Home » ජීවිතය පුරා හීන මවන එක අතාරින්න එපා

ජීවිතය පුරා හීන මවන එක අතාරින්න එපා

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

සිහින කියන්නෙ අපි කාට වුණත් නුහුරු වචනයක් නම් නෙමෙයි. නමුත් සිහින පෙනෙනවා සහ සිහින මවනවා කියන්නේ නම් එකක් නෙමෙයි දෙකක්. හීන පෙනිලා නැති කෙනෙක් නැහැ. හේතුව ඇහැරිලා ඉන්නවට වඩා නිදාගන්න කැමති අපිට නින්ද ගියාම ඉබේම සිහින පෙනෙනවා, හැබැයි හීන මවනවා කියන එක ඉබේ වෙන දෙයක් නම් නෙමෙයි. අපි හිතලා තමයි සිහින මවන්න ඕනෙ. අපි හිතලම තමයි සිහින මවාගන්න ඕනෙ.

කුඩා වයසෙදී හැමෝම නිතරම ඔයා ලොකුවෙලා කව්රු වෙන්නද කැමති කියල අහපු ගමන් , පුරුද්දට වගේ දොස්තර කෙනෙක්, ටීචර් කෙනෙක් වෙනවා කියල කිව්වට, වයසින් වැඩිමහලු වෙනකොට නම්, බොහොමයක් අයට වචනයට සීමා වෙච්ච ” හීනයක් ” වත් නැහැ ..

ඉස්කෝලෙ ගිහිල්ලා, රස්සාවක් කරලා කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් ඉන්න කෙනෙක්ගෙන් නිකමට ”ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ ” කියලා අහල බලන්නකො. ඉඳල හිටලා කෙනෙක් ඇරෙන්න බහුතරයකට එදිනෙදා ජීවිතයට මුහුණ දෙනවා හැරෙන්න වෙනත් සිහින කිසිවක්ම නැහැ .

අධ්‍යාපනය, රස්සාව, ගේ දොර, විවාහය, දරුවන් …. මීට අමතරව ජීවිතය දිහා පුළුල් දැක්මකින් බලලා, වෙනස් අරමුණු සිහින මවලා ඒ ඔස්සේ හඹායාමට තරම් උවමනාවක්, කැපවීමක් වර්තමානයේ බහුතර පිරිසකට නැහැ .

”තමන් වෙනුවෙන් සිහින නැතිවීම” කළකෝලහල වැඩිවීමට, මිනිසුන් අතර ගැටීම් රණ්ඩු උග්‍ර වීමට, එකිනෙකා කෙරෙහි ඉරිසියාව ඇති වීමට සහ සමාජ අපචාර වැඩිවීමට වක්‍රාකාරයෙන් හේතු වෙනවා .  

හැබෑ කරගන්න හීන නැති, අරමුණු නැති මිනිස්සු මට ඕන තරම් හමුවෙලා තියනවා. හුස්ම වැටුනට ආත්මෙන් මැරිච්ච තේරුමක් නැතුව වැනි වැනී ජීවත් වෙනව මනුස්ස ශරීර ඕන තරම් අප අවට පෙනෙන්න තියනවා .

උපන්න පළියට මැරෙනකන් බඩ පුරෝගෙන ඇඟ වහගෙන හිටියම ඇති කියලා හිත හදාගෙන ජීවිතේ කියන දේට පය ගහලවත් නැති එහෙම මිනිස්සු එක්ක නිකන් විනාඩි පහක් කතා කළත් ජීවිතේ කලකිරෙනවා. සැබෑ කරගන්න සිහින නැති, ජීවිතයට අරමුණු නැති මිනිස්සුන්ගේ ලෝකය ඉතාමත්ම පටුයි. ඒ වගේම සීමා සහිතයි.

අවුරුදු ගණන් හීන දැකලා ඒ හීන වෙනුවෙන් අප්‍රමාණව කැපවෙලා, හීන පස්සේ දුවන ඒ වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සුන්ගේ මොරාල් එක ඊට වඩා මාරම වෙනස් .

