Home » විදුලි විදත් ප්‍රවාහනය ගැන ජාතික ප්‍රදර්ශනය පිටිපනදී

විදුලි විදත් ප්‍රවාහනය ගැන ජාතික ප්‍රදර්ශනය පිටිපනදී

by Mahesh Lakehouse
October 14, 2023 12:44 am 0 comment

2024 වසර විදුලි සංචරණය (e mobility) පිළිබඳ වසර ලෙස නම් කිරීම උදෙසා දිවයිනේ ප්‍රථම වරට සියලු අංශවල දායකත්වයෙන් විදුලි හා විදත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයක් නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි. වසර 2023 ලෝක ප්‍රවාහන දිනයට සමගාමීව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන විදුලි හා විදත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය (Green mobility exhibition and conference) නොවැම්බර් මස 10, 11 සහ 12 යන දිනවලදී හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සමඟ මෙම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සඳහා දායක වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඉකුත් 13වැනිදා පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය. “ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධව මෙවන් දැවැන්ත ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වතාවට. විශේෂයෙන්ම ලොව පුරා උද්ගතව තිබෙන තත්වය යටතේ බොහෝ රටවල් මේ වන විට ෆොසිල ඉන්ධන වෙනුවට තිරසර ප්‍රවාහන ක්‍රමවේදයන් වෙත පරිවර්ථනය වීමේ ප්‍රවණතාවයක් මතුව තිබෙනවා. පවතින තත්වය හමුවේ තවදුරටත් ඉන්ධන භාවිතයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට දිගු කාලීන පැවැත්මක් නැහැ.

මේ තත්ත්වය යටතේ රාජ්‍ය අනුග්‍රහයකින් හෝ තොරව ස්වෝත්සාහයෙන් විදත් රථවාහන සහ උපාංග නිෂ්පාදනයේ නිරතවන නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් විශාල පිරිසක් රට තුළ සිටිනවා. ඔවුන් පිළිබඳව රට තුළ වඩා වැඩි දැනුවත් කිරීමක් ඇති කිරීම සඳහා දේශීය හා විදේශීය නිෂ්පාදකයින්, නව නිර්මාණකරුවන් ඇතුළු සියලු අංශ දායක කරගනිමින් විදුලි හා විදත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා. 2024 වසර විදුලි සංචරණය (e mobility) පිළිබඳ වසර ලෙස නම් කිරීම උදෙසා මූලික පියවරක් ලෙස ද මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පූර්ණ ඩිජිටල්කරණය යටතේ ක්‍රියාත්මක වීම, විදුලි බස්රථ දෙසීයක් මෙරට ධාවනයට එක් කිරීම, විදත් ත්‍රීරෝද රථ ලියාපදිංචිය ව්‍යාප්ත කිරීම, අදාළ පනත් වලට අවශ්‍ය සංශෝධන සිදුකිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ගය විදත් දුම්රිය මාර්ගයක් බවට පත් කිරීම, ලංගම සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණය වැනි අරමුණු ද තවත් කෙටි කලක් තුළ සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. මෙම සියලු අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ආරම්භක පියවරක් ලෙස මෙම දැවැන්ත ප්‍රදර්ශනය තුළින් හරිත ප්‍රවාහන ක්‍රමවේදය උදෙසා නව පිවිසුමක් විවර වනු ඇති බව මා විශ්වාස කරනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ විදත් රථවාහන නිෂ්පාදනයේ නිරත වන නිෂ්පාදකයන්, ව්‍යවසායකයන්, නිර්මාණකරුවන්ගේ නවෝත්පාදන මෙම ප්‍රදර්ශනය තුළදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. එමෙන්ම ක්ෂේත්‍රයට අදාළ අමතර කොටස් සහ උපාංග ඇතුළු නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන කුටි, විදේශීය රටවල විදුලි හා විදත් රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම්වල නව නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ දුරකථන යෙදවුම්, පාසල් සිසුන් සහ වෘත්තීය අධ්‍යාපනයේ නිරත තරුණ පිරිස් වෙනුවෙන් සම්මන්ත්‍රණ වැඩමුළු සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ නව නිර්මාණ එළිදැක්වීමේ අවස්ථා, දේශීය නව නිර්මාණකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද විදත් රථ වාහන ප්‍රායෝගිකව අත්හදා බැලීමේ අවස්ථාව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවට හිමිවනු ඇත. එසේම නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය බැංකු සහ මූල්‍ය පහසුකම් ලබාදීම උදෙසා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුලු මූල්‍ය ආයතන, රක්ෂණ සහ ලීසිං ආයතන රැසක් ද ප්‍රදර්ශනය සඳහා සිය දායකත්වය ලබාදීමට නියමිතයි.

මේ තුළින් ඉදිරියේදී විදත් රථවාහන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන කාර්මික ශිල්පීන්, නිර්මාණ ශිල්පීන් සහ ව්‍යවසායකයින් වෙත විශාල උත්තේජනයක් ලබා දිය හැකි වන අතරම ඔවුන්ට අවශ්‍ය මූලික මග පෙන්වීම ද ලබාදීමට ප්‍රදර්ශනයේ සංවිධායකයන් බලාපොරොත්තු වේ.

මෙතෙක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ලෙස තනිතනිව හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ සියලු අංශ ඒකාබද්ධ කරගනිමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදේශකත්වය සහ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය තුළින් 2024 වසර හරිත ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම උදෙසා වෙන් වූ වසරක් බවට පත් කිරීමේ සංකල්පයට සුවිශාල ශක්තියක් ලැබෙනු ඇත.“

එමෙන්ම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරෙන විදුලි හා විදත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රණය තුළින් ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන්,ව්‍යවසායකයන් ආනයනකරුවන්, අපනයනකරුවන්, වෘත්තිකයන් මුහුණදෙන ගැටලු පිළිබඳ පොදු සමාජ කතිකාවතක් ඇති කිරීම සහ ඊට විසඳුම් ලබාදීම උදෙසා ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන නිලධාරීන්, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමට පොදු වේදිකාවක් නිර්මාණය කිරීම ද අමාත්‍යවරයාගේ සංකල්පයයි.

ඒ තුළින් අනාගතයේදී රට මුහුණදිය හැකි ඉන්ධන අර්බුදයට නව විසඳුම් ඉදිරිපත් කිරීම මෙන්ම දේශීය නව නිෂ්පාදකයින් දිරි ගැන්වීම, ජාත්‍යන්තර වෙළඳපොළේ විශාල ඉල්ලුමක් වර්ධනය වන නව අපනයන වෙළෙඳපොළට අවස්ථාව විවර කිරීම, විශාල රැකියා වෙළඳපොළක් බිහි කිරීම ඇතුළු අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීමේ නව මාවතක් විවර වනු ඇති.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, අමාත්‍යංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ, ජනාධිපති කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදර්ශනය හා සම්බන්ධ වන අනෙකුත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අතිරේක ලේකම්වරු, රාජ්‍ය නිලධාරින්, NSBM හරිත සරසවියේ උප කුලපති, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති, ප්‍රමුඛ පෙළේ විදත් රථ වාහන නිෂ්පාදනය නිරතවන ආයතනවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division