Home » අපි IMF සමඟ ඉදිරියට යනවා

අපි IMF සමඟ ඉදිරියට යනවා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

– අපි ජනාධිපතිවරණයට සූදානම්
– IMF ගමන ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව දැඩි සටනක් දෙනවා. මේ කිසිදු දෙයක් ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවෙයි
– මේ අවස්ථාවේ පටු දේශපාලනකට හිර වෙන්න හොඳ නැහැ.
– IMF පල කියන තැන අපි නැහැ

රටම හොල්ලන IMF කොන්දේසි 16 ක් හෙළි කළා. මේ මොනවද?

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැළැක්වීමේ වාර්තාව මඟින් ඉටු කළ යුතු නිර්දේශ 16 ක් දැක්වූවා. දෙවන වාරිකය කෙසේ හෝ ලබාගත්ත ද ඉන්පසුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි. 2023 නොවැම්බර් වන විට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයන්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම, දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ (ජනාධිපති, අගමැති, ඇමැති සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වන විට ප්‍රසිද්ධ කිරීම, අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම, ජාතික විගණන පනත සංශෝධනය කිරීම, සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලැයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වන විට ක්‍රියාත්මක කිරීම, තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කර ගැනීම පිළිබඳව වාර්තාවක් 2024 දෙසැම්බර් වන විට වෙබ් අඩවියක පළ කිරීම, 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියලුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියලුම සමාගම්වල නම්, බදු විරාම මඟින් අහිමි වූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතනවලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම, මෙම තොරතුරු මාස 06 කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම, විනිවිද භාවයක් ඇතිවනතුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම, නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම, ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒවා තුළ කෙටිකාලීන දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වන විට ඉදිරිපත් කිරීම, බැංකු අංශයේ සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම, 2024 දෙසැම්බර් වන විට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම හා අධිකරණ සේවා කොමිසමේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ කොන්දේසියි. මේ ඉලක්ක අද හෙටම කරන්න අවශ්‍ය නැහැ. සමහර ඒවා මාස කිහිපයකින්, අවරුදු එකහාමාරකින් වුවද ප්‍රමාණවත්.

දෙවැනි අදියර සපුරා ගැනීමට අවශ්‍ය කරන කොන්දේසි රජය මේ වන විට සපුරා ඇත්ද?

කලින් ඉදිරිපත් කළ කොන්දේසි රජය බොහෝදුරට සපුරා තියෙනවා. මේ ගමන ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව සෑහෙන සටනක් ලබා දෙනවා. මේ කිසිදු දෙයක් ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවන බව අපි පිළිගත යුතුයි. සමහරු කියනවා දුෂණය වංචාව නැති කළා නම් මේ රට ගොඩ එන බව. එහෙම ගොඩ ගන්න බැහැ. එයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. දූෂණය වංචාව නැති කිරීම හරහා එක පාරටම රට ගොඩ යන්නේ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු සේම ජාත්‍යන්තරය සමඟ එකතු විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. පුද්ගලික අංශයට තැනක් ලැබිය යුතුයි. දූෂණ නැති කරන්න පුළුවන් කියලා කටින් කියලා වැඩක් නැහැ. මෙවැනි කොන්දේසිවලට අපිට එකඟ වෙන්න පුළුවන් නම් සාර්ථකත්වය ඇත්තේ එතැනයි. මම ඉල්ලන්නේ මේ කොන්දේසි 16 න් එකක් හෝ පිළිගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ මොකක්ද කියලා පෙන්වන්න.

නමුත් විපක්ෂයේ ඇතැම් පිරිස් මේ වන විටත් IMF ණය වාරික ලබාගැනීමට විරුද්ධව ඒකරාශි කරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

IMF යන්න කියලා මුලින්ම කිව්වේ මම. IMF සමඟ විපක්ෂය ලෙස අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඒ අය අපිට සහතිකයක් ලබා දී තියෙනවා. ඔවුන් දන්නවා, විපක්ෂයේ අපි කතා කරන්නේ රට අගාධයකට ඇද දාන්න නෙමෙයි කියලා. අපි ආණ්ඩුවට එකතු නොවුණාට අපිට රට පිළිබඳ දැක්මක් තියෙන බව. අපි නිකම්ම විපක්ෂයක් නෙමෙයි. IMF හි විශ්වාසය අපිටත්, අපේ විශ්වාසය IMF එකටත් තියෙනවා. අපි IMF සමඟ ඉදිරියට යනවා.

යම් යම් සංශෝධන සිදුකරන්න තියෙනවා. ඒ වගේම අපි යම් යම් කාරණාවලට අපි එකඟ වුණෙත් නැහැ. පුද්ගලික අංශයේ වෘත්තිකයන්ට 36% ක් බදු ගැසීමට අපි විරුද්ධයි. අපි ඊට විකල්ප පෙන්වා දුන්නා. අපනයනකරුවන්ට 30% ක බදු ගැසීමට විරුද්ධයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ‘ IMF පල ‘ කියන තැන අපි නැහැ.

