Home » කාටවත් තාම වචනයක් දීල නෑ

කාටවත් තාම වචනයක් දීල නෑ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– ලංකා‍වේ ළාබාලතම වේදිකා විදුලි ආලෝකකරණ මෙහෙයුම් ශිල්පියා මං වෙන්න ඇති
– ඇත්තම කිවුවොත් කතුරු මිතුරු චිත්‍රපටයට වෙනම පබ්ලිසිටියක් ඕනෙත් නෑ
– අම්මා, අක්කා, අක්කගෙ දුව ඒ තුන්දෙනාම මිහිරාණිලා මං මේ හැමදේම කරන්නෙ එයාලගෙ සතුට වෙනුවෙන්

විශාල කරදරයක් වුණානෙ මේක මේ කියමන අපට ඇසෙන්නේ මේ දිනවල සාර්ථකව තිරගත වන ගිරිරාජ් කෞෂල්‍යගේ ‘කතුරු මිතුරු‘ සිනමාපටයේය. දිවෙන කාලය පුරාවටම ප්‍රේක්ෂකයා සිනහවෙන් තබන මෙම සිනමා සිත්තමට හඳුන්වාදෙන නවක රංගන ශිල්පියා ගැනයි අද අපේ කතාබහ. වෘත්තියෙන් ගුවන් නියමුවෙක් වන ඔහු අන් කිසිවකු නොව කලා ලොව වාර්තා පිට වාර්තා තැබූ හිටපු ප්‍රවීණ රංගධර විජය නන්දසිරිගේ ආදරණීය පුතණුවන් වන රසාංජන නන්දසිරිය.

කතුරු මිතුරු කියන්නෙ ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පවුලක් විදිහට නරඹන්න පුළුවන් සිනමාපටයක්. ඇත්තම කිවුවොත් කතුරු මිතුරු චිත්‍රපටයට වෙනම පබ්ලිසිටියක් ඕනෙත් නෑ. මිනිස්සු කාලයක් තිස්සේ කතුරු මිතුරු එනකල් බලන් හිටියා. ප්‍රේක්ෂකයා දිගටම සිනහවෙන් රඳවගන්න පුළුවන් නිර්මාණයක් වගේම සමාජයට හොඳ පණිවුඩයක් දෙන නිර්මාණයක්. සඳුනිටයි මටයි මේකෙ තිබුණෙ සීරියස් කැරැක්ටර් දෙකක්.

කලාව ඔබට ආගන්තුක නෑ. ඒත් ප්‍රේක්ෂකයන් ඔබ හඳුනාගන්නෙ මේ නිර්මාණයෙන්. කොහොමද ආරාධනා ලැබෙන්නේ?

ගිරිරාජ් අංකල් මං පොඩි කාලෙ ඉඳන්ම දන්නවා. මෙතෙක් ඔහු කළ නිර්මාණ හැම එකේම අපේ තාත්තා තමයි ප්‍රධාන චරිතය වුණේ. සිකුරු හතේ කපු මහත්තයගෙ චරිතය ලියවුණේම තාත්ත ඉලක්ක කරගෙන. අනික සුහද කොකා එකේ මංගල ජය. තුන්වැනි එක විදිහට මේක ලියවෙන්න ඇත්තෙත් තාත්තව හිතේ තියාගෙන. අවාසනාවකට ඔහු අද නැති නිසා ගිරිරාජ් අංකල්ට හිතෙන්න ඇති පුතාට හරි අවස්ථාව දෙන්න. ආරාධනාව ලැබුණම මං හරිම කැමැත්තෙන් භාරගත්තා. පුංචි තිරයෙ, වේදිකාවෙ අත්දැකීම් තිබුණට සිනමාව මට ආගන්තුක තැනක්. ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, මොරින් චාරුනී, ජයනි සේනානායක වගේම නිෂ්පාදක භාසුරු සිරිවර්ධන, ජයප්‍රකාශ් සිවගුරුනාදන් වැනි ප්‍රවීණයන්ගෙන් මට උපරිම සහාය ලැබුණා.

කලා පවුලක පුරුකක් නිසා සහජයෙන්ම රංගන හැකියාව පිහිටලා ඇති. ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය ගැනත් කියමු නේද?

මනමේ කුමරු විදිහට 27 වසරක් අභිසෙස් ලැබූ මගේ තාත්තා කලාවෙ හැම පැතිකඩක්ම ජයගත් කෙනෙක්. ඒ වගේම අම්මා දේවිකා මිහිරාණි කියන්නෙත් දිමුතු මුතු ඔස්සේ දකුණු ආසියාවේ ප්‍රථම ටෙලි නිළිය ලෙස වාර්තා පොතට එක්වුණු කෙනෙක්. අක්කයි මායි පුංචි කාලෙ ඉඳන්ම හැදුනෙ කලා වටපිටාවක. තාත්තගෙ වේදිකා නාට්‍යවලට අපි හැමෝම සම්බන්ධ වුණා. තාත්තා පිටපත් දෙබස් කියන්නේ අපි දෙන්නත් එක්ක. ඒ නිසා අපිට ඔක්කොම පාඩම්. මං වැඩිපුරම ආස කළේ ටෙක්නිකල් පැත්තට. විදුලි ආලෝකකරණය වගේම ශබ්ද පරිපාලනය පැත්තට. ලංකාවේ ළාබාලතම වේදිකා විදුලි ආලෝකකරණ මෙහෙයුම් ශිල්පියා මං වෙන්න ඇති.

