Home » ගාසා යුද උණුසුම ලෝක ආර්ථිකය හොල්ලයිද?

ගාසා යුද උණුසුම ලෝක ආර්ථිකය හොල්ලයිද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– ලංකාව ඊශ්‍රායලයේ වෙළෙඳ කොටස්කරුවකු නොවන නිසා සිදුවන බලපෑම අවමයි
– එහෙත් තුන් ආකාරයකින් ජාත්‍යන්තරයට බලපෑම් කළ හැකියි
– යුද්ධයේ බලපෑමෙන් මිල වැඩිවීම් සිදුවිය හැක්කේ ද අවි ආයුධ, ගුවන් යානා යානාදිය පමණක් විය හැකියි. බාහිර රටවල ජන ජීවිතයට විශාල බලපෑමක් නොවෙයි

ඊශ්‍රායල් පලස්තීන යුද ඉතිහාසය ගත්විට වසර 75ක ඉතිහාසයක් කරා දිව යනවා. එදා මේ ප්‍රදේශය එංගලන්ත පාලයේ තිබුණේ පලස්තීනය වශයෙන්. ජනගහනය වශයෙන් පලස්තීනයට වඩා ඊශ්‍රායල් ජනගහනය වැඩියි. එම නිසා 1948 ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත්වුණා. නමුත් මේ එක් දේශයක් තුළ පලස්තීන හා ඊශ්‍රායල් ජාතින් දෙකම සිටීම දිගින් දිගටම ගැටලුවක් වුණා. මේ නිසා ජාතීන් දෙක අතර නිරන්තරයෙන් යුද කෝලාහල ඇති වුණා. යුදමය ප්‍රදේශයක් බවට පත්වුණා පමණක් නොව අවට රටවල් අතරත් ගැටුම් ඇති වුණා. මේ නිසා සමහර කාලවල මේ පිළිබඳ උණුසුම් ප්‍රවෘත්ති බිහි වුණා.  

1988 දී යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් පලස්තීනය වශයෙන් එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ මේ කොටස වෙන් වුණා. මේ වෙන් කිරීමේදී ඊශ්‍රායලයේ නැගෙනහිර දේශ සීමාවේ ප්‍රධාන පලස්තීනය පිහි­‍ෙටව්වා. මේවා කුඩා රටවල්. ඊශ්‍රායලයේ භූමි ප්‍රමාණය ලංකාවෙන් තුනෙන් එකක්. පලස්තීනයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් හය දහසක්. පලස්තීනය වෙන්කරන විට එහි කුඩා කොටසක් ගාසා තීරය වශයෙන් වුණා. මෙය වර්ග කිලෝමීටර 365කට සීමා වුණා. මේ කොටස සම්පූර්ණයෙන්ම වෙනම ස්ථානයකයි, ස්ථානගතව ඇත්තේ. කරැලිකරුවන්ගේ පාලනය යටතේයි. අදටත් මෙය පවතින්නේ. ඒ හමාස් ගරිල්ලා සංවිධානය යටතේයි. මේ අය කැපවීමෙන් සිටින්නේ වෙනත් ආගමිකයන්ගෙන් තොර මුස්ලිම් රාජ්‍යයක් හැදීමේ අරමුණින්. ISIS සංවිධානය කරන්නෙත් මේ වගේ කටයුත්තක්. මේ අයගේ ආසන්නතම රට ඊශ්‍රායලය නිසා ඔවුන්ගේ බලපෑම් නිතරම මේ රටට එල්ල වුණා. මේ අවස්ථාවේ ඊශ්‍රායලයත් තමන්ට විරුද්ධව එල්ල වන ප්‍රහාරයන්ට විරුද්ධව ෂෙල් වෙඩි ප්‍රහාල එල්ල කිරීම සාමාන්‍ය දෙයක් වුණා. එය නිරන්තරයෙන් සිදු වුවත් මේ වාරයේ සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් වූ යුද වාතාවරණයක්.