මේ අවස්ථාවේ මහජන නියෝජිතයකුගේ වගකීම වන්නේ ඊට අකුල් හෙළීමද? නැතිනම් ඊට සහය දීමද?

සමහරු විකල්ප තියෙන බව කියනවා. නමුත් අපි විතරයිනේ ‘ බ්ලූ ප්‍රින්ට් ‘ හරහා විකල්පයක් ඉදිරිපත් කළේ. විකල්පයක් ඉදිරිපත් නොකර කෑ ගහන්නේ දේශපාලන වාසි ගන්න. අපි ජාත්‍යන්තරයක් සමඟ එකතු වී සිටින රටක්.

ඉදිරියේදී IMF කොන්දේසි නිසා ජනතාව තවත් අමාරුවට වැටෙන බවට ඔවුන් චෝදනා මතුකරනවා?

දේශපාලන වාසි තකා නොයෙකුත් කතා කියන්න පුළුවන්. මේ අවස්ථාවේ රට ගැන සිතිය යුතුයි. රට වැටුණු තැනින් ගොඩ ගන්න උත්සාහ කළ යුතුයි. පටු දේශපාලනයක හිර වෙන්න බැහැ. අපි මේ ආණ්ඩුවේ නැහැ. මේ කැබිනෙට්ටුවෙත් නැහැ. අපි එකතු වෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එය කියලයි තියෙන්නේ. නමුත් අපි මේ රටේ මිනිස්සුත් එක්ක ඉන්නවා. අපි ජනතාගේ සුභසිද්ධිය සඳහායි මේ සටන් කරන්නේ. IMF දොර වහන්න, වෙන විකල්පයක් තියෙනවා කියලා බොරු කියන්න අපිට බැහැ. වැටුණු රට ගොඩ ගන්නේ කොහොමද කියන තැනයි අපි සිටින්නේ.

ජනාධිපතිවරයා ගෙනියන ආර්ථික වැඩපිළිවෙළ ආර්ථික විශේෂඥයකු ලෙස ඔබ දකින්නේ කෙසේද?

අපේ බ්ලූ ප්‍රින්ට් එකට අදාළ වැඩපිළිවෙළට මේ ජනාධිපතිවරයා වැඩ කරනවා නම් එය හොඳයි. නමුත් එහි නොමැති දේ කරනවා නම් අපිට ගැටලු සහගතයි.

ජනාධිපතිවරයාගේ 2048 ඉලක්ක කරගත් සංවර්ධිත වැඩපිළවෙළ සඳහා යාමට රජය ගෙනියන මේ වැඩපිළිවෙළ ප්‍රමාණවත්ද?

2048 සංවර්ධිත රටක් වන්න නම් අවම වශයෙන් 6.5% කින් සැම වසරකම සංවර්ධනයක් විය යුතුයි. නමුත් IMF හා රජය පවසන්නේ ලබන වසරේ එය සිදුවන්නේ ධන 1.5% ක් කියලා. 6.5% ඉලක්කයට එන්න තව වසර කියක් යාවිද? 2025 සිට 2048 දක්වා මේ වර්ධන වේගය තිබිය යුුතුයි. එසේ නොමැතිව ඉදිරියට යන්න බැහැ. ජනාධිපතිවරයා මේ දේ කිව්වට ඔහුගේ ටිම් එකේ කී දෙනෙක් දන්නවද රට 6.5% කින් සංවර්ධනය විය යුතු බව. එසේ වර්ධන වේගයක් ඇති කරන්න නම් මේ යන ගමන ප්‍රමාණවත් නැහැ. එය මීට වඩා ඩයනමික් විය යුතුයි. ලෝකයට තවත් විවර විය යුතුයි. නිෂ්පාදන ජාලවලට ඒකාබද්ධ විය යුතුයි

රට ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා තවත් පුළුල් විය යුතුයි. මේ අවස්ථාවේ ආයෝජකයන් රටට ඒමට නම් රජය අනුගමනය කළ යුතු දේ මොනවාද?

ආයෝජන අවස්ථා පුළුල් වන්න නම් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තරණය කළ යුතුයි. ළිං මැඩි මානසිකත්වයෙන් එය කළ නොහැකියි.

අපේ රට ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු කරගත යුතු බව ඔබ පවසනවා. එය කළ හැක්කේ කෙසේද?

ඒවාට එකතු වීමට නම් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි. අවශ්‍ය ආර්ථික ලිහිල්කරණ කළ යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයට සජබයේ සූදානම ගැන කතා කළොත්..?

අපි සියයට සියයක් සූදානම්. අපේ අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අපිට කණ්ඩායමක් ඉන්නවා. පුළුල් සන්ධානයක් හදා යුතුයි. එසේ නොමැතිව ලෙහෙසි වෙන්නේ නැහැ. එය වෙලාවට සූදානම් කර ගන්නවා.

සුභා­ෂිණී ජය­රත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division