මං රංගනයට යොමුවෙන්නෙ හරිම අහම්බෙන්. තාත්තගෙ වෘෂභ රාජ වේදිකා නාට්‍ය කෑගල්ලෙ වේදිකාගත වෙන දවසෙ සේනක කියන කැරැලිකාර කොල්ලගෙ චරිතෙට හිටපු ශිල්පියා එකපාරටම එදා නැතුව ගියා. ඒ කොටස ඩ්‍රොප් කරලා නාට්‍ය කරගෙන යන්න තමයි තාත්තා හිතුවේ. තිරිමාදුර අංකල් අම්මගෙත් කැමැත්ත ඇතුව මාව ඒ චරිතෙට දාන්න සියල්ල සූදානම් කරගත්තා. ඇඳුමත් මට හරි ගියා. දෙබස් කොහොමත් පාඩම්. මාත් ඉතින් චොකලට්, කෑම බීම ඇති තරම් ගෙන්න ගෙන කැමැත්ත දුන්නා. අග බිසව (අම්මා) පුරෝහිත (ගිහාන් අංකල්) සහ රජු (තාත්තා) අතර සීරියස් සීන් එකකින් පස්සෙ තමයි මට එන්න තියෙන්නෙ. අග බිසවයි පුරෝහිතයි වේදිකාවෙන් ඉවත් වෙනවත් එක්කම තියෙන්නෙ අර කැරලිකාර කොල්ලව ගෙනත් වේදිකාව මැදට අතහරින්න. රාජ පුරුෂයෙක් (තිරිමාදුර අංකල්) මාව නිකන් කිහිල්ලෙ ගහගෙන වගේ ඇවිත් වේදිකාව මැදට අතෑරියා. එතකොට මට අවුරුදු 9ක් වගේ. තාත්ත දන්නෑ මේ කිසිවක්. සීන් එකේ තාත්තට තියෙන්නෙ පුදුම වෙලා වගේ බලන් ඉන්න. මං දැන් ගිරවෙක් වගේ දෙබස් කියවනවා. මාව දැක්ක තාත්ත ඔටෝම තුෂ්නිම්භූත වෙලා. මීට කලින් කවුරුත්ම මං රඟපානව දැකලා නෑ. මට දැන් පේනවා අම්ම එක පැත්තක අඬනව, අක්කා අනිත් පැත්තෙ අඬනවා. එදා තමයි කට්ටිය කියල තිබුණෙ විජය නන්දසිරිට ජීවිතේ පළමු වතාවට වේදිකාවෙදි දෙබස් අමතක වුණා කියලා. කිසිදාක තාත්තට දෙබස් අමතක වෙලා තිබුණෙ නෑ.

ඇයි ඔබ ගුවන් නියමුවෙක් වෙන්න හිතුවෙ?

තාත්ත කුස පබාවතී අරන් ලෝකෙ පුරා යද්දි අපේ පවුලම ඊට දායක වුණා. තාත්තගෙ වේදිකා නාට්‍යවල සම්පූර්ණයෙන්ම විදුලි ආලෝකකරණය වගේම ශබ්ද පරිපාලනය මෙහෙයෙවුවෙ මම. පුංචි කාලෙ ඉඳන්ම මං කැමැති ටෙක්නිකල් පැත්තට. ඒ නිසා මං කිවුවෙම මං ෆයිලට් කෙනෙක් වෙනව කියලා. වැඩිදුර අධ්‍යාපනය ලබලා මං ට්‍රේනින්වලට ඔස්ට්‍රේලියාවට යන්නෙ 2014. අවුරුදු 21 වෙද්දි කමර්ෂල් ෆයිලට් කෙනෙක් විදිහට ලයිසන් එක අරගෙන වෘත්තීමය එයාර් ලයින් ෆයිලට් කෙනෙක් විදිහට රැකියාවට බැඳෙන්නෙ 2020දි. එදා ඉඳන් ආසාවෙන් මේ රැකියාව කරනවා. කාර්යබහුල වුණත් කාලය කළමනාකරණය කරගෙන කලා කටයුතුවලත් නියැළෙන්න තමයි අදහස. මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ මං යන යානයක තාත්තව අරන් යන්න. අවාසනාවකට මං ඒ දවස්වල රැකියාවට සම්බන්ධ වෙලා හිටියෙ නැති නිසා මට ඒ චාන්ස් එක මිස් වුණා. ඒත් අම්මව අරන් අක්ක ඉන්න ඔස්ට්‍රේලියාවට යනවා දවසක. අම්මා, අක්කා, අක්කගෙ දුව ඒ තුන්දෙනාම මිහිරාණිලා තමයි. මං මේ හැමදේම කරන්නෙ එයාලගෙ සතුට වෙනුවෙන්.

කාර්යබහුල ජීවිතේ තුළ රසාංජන ආදරේටත් ඉඩක් දීල ඇතිනේ?

මේ ජීවිතේ ආදරේ නැතුව කිසිදෙයක් කරන්න බෑ. පොඩි කාලෙ ඉඳන්ම නොයෙක් විදිහට ආදරේ විඳිනවා. කාලයත් එක්ක හොඳ ජීවන සහකාරියක් හොයාගන්න ඕන. ආදරේ අත්දැකීම් ලබලා තියෙනවා. ඒත් තාම වචනයක් දීල නෑ. ඒකත් කාලයටම භාරදෙනවා.

නාමලී ගමගේ ඡායාරූප - ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division