උදාහරණයක් ලෙස, ගෙදර තිබ්බ තාත්තගේ පරණ පාපැදිය පදින ගමන් අනේ ඉතින් මේක තමයි මගේ ලැබීම කියලා හිත හදාගෙන මැරෙනකම්ම ෆුට් සයිකලේම පැද පැද ඉන්න කෙනෙක්ගෙයි, පාපැදියක්වත් නැතුව පයින් ඇවිදගෙන යන ගමන් දවසක bmw එකක මේ මාවතේම යන්න හීන මවන කෙනෙකුයි කියන්නේ පැහැදිලිවම වෙනස් දෙන්නෙක් .සිහින නොදකින මිනිහා සිතුවිල්ලකින් වත් නොවිඳි සතුටක්, ධනාත්මක වින්දනයක්, පාපැදියක් වත් නොමැති කෙනා පයින් ඇවිදගෙන යන ගමන් සිත ඇතුළෙන් BMW එකක ඉඳගෙන විඳිනවා .ඒ වගේම ඔහුට හඹා යන්න අරමුණක් තියනවා. ජීවත් වෙන්න හේතුවක් තියන. ඇඟට වඩා හිත හයිය එහෙම මිනිස්සු හීන හැබෑ වුණත් නැතත් ජීවිතේ නියමාකාරයෙන් රස විඳිනවා .

හිස් අතින් ඇවිත් යන්නෙත් හිස් අතින් තමයි. හැබැයි ඒකෙ තේරුම මැරෙනකම් හිස් අතින්ම ජීවත් වෙන්න ඕනෙ කියන එක නෙමයි.

අවසානයක් නොදන්න මේ කෙටි ජීවිත ගමන තුළ, හුස්ම නවතිනකම්ම අලුත් අලුත් හීන මවන්න කාටවත් කිසිම බාධාවක් නැහැ.,Mr.Colonel Sanders අවුරුදු 62 දී KFC පටන් ගන්නෙත්, ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඇමරිකාව පාලනය කරන්නෙත්, ශාරුක් ඛාන් ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයෙක් වෙන්නෙත් කාලෙකට කලින් හිතෙන් මවාගෙන, ඒ තුළ ජීවත් වෙලා, ඒ වෙනුවෙන් කැපවෙලා, අවසානයේ සැබෑ කරගත්ත ” හීන ” වල ප්‍රතිඵල විදිහට තමයි .

ඔහේ නිකන් යන්නන් වාලේ යන්නැතුව අරමුණක් පස්සේ යද්දී අපේ ගමන වේගවත් වගේම පරිස්සම්. එක අරමුණක් පස්සේ තවත් අරමුණක් හදාගෙන හරිගියාමත් වැරදුණාමත් දෙකම උපේක්ෂාවෙන් දරාගෙන හීන පස්සෙන් හඹා යන මිනිස්සුන්ට අරය මෙයා ගැන හොයා හොයා, අනවශ්‍ය දේ ගැන පසුතැවෙමින්, නාස්ති කරන්න කාලයක්වත් වුවමනාවක්වත් නැහැ. ඒ මිනිස්සු නිතරම ඉන්නෙ තෘප්තියෙන්, සහ අරමුණක් වෙනුවෙන් .

පහුගිය වසරක සුශාන්ත් කියන ඉන්දීය දක්ෂ නළුවා ජීවිතේ නැතිකර ගන්නවා. ඊට අවුරුදු ගාණකට කලින් ඔහු ඔහුගේ ජීවිතේ හැබෑ කරගන්න තියන හීන පනහක් ලියලා තියාගන්නවා, කැපවීම සහ වාසනාව මත ඒ හීන පනහම අවරුදු 33 වෙනකොට සුශාන්ත් සැබෑ කරගෙන ඉවර වෙනවා. ”මගේ සිහින සියල්ලම සැබෑ වී අවසන් ” කියා ඔහු ඉන්ස්ට්ර් ගිණුමේ සටහනකුත් දානවා .

