Home » සමාජයේ කැපී පෙනෙන හෘද අංක 9 හිමියෝ

සමාජයේ කැපී පෙනෙන හෘද අංක 9 හිමියෝ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– උදවු වඩාත්ම අවැසි අයට ප්‍රමුඛත්වය දෙන්නෝ
– යහපත් ගුණාංග රැසක් ඇත්තෝ
– අන් අයගේ දියුණුව පතන්නෝ

මෙහිදී හෘද අංක 9 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේ ද? යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 9 හිමි ඔබ ඉතාමත් හැඟීම්බර මානුෂීය ගති ලක්ෂණවලින් හෙබි සංවේදී චරිතයක් ලෙස හඳුනා ගන්න පුළුවනි. ඔබ ආවාට ගියාට කිසිවකු ඇසුරු කරන්නේ නැත. හොඳින් තේරුම්ගෙන අධ්‍යයනය කිරීමෙන් පසුව තමාට වඩාත් ගැළපෙන අය පමණක් තෝරාගෙන ළඟින් ඇසුරු කරයි. වඩාත්ම උදවු අවශ්‍ය අය හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් ඔබ විසින් කළ යුතු යුතුකම නොපිරිහෙළා ඉටු කරයි. ප්‍රසිද්ධියටත් ජනප්‍රියතාවටත් ඔබ කැමැත්තක් දක්වයි. අන් අයගේ ඇගැයීමට ප්‍රශංසාවට ලක් වීමට ප්‍රිය කරයි. සමාජයේ කාටත් අවශ්‍ය චරිතයක් ලෙස ජීවත් වීමට ඔබ උත්සාහ දරයි.

හෘද අංක 9 හිමි ඔබ ඔබගේ දක්ෂතාවන් සහ හැකියාවන්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා අයෙකි. විවිධ නිර්මාණාත්මක මෙන්ම කලා කුසලතාවන් ද ඔබ සතුව පවතී. සමාජ සේවය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි. අන් අයට ගුරුහරුකම් ලබා දීම, උපදෙස් ලබා දීම වැනි දේවලට ඔබට සහජ හැකියාවක් පවතී. ස්වභාවයෙන්ම මානව හිතවාදී චරිතයක් ලෙස හෘද අංක 9 හිමියන් හැඳින්විය හැකිය. එසේම ඔබගේ සංවේදී බව නිසාම හෘද අංක 9 හිමි ඔබ දුකට පත් අසරණ අය වෙනුවෙන් ඉතා කම්පාවට පත් වෙයි. ඒ වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් කළ යුතු දේවල් කිරීමට ඉදිරිපත් වෙයි.

ඔබගේ මේ ගුණ යහපත් බව නිසාම සමාජයේ කා අතරත් හෘද අංක 9 හිමි ඔබ ඉතා ප්‍රියමනාප පුද්ගලයකු ලෙස හොඳහිත වර්ධනය කර ගනී. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබා දීමට හැම විටම උත්සාහ දරයි. ඔබ මෙන්ම අන් අයද දියුණු විය යුතු යැයි සිතයි. ඒ වෙනුවෙන් හැකි පමණින් අතහිත දෙයි. ඔබට හතුරුකම් කරන මිනිසුන් සමඟ අමනාප වී හතුරුකම් හදා ගන්නවට වඩා ඔවුන් තේරුම්ගෙන ඉවත් වීම ඔබගේ ස්වභාවයයි. රණ්ඩු සරුවල්වලට කලකෝලාහලවලට පැටළීමට කිසිසේත්ම කැමති නැත. ඔබ සාමකාමී නිහඬ චරිතයක් ලෙසද හඳුන්වන්නට පුළුවනි. හෘද අංක 9 හිමියන් සිතන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට උපන් අයෙක් ලෙසය. තමන් තනිවම සතුටට පත් වෙනවාට වඩා තමා වටා සිටින අයද සතුටට පත් කළ යුතුයැයි සිතයි. ඉතා හොඳ පිළිවෙළකට අඩුපාඩුවක් නැතිව එක්තරා තත්ත්වයක ඔබගේ ජීවිතය ගෙන යෑමට අපේක්ෂා කරයි. සහජයෙන්ම ඉතා යහපත් ගුණාංග රාශියක් සහිතව උපන් ඔබට ජීවිතයේ ඉහළම සාර්ථකත්වයට යෑමේ අවස්ථාවද පවතී.

පෞරුෂ අංකය අනුව පලාපල ලබන කලාපයේ සිට බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division