් ගත්තෙ. හැමෝම කියන්නෙ ඔයාගෙ මේ පෙනුම තමයි අපිට ඕන කියලා.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගන ශිල්පිනියක් වෙන්නත් කලින් ?

මං මුලින්ම ටීවී කොමර්ෂල්ස්වලින් තමයි ජනතාව අතරට ගියේ. කොණ්ඩෙ කැපුවට පස්සෙ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පැත්තට යොමු වුණා. මොඩ්ල් කෙනෙක් විදිහට දාපු ෆොටෝ ෂූට් දැකලා තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. අපේ අම්මට ලොකු වුවමනාවක් තිබුණා මාව කලාව පැත්තට යොමු කරවන්න.

ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?

චමිල් පතිරණගේ අලුත් ටෙලි නිර්මාණය වන සිටුවර පුවතට සම්බන්ධ වෙලා මේ දිනවල ෂූටින් කරගෙන යනවා. ඒකෙ සිතාරා කියන චරිතයත් ගොඩක් සෝෂල් චරිතයක්. ඒකෙ ප්‍රවීණයන් ගොඩක් එක්ක කටයුතු කරන්න ලැබුණා. ඒකත් ඉක්මනින්ම දකින්න ලැබේවි. ඒ වගේම හෙර්ලියන් -2 එකේ ෂූටින් ඉක්මනින්ම පටන් ගනීවි. තවත් නිර්මාණ කීපයකටම ආරාධනා ලැබිල තියෙනවා. ඒ අතරේ චාමර ජනරාජ්ගේ අලුත්ම ෆිල්ම් එකකටත් ආරාධනා ලැබුණා. වෙනස් විදිහේ මියුසික් වීඩියෝවකටත් ආරාධනා ලැබිල තියෙනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ රැකියාවේ නිරත වෙන ගමන් තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. මගේ ලොකුම බලාපොරොත්තුව කලාවෙන් ඉදිරියට ගිහින් කවදහරි සම්මානයක් ලබා ගන්න එක.

ටොම් බෝයි ලුක් එක තියෙන මේ කෙල්ලගෙ හිත ගත්ත කෙනෙකුත් ඇති නේද?

ආදරය කියන්නෙ හොඳ කෙනෙක් ලැබුණොත් සතුට ලැබෙන වැරදි කෙනෙක් ලැබුණොත් දුක ලැබෙන දෙයක්. ඒක අපේ පින්, පව් අනුවයි තීරණය වෙන්නේ. ඒ නිසා අපිට ඒක භාරගන්නම වෙනවා. අපේම තෝරාගැනීමට තමයි අපි දවසක ආදරය කරන්නෙ හෝ වෛර කරන්නෙ. ඒකට පිට කෙනෙකුට බැණල වැඩක් නෑ කියන තැනයි මං ඉන්නෙ. මං පෙම්වතියක් නෙවෙයි. ඒත් ආදරය දැනිලා, ආදරය කරන්න හිතිලා, ආදරේ කරලා, ආදරය විඳලත් තියෙනවා. ගොඩක් තැන්වල තියෙන්නෙ බොරුව, රැවටීම. ඒ නිසා විවාහයක් ගැන තීරණයක් ගනිද්දි දහස් වාරයක් හිතන්න වෙනවා. තාම නම් මට විවාහයකට යන්න තරම් කෙනෙක් හමුවෙලා නෑ. වැරදි කෙනෙක් හමුවෙලා දුක් විඳිනවට වඩා මේ විදිහට තනියෙන් ඉන්න එක හොඳයි කියලත් හිතෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division