මෙවර නොසිතූ ආකාරයෙන් රොකට් ප්‍රහාර විශාල ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල වුණා. මේ නිසා ඊශ්‍රායලය සිතුවාට වඩා තත්ත්වය වඩාත් දරුණු හා වෙනස් දෙයක් වුණා. ‘අයන් ඩෝම්‘ නමින් ස්වයංක්‍රීය ප්‍රතිප්‍රහාර එල්ල කරන ක්‍රමවේදයක් ඊශ්‍රායලයේ තියෙනවා. ලොවෙන්ම ඒ හැකියාව ඇත්තේ ඒ රටේ පමණයි. මේ හරහා එන රොකට් ප්‍රහාර එන්න පෙර පුපුරුවා හැරීමට මේ හරහා පුළුවන්. නමුත් මෙවර පැවැති තත්ත්වය අයන් ඩෝම් මඟින් මැඬ පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ දේශ සීමා මායිම්වල එතරම් ආරක්ෂාවක් පවා තිබී නැහැ. මේ නිසා හමාස් සංවිධානය රට තුළට ඇවිත් විශාල විනාශයක් සිදු කළා. මෙයට ප්‍රතිප්‍රහාර දැක්වීමක් වශයෙන් හානි අවම කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය මුලින්ම සිදු කළා. නමුත් ඔවුන් අද හෙටම සූදානම් වෙනවා ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමකට. ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමයි අපි යුද්ධයක් වශයෙන් සලකන්නේ. ඊශ්‍රායලයට අවශ්‍ය මේ කුඩා හමාස් සංවිධානයට අයත් බිම් ප්‍රමාණය සුද්ධ කිරීමයි. පලස්තීනයේ බළල් අතක් වූ හමාස් සංවිධානයම සුද්ද කළ නොහැකි වුවත් ඒ ප්‍රදේශයෙන් මේ සංවිධානය අතුගා දැමිය යුතු බව ඊශ්‍රායලයේ අදහසයි. මේ වන විටත් යුද්ධයේ දරුණු බව තහවුරු කරමින් ගාසා තීරයේ වතුර, විදුලිය ආදිය විසන්ධි කර තියෙනවා. එවිට ආහාර සැපයුම් පවා නවතිනවා. එහි අරමුණ යුද්ධයකට පෙර සංවිධානය අඩපණ කිරීමයි.

ඊශ්‍රායලයත් ජාත්‍යන්තරයත් අතර ඇත්තේ එක්තරා ආකාරයක සහයෝගයක්. රටවල් කිහිපයක් හැර ඊශ්‍රායලය ලොව සියලු රටවල් සමඟ සම්බන්ධකම් පවත්නා රටක්. ඒ වගේම මේ රට ලොව තුළ ඇති ඉතා බලවත් රාජ්‍යයක්. ලංකා ආර්ථිකයේ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක්. නමුත් ඊශ්‍රායලයේ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක් පමණ වෙනවා. ඒ තරම්ම බලවත් රටක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000කට ආසන්නයි. නමුත් අපේ ඒක පුද්ගල ආදායම තුන් දහසක්. පලස්තීනය අපේ රට හා සමානයි. ඊශ්‍රායලය විශාල වශයෙන් විදේශීය රටවලට ණය දෙන රටක්. මේ අයගේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 260ක් පමණ වෙනවා.

ඊශ්‍රායලය යුද ශක්තිය හා තාක්ෂණය අතින් බලවත් රාජ්‍යයක්. රසායනික හා කෘෂිකර්මය අතින් විශාල දියුණුවක් ලද රටක්. භූමි ප්‍රමාණයෙන් කුඩා වුණාට ආර්ථික, තාක්ෂණ ශක්තියෙන් විශාල බලගතු රටක්. ජාත්‍යන්තරයට බලපෑම් කළ හැකි වන්නේ ආකාර තුනකින්. එකක් වන්නේ ඔවුන් සතු ආර්ථික ශක්තිය නිසා අනිකුත් රටවලට ණය දීම, දෙවැන්න යුද ආයුධ සපයන රටක් හා විශාල වශයෙන් ස්වභාවික ගෑස් නිෂ්පාදනය කරන ප්‍රධාන රටක්. ඔවුන් ඒවා අනිකුත් රටවලට යවනවා. මේ ආකාරයේ දැඩි සම්බන්ධතාවයක් ඊශ්‍රායලය අනෙකුත් රටවල් සමඟ පවතිනවා.

