Home » මේ ආණ්ඩුවට ජනතාවගේ පිළිගැනීමක් නෑ

මේ ආණ්ඩුවට ජනතාවගේ පිළිගැනීමක් නෑ

සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ජයේ ගමන් මඟ සම්බන්ධයෙන් විපක්ෂය දරන මතය මෙන්ම වර්තමානයේ රටේ පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂයේ මතය දැක්වීමට සිළුමිණ සමඟ සංවාදයට එක් වන්නේ සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරය.

ආණ්ඩුවේ වැඩ හැම විටම විවේචනය කරන විපක්ෂයත් එක මතයක නැහැ. ඔබගේ පක්ෂය ඇතුළෙත් එක එක මතවාද තියෙනවා. විපක්ෂයේ එක් එක් පක්ෂත් ආණ්ඩුවට විරුද්ධව දරන්නේ විවිධ මත. විපක්ෂයේත් එකමුතුවක් නැහැනෙ….

·අපේ පක්ෂයේ ඇතුළේ කිසිම මත දෙකක් නැහැ. අපි එකම මතයක ඉදගෙන එකම ගමනක් යන්නේ. විපක්ෂයේ අනෙක් පක්ෂවල විවිධ මත තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඇත්තටම දැන් ආණ්ඩු පක්ෂයේ හිටපු අයත් කීප දෙනෙක් විපක්ෂයේ ඉන්නවනෙ.

ඒ විදිහට විපක්ෂයේ විවිධ මත දරාගෙන ආණ්ඩුවට එරෙහිව ගමනක් යන්න පුළුවන් වෙයිද?

අපේ පක්ෂයට හොඳ නායකත්වයක් තියෙනවා අපේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළට කැමැත්ත පළ කරන අනෙක් පක්ෂවල අය ඉන්නවා. අපි ඒ අයත් එක්ක සන්ධානගත වෙනවා. විපක්ෂයේ අතිබහුතරයක් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ වන තත්ත්වයක් තියෙන්නෙ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ දෙවන වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වෙනවා. මේ තත්ත්වය රටක් ලෙස අපට යම් අවාසි සහගතයි. වගකිව යුතු විපක්ෂයක් ලෙස එය ලබා ගැනීමට අවශ්‍ය යම් සහායක් ලබාදීමට හෝ ඔබ පක්ෂයේ ක්‍රියා පිළිවෙතක් නැද්ද?

රජයේ වැඩ පිළිවෙළ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීමක් නැහැ. ඒක නිසයි ඒ වාරිකය ප්‍රමාද වුණේ. ඒ වගේම ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාව ගැන හිතල නෙමෙයි. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගේම ජනතාවගේත් ආණ්ඩුවට පිළිගැනීමක් නැහැ.

ජනතාව පිට බදු පිට බදු පටවලා, විදුලි බිල, ගෑස් මිල ඉන්ධන මිල බඩු මිල මේ සේරම ඉහළ දමා ආණ්ඩුව මේ යන ගමන ගැන අපට හිතා ගන්න බැහැ.

එක පැත්තකින් ජීවන වියදම ඉහළ ගිහින්, මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය කරලා.

අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ප්‍රමාදයක් වීම හෝ ඇතැම් විට නොලැබී යන්නට පවා පුළුවන්.

ආණ්ඩුවේ මේ අයාලේ යන ගමන දැක දැක විපක්ෂයක් ලෙස අපට කළ හැක්කේ කුමක්ද? අපි ඒ වැරැදි ගමන් මඟ පෙන්වා දී තියෙනවා. විවේචනය කරනවා. ජනතාව පිට බදු බර පටවන්න එපා කියනවා. දූෂණය පිටු දැකීමේ අවශ්‍යතාව මතු කරලා තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ආණ්ඩුව තාම දූෂිතයි කියලා. ආණ්ඩුව දූෂණය අයින් කර නොගැනීමත් මේ දෙවෙනි වාරිකය ප්‍රමාද වන්නට හේතුවක් වී ඇති.

ආණ්ඩුව දූෂිතයි කියලා ඔබ කිව්වත් මේ රට පාලනය කරලු සියලු රජයන් මේ දූෂිත තත්ත්වයන්ට වග කිව යුතුයි නේද?

ඔව් ඒක ඇත්ත. දූෂණය සොරකම කවුරු කළත් වැරැදියි. නමුත් රට බංකොලොත් වෙනකල් දූෂණය කරපු තත්ත්වයක් මින් පෙර තිබිලා නැහැනෙ. රට බංකොලොත් බව වසර කිහිපයකට පෙර අන්තර්ජාතිකව ප්‍රකාශ කළානෙ. ඒ තත්ත්වයට රට ඇද දැම්මෙ කවුද කියන එක පැහැදිලියිනෙ. ඒ තත්ත්වය නිසානෙ අන්තර්ජාතික ණය ලබා දීමට පවා බාධා ඇතිවුණේ

ඔබ එහෙම කිව්වත් පසුගිය සතියේ චීන එක්සීම් බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 4.2ක් ලබා දීමට එකඟතාවය පළ කළානෙ.