ඔහු ජීවිතේ නැති කරගත්ත හේතුව හරියටම කියන්න අපි කව්රුවත් දන්නේ නැහැ , ඔහු වගේ හීන පස්සේ දුවපු සියලු හීන හැබෑ කරගත්ත කෙනෙකුට හඹා යන්න හීනයක් නැති වුණාම ජීවිතේ කිසි හෝ එකක්, අරමුණක් නැතිවෙලා නැතිවෙලා, මොන කෙහෙල්මලකට ජීවත් වෙනවද කියල හිතුණා වෙන්නත් බැරි නැහැ.

මොකද හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. හීන වෙනුවෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ .

සීමාවක් නැතුව දකින්න පුළුවන් නිසාවෙන් සහ කාටවත් නොපෙනී විඳින්න පුළුවන් හෙයින්, කනවා බොනවට එහා තමන් වෙනුවෙන් මොකක්ම හරි හීනයක් මවාගෙන හිමින් හිමින් ඒක පස්සෙ හඹා යන්න හුරුවීම ඔබව පිටතින් වගේම ඇතුලතිනුත් ධනාත්මකව වෙනස් කරවනවා .

අපි අවට ඉන්න බොහොම සාර්ථක ජීවිත ගතකරන මිනිස්සු ඒ විඳින දේවල් නිකම්ම අහසෙන් පාත් වුණේ නැහැ. ඒ හැමදේම කාලෙකට කලින් හීනවෙලා හිතේ පැළවෙලා මහන්සියෙන් පණදීපු හීන තමයි .

වයස, කාළය, සීමාව, දුප්පත් පෝසත්කම මේ කිසිම දෙයක් හීන මවන්න බාධාවල් නෙමෙයි .

හීනවලට කිසිවෙකුගෙන් තහනමක් නැති නිසා සහ උපරිමයේ සීමාවක්වත් නැති නිසා , හරි ගියා ද වැරදුණා ද කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරියන්න තියා වරදින්නවත් ඔබට හීනයක් නැත්තම් ඒක ප්‍රශ්නයක්. මොකද හීන නැති මිනිස්සු කරන්නෙ හුස්ම ගන්න එක විතරයි. හුස්ම ගන්නවයි ජීවත් වෙනවයි කියන්නේ එකක් නෙමෙයි දෙකක් ..

හීන තියන මිනිස්සු හීන ගැන හිත හිත හරි ජීවත් වෙන්නෙත් සතුටෙන්. හීනෙන් හරි මැරෙන්නත් සතුටෙන්.

සැබෑවුණ හීන කොහොමත් මිහිරියි. හැබැයි අපිට ඕන විදිහටම මවා ගෙන විඳින්න පුළුවන් නිසා සැබෑ නොවුණ හීන හරිම මිහිරියි.

ඔබ දන්නවාට වඩා ඔබේ හදවත ශක්තිමත්. ඔබ හිතනවාට වඩා ඔබේ මනස බුද්ධිමත්. ඔබ සිහිනයක බීජ හදවතේ තැන්පත් කළ විට. හදවත, බුද්ධිය, එක්ක එකතු වෙලා, සිහින වඩාත් සාර්ථකව රෝපණය කිරීමට පටන් ගන්නවා, ඔබගේ කැපවීමේ මහන්සියේ පරිමාණය මත, එම සිහින කළඑළි වෙලා අනාගතයේ දවසක ඔබව බබළවන්නට පටන් ගන්නවා .

ඉටු වුණත් නොවුණත් කමක් නැහැ, ජීවිතය පුරා හීන මවන එක අත හරින්න එපා. හීන කියන්නෙ ජීවත් වෙන්න පණ දෙන වටිනාම උත්තේජකය. ඒ නිසා මැරෙනකම්ම හීන දකින්න, හීන මවන්න” හඳට යන්න හීන මවන්න, අනිවාර්යයෙන් ඔබට තරුවක් හෝ හමු වෙනවාමයි .

අනිශා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division