Home » කෙටියෙන්ම කිව්වොත් මම ක්‍රිකට් පිස්සෙක්

කෙටියෙන්ම කිව්වොත් මම ක්‍රිකට් පිස්සෙක්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– අර්ජුන අයියා කිව්වා “මගේ ආශීර්වාදය ඔයාට තියෙනවා” කියලා
– මට රංගන ජීවිතයක් ගැන සිහිනයක් තිබ්බ කෙනෙක් නෙවෙයි

කිංග් රත්නම් කියන්නේ තිර රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක්. එමෙන්ම රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇත්තෙක්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන “කෝමාලි කිංග්ස්” වසර 40කට පමණ පසු ශ්‍රී ලංකාවේ නිකුත් වූ පළමු දෙමළ වාණිජ චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් 2019 වසරේ හොඳම දෙමළ චිත්‍රපටය ඇතුළු මෙම චිත්‍රපටය සඳහා කිංග් රත්නම් සහ ඔහුගේ කණ්ඩායමට සම්මාන 9ක් හිමි වුණා. මේ දිනවල තිරගත වන මුරලි 800 චිත්‍රපටයේ අර්ජුන රණතුංගගේ චරිතයට ජීවය දෙන්නෙත් ඔහු.

මුරලි 800ට කොහොමද ඇරයුම් ලැබෙන්නේ?

මට ඇරයුම ලැබෙන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක ශ්‍රීපති ඇතුළු කණ්ඩායම චිත්‍රපටය සඳහා චරිත තෝරා ගැනීම් කරන කාලේ. මෙහි ප්‍රධාන චරිතය කරන්න හිටියේ විජය සේතුපති. ඒකත් එක්ක අනිත් චරිතවලට ගැළපෙන අය ලංකාවෙන් සොයද්දී මනෝ කියන කාස්ටින් ඩිරෙක්ටර් හරහා මගේ පින්තූරත් ගිහින් තියෙනවා. එතැනදී ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක ශ්‍රීපති මොකක් දෝ හේතුවකට මාව දැකපු ගමන් කියලා තියෙනවා මෙයා නියමයි හොඳයි කියලා. මම හැමවෙලේම රැවුල එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසා රැවුල කපලා ගත්ත ෆොටෝ එකක් සහ අර්ජුන අයියාගේ ෆොටෝ එකක් ළඟ තියලා කොහොමද මැච් වෙන්නේ කියන එක බලලා තමයි තීරණය කළේ. මේකප් ආටිස් විදියට වැඩ කළේ Anita matkar.

කිංග් රත්නම්ට ක්‍රිකට් එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක් ද?

කෙටියෙන්ම කිව්වොත් මම ක්‍රිකට් පිස්සෙක්. පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසාව තිබුණා. මම ඉගෙන ගත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. 13න් පහළ කණ්ඩායමට මම පුහුණුවීම්වලට ගියා. මගේ පළවෙනි කෝච් වුණේ බර්ටි විජේසිංහ කියන ශ්‍රී ලංකන් ටෙස්ට් කැප්ටන්. ගෙදර තිබ්බ ආර්ථික තත්වය එක්ක දිගටම කරගෙන යන්න බැරි වුණා. ක්‍රිකට් කියන්නේ පොහොසතුන්ගේ ක්‍රීඩාවක්. එහෙම පොහොසත් පවුලකින් නෙවෙයි මම එන්නේ. මට ක්‍රිකට් ගැන තිබ්බ ආසාව එක්ක ලොකු දැනුමක් ඒ කාලේ ඉඳන්ම හදා ගත්තා. 1996දී ලෝක කුසලානය දිනද්දී මට වයස අවුරුදු 16යි. ඒ මොහොතේ සතුටට මට ඇඬුණා මට මතකයි. මෙච්චර ප්‍රශ්න තියෙන පුංචි රටක මිනිසුන්ට ලොකු හීනයක් හැබෑ වුණු දවසක් ඒක. ක්‍රිකට්වලට තිබ්බ ආසාව මම ඉෂ්ට කර ගත්තා පසුකාලීනව මම එංගලන්තයේ සහ නොර්වේ ජීවත් වෙද්දී ඒ රටවල තියෙන ක්ලබ් මැච්වලට ක්‍රීඩා කළා.