ආණ්ඩුව රට රැගෙන යන තත්ත්වය අනුව ණය මතම තමයි යැපෙන්න වෙන්නෙ. කවද මේ ණය උගුලෙන් ගැලවෙන්න පුළුවන් ද කියන එකයි අපට තියෙන ගැටලුව.

රටක සංවර්ධනය එහෙම නැත්නම් අඩුම වශයෙන් රටක් බංකොලොත්භාවයෙන් මිදී ගමන් කිරීමට ඒ රටට ආදායම් උත්පාදන මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ක්‍රමවේදයක් මේ රජය ගෙන නැහැ. රටේ ආර්ථිකය දියුණු කරන්න නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. සංචාරකයො ගෙන්වීම වැඩි කළ යුතු වෙනවා.

නමුත් අද නිෂ්පාදන ආර්ථිකයක් තියෙනවද? කර්මාන්ත ඇතුළු නිෂ්පාදන කඩා වැටිලා. ඇඟලුම් කර්මාන්තය, කෘෂි කර්මාන්ත නිෂ්පාදන වැටිලා. රටේ ඇති ආරක්ෂක තත්ත්වය මත සංචාරකයන්ගේ පැමිණීම පවා අඩුවෙන්න පුළුවන්.

අඩුම ගානේ පොලිස්පතිවරයෙක් පත් කරගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැනෙ

පොලිස්පතිවරයා පත් කිරීම ප්‍රමාද කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

එක පැත්තකින් ආණ්ඩුව කියනවා ඒ තනතුරට එන්න ඉන්න අයට යම් යම් චෝදනා තියෙනවා කියලා. එහෙම චෝදනා තියෙනවා නම් වහාම ඒවා විභාග කරල අවශ්‍ය පියවර ගන්න ඕන. ආණ්ඩුවට වෙලා තියෙන්නෙ ඒ අය තියාගන්නත් ඕන. තියා ගන්න බැරි කරුණුත් තියෙනවා. ඒ අයට දඬුවම් කරන්නෙත් නැහැ.

රටක මූලිකම දේ තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඒක කර ගන්න බැරි ආණ්ඩුව කෙහොමද ජනතාවගේ ආරක්ෂාව සලසන්නෙ.

ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් නැතිබව ඔබ පවසනවා. යම් ලෙසකින් ඔබ පක්ෂයට බලයක් ලැබුණොත් කොහොමද ආර්ථිකය නංවන්නෙ.

ප්‍රධානම කරුණ තමයි රටට ඉහළ ආදායමක් ලබා දෙන සංචාරක කර්මාන්තය නංවන්න ඕන. ඒ වෙනුවෙන් රටක නීතිය හා සාමය තියෙන්න ඕන. ආරක්ෂාවක් නැත්නම් සංචාරකයො එන්නෙ නැහැ. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසන්න ඕන.

ආණ්ඩුව ඒ සියල්ල පසෙක ලා හෝටල්වලට අවම මිලක් නියම කිරීම විතරක් කරලා තියෙනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසන්නෙ නැතුව හෝටල් බිල විතරක් වැඩි කරලා සංචාරකයන් ගෙන්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.

ඒ වගේම තමයි අපේ පාලනයක් යටතේ අනිවාර්යෙන්ම වංචාව දූෂණය අපි මැඬ පවත්වනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමට අප කටයුතු කරනවා. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියකින් යුක්ත ජාතික සැලැස්මක් අපි සකස් කරනවා.

සමාජ මාධ්‍ය නියාමන පනත ගැන ඔබ පක්ෂයේ මතය කුමක්ද?

මේ පනත ඇත්තටම ගෙන ඒමේ චේතනාව කුමක්ද කියන එක ගැනයි අපි සොයා බලන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස අයිතිය.

ඒක මර්දනය කරන්න ද ආණ්ඩුව මේ යන්නේ කියන එකයි අපට තියෙන ප්‍රශ්නෙ. ලෝකේ දියුණු රටවල මේ වගේ පනත් ගේන්නෙ නැහැ.