ඊශ්‍රායලය ජාත්‍යන්තරය සමඟ දැඩි සම්බන්ධතා පවත්වා ගෙන යන අතර ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධෝපාය පිළිබඳ ආරක්ෂක සම්මුතීන්ට පිවිස තියෙනවා. ඒ නිසා ඊශ්‍රායලයට ප්‍රශ්නයක් ඇති වූ විට ඇමෙරිකාව ඔවුන්ට සම්බන්ධ වෙනවා. කොමියුනිස්ට් මුඛය තුළ ඇති දිව දකුණු කොරියාව වන්නාක් සේම ආරාබි මුඛය තුළ ඇති ඊශ්‍රායලය ද ආරක්ෂා කිරීම වගකීම ඇමෙරිකාව විසින් සිදු කරනවා.

ඊශ්‍රායලය ලෝකයට විශාල වශයෙන් අවි ආයුධ සැපයූවාට ආහාර තිරිඟු ආදි දේ සපයන රටක් නොවේ. ඒ නිසා යුක්‍රේන යුද්ධයේ බලපෑමෙන් අත්‍යාවශ්‍ය දේ පිළිබඳ ලෝකයාට අහේනියක් ඇති වන්නේ නැහැ. මේ නිසා වර්තමානයේ ඊශ්‍රායල් හමාස් සටන්කාමී තත්ත්වයෙන් අපිට ලැබෙන බලපැම අවම බව මගේ අදහසයි. යම් ආකාරයකින් යුද්ධයේ බලපෑමෙන් මිල වැඩි වීම් සිදුවිය හැක්කේද අවි ආයුධ, ගුවන් යානා යානාදිය පමණක් මිස බාහිර රටවල ජන ජීවිතයට බලපෑම් අවමයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට ගතවන කාලය, ඊට සම්බන්ධ වන අනිකුත් රටවල තත්ත්වය අනුව මේ හරහා ලෝකයට සිදුවන බලපෑම ඉරියේදී තීරණය වන්න පුළුවන්. මේ යුද්ධය දිගු කාලයක් යා නොහැකි බව මගේ විශ්වාසයි. ඊශ්‍රායලය යුද තත්ත්වය ප්‍රකාශ කර ඇත්තේ වර්ග කිලෝ මීටර තුන්සිය හැට පහක් අත්පත් කර ගැනීමටයි. ඔවුන්ට එය භාරදුර කර්තව්‍යයක් නෙමෙයි. ඇමෙරිකාව තවමත් පිරිස් බලයෙන් හෝ ආයුධ ලබාදීමෙන් සහයෝගය දක්වා නොමැති අතර අදාළ සහයෝගය ලබා දී ඇත්තේ තමන්ද ඊශ්‍රායලය සමඟ සිටින බව හැඟවීමෙනි.

ලංකාවේ සාත්තු සේවිකාවන් වශයෙන් ශ්‍රමිකයන් 8000- 9000ක ප්‍රමාණයක් වර්තමානයේ ඒ රටේ සේවය කරනවා. එ අය සිටින රට ආරක්ෂිතවයි. ඒ අයට විශාල වැටුපක් සේම විශාල නිදසක් රැකියාවේදි හිමි වෙනවා. ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් වේයැයි මම සිතන්නේ නැත්තේ ලංකාව ඊශ්‍රායලයේ වෙළෙඳ කොටස්කරුවකු නොවන නිසායි. අපේ රටින් ද එම රටට යම් යම් දේ යැව්ව ද එය අනිකුත් රටවලට සාපේක්ෂව ඉතා අඩුයි. නමුත් මේ කලාපය තෙල් නිෂ්පාදනය සිදුවන හා රැකියාවලට කැඳවා ගන්නා කලාපයක්. බොහෝ විට තෙල්, ගෑස් එක්රැස් කිරීම් ඒ රටවල මේ වන විට සිදු කෙරෙමින් පවතින්නට පුළුවන්. මේ නිසා වෙළෙඳපොළට නිකුත් වන තෙල් ප්‍රමාණයේ යම් අඩුවක් ඉදිරියේදී දකින්නට පුවවන්. මෙය අනුමානයක් පමණි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division