Home » මට නළුකමට වඩා තිබ්බේ කලාව ගැන ඉගෙනගන්න ආසාවක්

මට නළුකමට වඩා තිබ්බේ කලාව ගැන ඉගෙනගන්න ආසාවක්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– වේදිකාවේ වැඩක් කරන්න නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් හොඳ චරිතයක් ලැබෙන්න ඕන
– හොඳ නළුවෙකුට ජනප්‍රියත්වය නිරන්තරයෙන්ම ලැබෙනවා

ස්වර්ණවාහිනිය ඔස්සේ මේ දිනවල විකාශනය වන ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ “සුසුම් රස්තියාදුව” ටෙලිනාට්‍යයේ “භාතිය”ගේ චරිතය තුළින් ඔබ හමුවට පැමිණෙන ඔහු රංගන ශිල්පි විශ්වජිත් ගුණසේකර. ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ භාෂා උපදේශකවරයෙක් ලෙස ද සේවය කරනවා. “සුසුම් රස්තියාදුව”නාට්‍ය ගැනත් සිය කලා ජීවිතය ගැනත් කළ කතාබහකි මේ.

මේ දිනවල විකාශනය වන සුසුම් රස්තියාදුව ගැන හඳුන්වා දුන්නොත්?  

සුසුම් රස්තියාදුව කියන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ නවතම ටෙලිනාට්‍යය.මෙය ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වේවි. සරල, බොළඳ ප්‍රේමකතා ශෛලියෙන් මිදී යම් ගැඹුරක් සහිත ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන හොඳ ටෙලිනාට්‍යයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් . එහි මම රඟපාන්නේ භාතිය නමැති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්ගේ චරිතයක්. භාතිය කියන්නේ ඒකාකාරි රාජකාරියක හිරවුණ කෙනෙක්. ඒතුළ ඔහුට ජීවිතය නීරස වෙනවා. ඒ නීරස ඒකාකාරී දිවිය වෙනස් කරන්න සාම්ප්‍රදායික බවෙන් මිදුණු ජීවිතයක් ගතකරන්න ඔහු උත්සහ ගන්නවා. තමන්ට මඟහැරුණු ජීවිතය, ඒ ආස්වාදය නැවත ලබා ගන්න හදනවා. ඔහුගේ වයසත් එක්ක සමහරුන්ට ඒ දේවල් අසාමාන්‍ය වෙන්න පුළුවන්. මෙහි එන භාතියට සාම්ප්‍රදායික බැමි කඩාගෙන යන්න හදන ගමනේදී විශාල ගැටලු රැසකට මුහුණ දෙන්නත් පවුල් සංස්ථාව තුළ හැලහැප්පීම් රැසකටත් , යාළුවෝ එක්ක ගැටුම්වලටත් මුහුණදෙන්න වෙනවා. ඔහු සමඟ හිතවත් වෙන සියුම්, හැඩකාර, කෙළිලොල් තරුණිය ඉහළ පෙළැන්තිය නියෝජනය කරන කෙනෙක් වගේ පෙන්නන්න හදනවා. ඒත් ඇයත් දුප්පත් ගමක ඉඳන් ආව ගැමි තරුණියක්. වුන් අතර ඇති වන බැඳීම හරහා පෙළගැසෙන කතාවක් තමයි සුසුම් රස්තියාදුව කියන්නේ.

සුසුම් රස්තියාදුවට ආරාධනා ලැබුණු විදිහ මතක් කළොත්..?

මෙහි අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුව මම කලක සිටන්ම දන්නවා .කොවිඩ් ව්‍යාප්ත වෙන්න මාසයකට විතර කලින් ප්‍රියන්ත අපේ ගෙදරටම එනවා. ඇවිත් මට කියනවා “අයියේ, මේ වගේ චරිතයක් තියෙනවා. මෙහි යම් ගැඹුරක් තියෙනවා භාරගන්නවද ” කියලා. මම ඔහුට කිව්වා පිටපත බලලා කියන්නම් කියලා .මේ පිටපත තුළින් සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් කියා මට හිතුණ නිසා චරිතය බාරගත්තා.

ඔබ රංගනයට අවතීර්ණ වූ අයුරු සිහි කළොත් ?