රජයට විරුද්ධව ජනතාව නැඟී සිටීම වළක්වන්න ගේන පනතක් ද කියලා අපි බලන්න ඕන. විශේෂයෙන්ම ආණ්ඩුවට විරුද්ධ වීම වළක්වන්න ගේන පනතක් ද කියන ගැටලුවයි අපට තියෙන්නෙ. ආණ්ඩුවට විරුද්ධව නැඟී සිටීම පාලනය කිරීම මෙහි අරමුණ වෙන්න පුළුවන්. මේ වෙලාවෙ තියෙන පීඩනයට ජනතාව හැම අතින්ම නැඟී සිටින්න උත්සාහ කරනවා. සමාජ මාධ්‍ය නියාමන පනත විතරක් නෙමෙයි ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්න ආණ්ඩුව උත්සාහ කරනවනෙ.

ආණ්ඩුව මේ ගේන පනත්වලින් සමස්තයටම සෙතක් වෙනව ද කියන එකයි අපි බලන්න ඕන. එහෙම නැතුව රජයට ඕන කරන අවශ්‍යතා ටික සම්මත කර ගැනීම විතරක් මේ පනත් හරහා කරන්න යන්නෙ ඒක ගැන අපි වඩාත් විමසිලිමත් විය යුතුයි.

දේශපාලනයේ කාලයක් තිස්සේ පිල් මාරුව නැත්නම් පක්ෂ මාරුව සිදු කළා. පක්ෂ සාමාජිකත්වය තහනම් කළ විට අධිකරණය කරා යන්නට අපේ දේශපාලකයන් පුරුදු වෙලා හිටියා. මීට පෙර ලබා දුන් අධිකරණ තීන්දුවලට වඩා හාත්පසින්ම වෙනස් තීන්දුවක් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් දරන අදහස පැහැදිලි කළොත්…

ජනතාව පළමුව පක්ෂයටයි මනාපය දෙන්නෙ. අපේක්ෂකයාට මනාපය එන්නෙ දෙවනුවටයි. ඒ නිසා අනිවාර්යෙන්ම පක්ෂයේ සිට ජනතා අපේක්ෂා ඉටු කළ යුතුයි. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම අර්ථ නිරූපනයට අනුව තීන්දුව ලබා දුන්නා.

මීට පෙර ලබා දුන් තීන්දුවලට හේතුවන්නට ඇත්තේ ඊට අදාළව අධිකරණයට ලබා දුන් කරුණු වන්නට පුළුවන්. කොහොම වුණත් මේක දේශපාලනයේ සදාචාරවත් ගමනකට දුන්න ආශිර්වාදයක්. පක්ෂය වගේම පක්ෂයේ මතයට ගරු කරන්න එවිට පුරුදු වෙනවා.

ඊශ්‍රායල් – පලස්තීන අර්බුදය අපට කුමනාකාරයෙන් බලපායි කියා ඔබ සිතන්නේද?

ආණ්ඩුව දැනටමත් තෙල් මිල වැඩි කරන්න සැරසෙමින් ඉන්නේ, මේ ගැටුමත් ඒකට යොදා ගනියි. ඊශ්‍රායල් පලස්තීන යුද්ධය විතරක් නෙමෙයි.

රුසියන් යුක්රේන් යුද ගැටුම් මෙන්ම ලෝකයේ ඇතිවන බල අර්බුද යුද ගැටුම් මේ සියල්ලම අනෙක් රටවල ජන ජීවිතයට ආර්ථිකයට අනිවාර්යයෙන්ම බලපානවා. අපටත් ඒක ඒ විදිහටම යම් අයුරකින් බලපායි. ඒකෙන් මිදෙන්න අපට හැකියාවක් නැහැ.

ඊළඟ ජනාධිපතිවරණයට ඔබ පක්ෂය සූදානම්ද?

අනිවාර්යයෙන්ම අපි ඕනෑම වෙලාවක සූදානම්. ඒ වෙනුවෙන් අපේ පක්ෂ සංවිධාන කටයුතු සියල්ල ශක්තිමත් කරලා ඉන්නෙ. ඊට අදාළව තරුණ සංවිධාන, වෘත්තීය සමිති, කාන්තා සමිති මේ සියල්ල ඕනෑම වෙලාවක මැතිවරණයක් වෙනුවෙන් සූදානමින් ඉන්නෙ

නමුත් ගම් මට්ටමින් ප්‍රතිචාරයක් තියෙනවද?

අපි ගම් මට්ටමට යනකල්ම අපේ වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ගම් මට්මට අපේ සංවිධාන ව්‍යුහය විහිදුවලා තියෙනවා.

අපට ඉතා හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.

ප්‍රාදේශීය මට්මින් තියෙන මහජන ඒකරාශී කිරීම්වලදී ඒ බව අපිට පැහැදිලියි. ගම්වල ජනතාවගේ මහජන මතය අපේ පැත්තට හැරෙමින් තියෙන්නෙ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division