අර්ජුන රණතුංග ගැන තිබ්බේ මොන වගේ ප්‍රතිරූපයක් ද?

අර්ජුන අයියාව මට දැනෙන්නේ ඒ 1995 දී පළමු ටෙස්ට් තරගය නවසීලන්තය එක්ක දිනපු මොහොතේ පටන්. එයාගේ තියෙන නිර්භීතකම. එයාගේ තියෙන පෞරුෂය අපිට ලොකුවට දැනුණා. අර්ජුන අයියා වගේම අරවින්ද ද සිල්වා කියන්නේ මගේ පරම්පරාවේ අයට තිබ්බ ලොකුම inspiration එක.

ෆිල්ම් එක බැලුවට පස්සේ අර්ජුන රණතුංග මොන වගේ කමෙන්ට් එකක් ද දුන්නේ?

මංගල දර්ශනයේ දී තමයි අපි ඔක්කොම ෆිල්ම් එක බැලුවේ. මම කැමැත්තෙන් ඉන්නවා අර්ජුන අයියාට දැනුණ දේ දැන ගන්න. චිත්‍රපටය කරන්න කලිනුත් මම උත්සහ කළා අර්ජුන අයියාව හමුවෙන්න. අර්ජුන අයියා මට කිව්වා මගේ ආශිර්වාදය ඔයාට තියෙනවා කියලා.

කිංග් රත්නම් නළුවෙක් විදිහට රඟපෑමට එන්නේ අශෝක හඳගමගේ ඉනි අවන් චිත්‍රපටයෙන්, මෙතෙක් ලැබුණු අවස්ථා ගැන මොකද හිතෙන්නේ?

මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා අශෝක හඳගම අයියව. මට එහෙම රංගන ජීවිතයක් ගැන සිහිනයක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මම එයාගේ තුන්වෙනි සහාය අධ්‍යක්ෂවරයා විදියට නැඟෙනහිර වෙරළෙන් ඇසෙන (East is Calling) කියන ටෙලි නාට්‍යයේ වැඩ කළා. එකේ තිබ්බ මුස්ලිම් චරිතයක් නිකම් පැත්තක හිටගෙන ඉන්න. ඒකට තමයි මුලින්ම මාව දැම්මේ. ඊට පස්සේ තමයි ඉනි අවන් එකේ චරිතයක් දුන්නේ. මම මතක් කරන්න ඕනේ චන්න දේශප්‍රිය, ආරි අයියා ඇතුළු කණ්ඩායම මට හැමදෙයක්ම කියලා දුන්නා. ඉනි අවන් හි පොඩි චරිතයක් වුණත් ඒක කළාට පස්සේ ජනතාව අතර හොඳ ප්‍රතිචාර තිබුණා. එහෙම ප්‍රතිචාර ලැබෙද්දී මට හිතුණා මේ තුළ මොකක් හෝ දෙයක් මට කරන්න පුළුවන් කියලා. මම රංගනය ගැන අධ්‍යයනය කළා. දැනට මම චිත්‍රපට 10ක් වගේ කරලා තියෙන්නේ. ඒ නිර්මාණ වල විවිධ චරිත මට ලැබුණා.

මුරලි ෆිල්ම් එක බලපු අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඔක්කොම කියන්නේ අර්ජුන ආවා වගේ දැනුණා කියලා.

ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ මොකක්ද?

කරුණු කිහිපයක් නිසා සිනමා ප්‍රේක්ෂක ඔබ මුරලි 800 චිත්‍රපටය නැරඹිය යුතුයි කියන තැන මම ඉන්නේ. එකක් ශ්‍රී ලංකාවේ පළමු වතාවට ක්‍රීඩකයෙක් ගැන චිත්‍රපටයක් හැදිලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව හැදුණු චිත්‍රපටයක්. දෙවැනි කාරණය මේ ඇතුළේ කතා වෙනවා අපේ රටේ සිද්ධ වුණු අපිව බෙදපු ප්‍රශ්න කොහොමද ජයගන්නේ කියන එක. මුරලිදරන් හොඳ උදාහරණයක්, සිංහල දෙමළ ප්‍රශ්න අබිබවා ගිහින් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා මුළු රටටම සම්පතක් වුණු එක. ඒ නිසා අපි හැමෝටම හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මුරලි 800 කියන්නේ.

 

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division