1995දී වගේ මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මට රංගනය ගැන ඉගෙනගන්න ආසාවක් තිබ්බේ. මම ඒගැන හොයද්දී පුවත්පතක දැන්වීමක් දාලා තිබ්බා ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේ වැඩමුළුවක් පිළිබඳ.මම ඒකට අයැදුම් කළා . 100දෙනෙක් තෝරාගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. මමත් එතැනදී බොහොම අමාරුවෙන් සමත්වුණා. ඒ 100දෙනා කොටස් දෙකකට වෙන් කරලා වැඩමුළුව කළා. එතැනදී මාස ගණනක් ගියාට පස්සේ “හිම කුමරිය” නමින් සෝමලතා සුබසිංහ මහත්මිය වේදිකා නාට්‍යයක් කළා. එයින් තමයි මම වේදිකාවට ආවේ. රංගනයට පිවිසුණේ . එහි මම චරිත රැසක්ම කළා. කෝරස් එකේ හිටියා, වෛද්‍යවරයෙක් , සොල්දාදුවෙක් , ගසක් වගේ චරිත රැසක්ම කළා. මම තමයි එහි වැඩිම කාලයක් වේදිකාවේ හිටියේ. සෝමලතා සුබසිංහ මහත්මියත් පසුව කිවුවා මම තමයි වැඩි වේලාවක් වේදිකාවේ ඉන්නේ කියලා. ඒකෙන් ආභාසයක් ලබා ගන්න කියලත් ඇය කිව්වා. මට නළුකමට වඩා තිබ්බේ කලාව ගැන ඉගෙනගන්න , අධ්‍යයනය කරන්න ආසාවක්. අදටත් තියෙන්නේ ඒකයි.

වේදිකා නාට්‍යයෙන් ටෙලිනාට්‍ය රංගනයට ආවේ කොයි කාලෙද?

ඒ 1998දී වගේ. නාලන් මෙන්ඩිස්ගේ පාරාදීසේ ටෙලිනාට්‍යයේ ඉතා සුළු චරිතයක් කළා. ඒකේ ලොකු චරිතයකට මට කතා කළේ. ඒත් අවසානයේ ඒ චරිතයෙන් මට ඉවත්වෙන්න වෙලා සුළු චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා . ඊටත් අවුරුදු හයක් හතක් යද්දී ආනන්ද අබේනායකගේ ජීවිතයට ඉඩදෙන්න ටෙලිනාට්‍යයේ යම් තරමක චරිතයක් ලැබුණා . ආනන්ද අබේනායක තමයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මගේ හැකියාව දැක්කේ. ඉන්පසු රළ බිඳෙන තැන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.

ඔබ පුංචි තිරයේ සම්මානයටත් පාත්‍රවුණා නේද ?

ආනන්ද අබේනායක නිෂ්පාදනය කළ සෙනේෂ් දිසානායක අධ්‍යක්ෂණය කළ රළ බිඳෙන තැන ප්‍රධාන චරිතය වෙනුවෙන් මට සම්මාන 04ක් ලැබුණා. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ මේ වසන්ත කාලයයි ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය හිමිවුණා . ඒවගේම ආනන්ද අබේනායකගේ චෙස් ටෙලිනාට්‍යයේදීත් හොඳම නළුවා සම්මානය හිමිවුණා .

සිනමාව තුළ ඔබේ භූමිකාව ගැන සඳහන් කළොත් ?

මම මුලින්ම සිනමාවට ආවේ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “බෝම්බ සහ රෝස” චිත්‍රපටයෙන්. එහි කුඩා චරිතයක් කළා. . අනුරුද්ධගේම “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයටත් දායක වුණා. නිලේන්ද්‍ර දේශප්‍රියගේ “තණ්හා රතී රඟා” චිත්‍රපටයේ තරමක හොඳ චරිතයක් කළා. ඒ වෙනුවෙන් දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළේදී හොඳම දුෂ්ට නළුවා සම්මානයට නිර්දේශ වුණා.

නළුකමයි සම්මානයි ජනප්‍රියත්වය ගැනයි ඔබට කොහොමද දැනෙන්නේ?

මට නිතරම හිතෙන දැනෙන දේ තමයි අපි ජනප්‍රියත්වය පස්සෙන් දුවන්න අවශ්‍ය නැහැ. හොඳ නළුවෙකුට ජනප්‍රියත්වය නිරන්තරයෙන්ම ලැබෙනවා.

මේ දිනවල නවතම රංගන කාර්යයන් මොනවද ?

ප්‍රියන්ත ප්‍රනාන්දුගේ “සුසුම් රස්තියාදුව” ටෙලිනාට්‍යයේ අවසන් කොටස් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. චමිල් පතිරණ අධ්‍යක්ෂණය කරන “සිටුවර පුවත”ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකාවේ නම් වැඩක් කරන්න හොඳ අධ්‍යක්ෂවරයෙක් , හොඳ චරිතයක් ලැබෙන්න ඕන. වේදිකාවේ යම් අධ්‍යයනයක් කරන්න තරම් චරිතයක් ලැබුණේ නැහැ.

මනෝජ් කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division