Home » දෝෂ නැතිව නිම කළ යුතු විසිත්ත කාමරය

දෝෂ නැතිව නිම කළ යුතු විසිත්ත කාමරය

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– කඳුළු පෙරාගෙන සිටින චිත්‍ර, ගිනි ගත් හේන්, වියළි ගස් සහිත රාමු කළ චිත්‍ර අයහපත්
– දියඇලි, ජල පොකුණු සාලයට නුසුදුසුයි
– සාලය හරි මැදින් තරප්පු පේළියක් අසුබයි

අපේ දේශීය පාරම්පරික වාස්තු විද්‍යාවේ ඇතුළු පැත්ත නිරීක්ෂණයේදී පුරාතන ගැමියා සතු නිවස ඉතාම සිරියාවන්ත වාසනාව කැන්දන නිවසක් විය. ඊට හේතු වූයේ ඉඩමේ හතර වටේ වැට ශක්තිමත්ව ඉනි සිටුවා හරස් ලීයෙන් පෝටා වැල්වලින් ගැට ගසා වැට ශක්තිමත් ලෙස සකසා බ්‍රහස්පතින්දා දිනක කළු පාට ගවයෙකු ඉඩමට ඇතුළු කර ඉදිකඩුල්ල වසා දමා පසු දින ගවයා නින්දේ ලැග සිටි තැන පරීක්ෂා කර බලා බිම ශුද්ධ පවිත්‍ර කර සුබ නැකතකට ලණු ඇද අත්තිවාරම් කපා වරිච්චි බිත්ති හෝ තාප්ප බිත්ති බැඳගෙන පොල් අතු, මානා, ඉළුක් වැනි දෙයකින් වහලය සෙවිලි කර බිමට හුඹස් මැටි ආලේප කර පසුව ගොම ගා සාදාගත් නිවසක් හෙයිනි. මේ නිවස අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න විෂබීජ ද හරණය වී තිබේ.

එදා නිවසේ සෑම උළුවස්සකටම ලී කැබැලි 4ක් තිබිණි. වත්මනෙහි ‍උළුවස්සට ඇත්තේ ලී තුනකි. ලොව කිසිම සත්ත්වයෙකු පැහැරූ අශූචි උඩ නිදා ගැනීමට නොහැකි වුවත් ගවයා විසින් පහරන ලද ගොම ආලේපනය මත නිදා ගැනීමට හැකි වේ. ගොමවලට මිශ්‍ර වී ඇති රසායනික සංයුතිය පිරිසිදුකමින් උසස් තැනක් ගනී. ගවයා ඒකාවේරිය පැළෑටිය නොකන්නේ රාත්‍රී කාලයේ ඌට තදින්ම නින්ද යන හෙයිනි. නිදි පෙති සෑදීමට ඒකාවේරිය ගෙඩි යොදා ගනී. ගවයාට නින්ද ගියහොත් වමාරා කෑමට නොහැකිය.

ගොමවල ඇති සෞඛ්‍යමය වටිනාකම ද ඉතා ඉහළම තැනක් ගනී. අද මම කතාබහ කරන්නට සූදානම් වන්නේ නිවසේ විසිත්ත කාමරය ගැනයි. නිවසේ සෑම අංගයක්ම වාස්තු විද්‍යානුකූලව ඉතාමත්ම නිවැරදි විය යුතු අතර, විශේෂයෙන්ම නිවැසියන් මෙන්ම නෑ හිතමිතුරන් පැමිණි විටදී මුලින්ම පා තබන්නේ ‘සාලය’ හෙවත් විසිත්ත කාමරයටය.

නිවසේ හදවත බඳු සාලයට මුල් තැන හිමි වේ. නවීන පන්නයේ නිවාසවල සාලයට වැඩි ඉඩකඩක් දී ඇති අතර, ඇතැම් නිවාසවල ගලා බසින දියඇලි, ජල පොකුණු ද නිර්මාණය කර ඇති අයුරු ද දක්නට ඇත.

නිවස තුළ ජලය තිබීම එතරම් යෝග්‍ය නොවේ. විවිධ සත්ත්ව වර්ග ඇසට ලක් නොවන සතුන්, මීවන පැළෑටි, කෘමි වර්ග, කුඩා සර්ප විශේෂ, විෂඝෝර සර්පයින්ද නිවස ඇතුළට පැමිණීමට එය පහසු වේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සෙම් රෝග බහුල වීමේ අවදානමක් ද ඇත. විශේෂයෙන්ම සාලය ඇතුළත හරි මැදට බ්‍රහ්ම පාදය හෙවත් මධ්‍ය ලක්ෂ්‍ය හසුවීම වාස්තු විද්‍යානුකූල දෝෂයකි. තවද සාලයේ හරි මැදින් තරප්පුව පිහිටීම ද එය ප්‍රධාන දොරටුව දෙසට එල්ල වීමද අසුබය.

නිවසේ සාලයේ හරි මැදට ජනේල තැබීමද වාස්තු දෝෂයකි. අලංකාර නිවසක සාලය ඉතාම සෞන්දර්යවත් වීම යහපත් වේ. එවිට එය සැමගේම සිත් පහන් වන ක්ෂේම භූමියක්ද බඳු වනු ඇත. ශෝකබරිත කඳුළු වෑහෙන, ගිනි ගත් හේන්, වියළි ගස්වලින් පිරුණු චිත්‍ර ද සුබ නැත. බුදුපිළිමයක් සාලයේ හරි මැදට අයහපත් වේ. උතුර, ඊසාන, නැඟෙනහිර දිසාවේ සුබයි. නැඟෙනහිරින් දොරටු සහ ජනේල තිබීම යහපත්ය. පැරණි නිවාසවල කෑම මේසය ආගන්තුක ලෙස සාලයට ගෙනවිත් නොතිබිණි. වර්තමානය වන විට පර්චස් 2, 3, 5 වැනි කුඩාම වපසරියක නිවසක් ගොඩනැඟීමේදී තරමක අපහසුතාවට පත්විය හැකිය.

නමුත් තමාට හිමි ඉඩමේ ක්‍රමවත්ව වාස්තුවට එකඟව නිවස ඉදිකර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු වේ. සැලසුම් ශිල්පියා සමඟ කතාබස්කොට සාලය යහපත්ව ධනාත්මක පැතිකඩක තිබීමට යෝග්‍ය වන සේ නිම කර ගැනීම වැදගත්ය. හිතුමතේට නිවාස ගොඩනැඟීමෙන් වාස්තු දෝෂ ඇති වන බව රහසක් නොවේ. වැරදුණ වාස්තු දෝෂ නැවත සැකසීම තරමක අපහසුතාවකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division