Home » IMF ගමනට බාධා කළ යුතුයි

IMF ගමනට බාධා කළ යුතුයි

උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායන්කාර

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

– IMF නොගිහින් රට ගොඩනඟන සැලැස්මක් අපිට තියෙනවා
– අපේ රජයක් යටතේ සහන දෙන්න බැරි වුණත් අමාරුකම් ඇතිවීම නැති කරන්න පුළුවන්
– රටට වෙන්න පුළුවන් ලොකුම විපත සිදුවන්නේ මේ IMF කොන්දේසි පිළිපැදීමෙනුයි
– ඉන්ධන මිල දිනෙන් දින වැඩි වෙන්නේ IMF කොන්දේසි නිසා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම පරාජය කිරීමට සියලු බලවේගවලට එක වේදිකාවකට පැමිණෙන ලෙස ඔබ ඉල්ලීමක් කර සිටියා. ප්‍රවීණ දේශපාලනඥයෙක් ලෙස ඔබ ඇයි එවැනි ඉල්ලීමක් කළේ?

IMF කොන්දේසි අනුගමනය කළොත් අපේ රට අධිරාජ්‍යවාදයට යටත් වෙනවා. එසේ නොවුණහොත් අපේ රටේ පොදු ජනතාවට දරාගත නොහැකි වන පරිදි ජීවන අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා IMF වැඩපිළිවෙළ වෙනුවට මේ රට මුහුණ දෙන අර්බුදයට වෙනත් වැඩපිළිවෙළක් සොයාගත යුතු වෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වෙන්විය යුතුවා සේම සියලු දෙනාම වගකීමක් තිබෙනවා, මේ රටේ ජාතික නිදහසත්, ජාතික ආර්ථිකයත් බේරාගැනීමට.

ප්‍රවීණ දේශපාලනඥයකු ලෙස රට වෙනුවෙන් කරන කටයුත්තකදි පාට පක්ෂ නොබලා සහයෝගය දැක්වීමේ වගකීම ඔබට පැවරෙනවා?

ඔව්, ඒ වගකීම තමයි මම මේ ඉටු කරන්නේ. රටට වෙන්න පුළුවන් ලොකුම විපත සිදුවන්නේ මේ IMF කොන්දේසි පිළිපැදීමෙනුයි. උදාහරණයක් ගෙන බලමු. ඉන්ධන මිල දිනෙන් දින වැඩි වෙන්නේ IMF කොන්දේසි නිසා. මේ විදියට යන්න ඉඩ ඇරියොත් වෙන්නේ සාමාන්‍ය ජනතාව කන්න නැතිව මැරෙන එකයි.

ජනතා නියෝජිතයකු මේ ආකාරයෙන් විරෝධතා හඬක් නැඟීම IMF ගමනට බාධාවක් නොවේද?

IMF ගමන බාධා කළ යුතුම ගමනක්. මේ ගමන යන්න ඉඩ නොදිය යුතුයි.

ඔබ පවසන්නේ ආර්ථිකය ගොඩනැංවීමට IMF නොයා යුතු බවද?

ඔව්. මම මේ කතාව සාකච්ඡාවට ගත් මුල්ම අවස්ථාවේදීත්, කැබිනට්ටුවේදි මේ කතාව කිව්වා.

නමුත් ඔබ ඇතුළු කිහිපදෙනෙක් ඇරුණු කොට ප්‍රධාන විපක්ෂය වන සජබය ඇතුළු බොහෝදෙනා පවසන්නේ රට ගොඩනැඟීමට IMF යායුතු බවයි?

ඔව් සජබය එහෙම කියනවා. ඒ නිසයි මම කියන්නේ සජබය සමානයි ආණ්ඩුවට. පොහොට්ටුව හා යූ. ඇන්. පී. ය සමානයි ආණ්ඩුවට. එය ආණ්ඩුවට නොවන පොහොට්ටුවට නොවන එක්සත්කමක්.

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම ඔබ පැහැර හරිනවා?

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීමයි මම මේ ඉටු කරන්නේ. ජනතාව ආරක්ෂා කිරීම කියන්නේ ආර්ථිකය ගොඩනැංවීමයි. ආර්ථිකය ගොඩනැංවීම කියන්නේ ජනතාව ආරක්ෂා කිරීමයි. මේ දෙක එකක්. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ, අපි එකතු වෙලා මේ ආණ්ඩුව පරාජය කරමු කියලයි.

ඔබ පවසන්නේ ජනතාව මත මේ බර පැටවිලා තියෙන්නේ IMF ගමන නිසා බව ද?

ඔව්. ඔව්… මම මේ දේ හොඳින්ම අධ්‍යයනය කළ කෙනෙක්. හැම IMF කොන්දේසියක්ම ක්‍රියාත්මක කිරීමෙන් වෙන්නේ මේ රටේ පොදු ජනතාවගේ ජිවිතය විනාශයකට පත් කිරීමක්. ඔවුන්ගේ එක් ඉල්ලීමක් බලමු. සියලු භාණ්ඩ මිල එදාට පවත්නා වූ වියදමට සාපේක්ෂව මිල වැඩි කළ යුතුයි. කිසි කෙනකුට සහන නොදිය යුතුයි. ඉතාමත්ම දුගී ජන කොටස්වලට දුන් සහන අඩු කළ යුතුයි. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අංශවලට කාලාන්තරයක් පුරාවට සිදුකරගෙන ආ සුබසාධන සේවා ක්‍රමය ටිකෙන් ටික අඩු කළ යුතුයි. මිනිසුන්ගෙන් හැකිතරම් බදු අය කළ යුතුයි. මේ අයකර ඇති බදු පවා ඔවුන්ට මදි. මේවා තමයි, IMF යෝජනා.

ඔබ පවසන්නේ IMF දෙවැනි අදියරේදී ජනතාවට මීට වඩා දුක් විඳින්නට සිදුවන බව ද?

දෙවැනි වාරිකයේදී පමණක් නෙමෙයි, දැනුත් ඒ අපහසුතාවලට මුහුණ දෙමිනුයි ඉන්නේ. දෙවැනි වාරිකයේදී මීටත් වඩා බදු වැඩි කර රජයට ආදායම් සොයන්න ඔවුන් බල කරනවා.

ඔබ රජයක් බලයට පත් වුවහොත් IMF නොගිහින් රට ගොඩනඟන සැලැස්ම පැහැදිලි කළොත්?

ඔව්. විසඳුමක් තියෙනවා. සරලව කිවහොත් මේ රටේ ආහාර භෝග අපිම වගා කළ යුතුයි. ආහාර භෝග වගා කර ගැනීමට අද ඇති ඉඩකඩම් හා ගොවි ජනතාවගේ ප්‍රමාණය බැලුවහොත් එය ප්‍රමාණවත්. වසරක් තුළ එවැනි ජාතික සංවිධාන වැඩපිළිවෙළකට යායුතුයි. අපේ රටට ගෙන්වන බඩු භාණ්ඩ අඩු කළ යුතුයි. ඒ සඳහා සෘජු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. අපිට නුවමනා භාණ්ඩ අපි නොගෙන්වා සිටිය යුතුයි. ඒ වෙනුවට අවශ්‍ය සුළු කාර්මික නිෂ්පාදන මේ රටේ ඇති කළ යුතුයි. කර්මාන්තකරුවන්ට ඊට අවශ්‍ය අනුග්‍රහය ලබාදිය යුුතුයි. මේ රට තුළ පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 1000 කට වැඩි ප්‍රමාණයක් වසරක් තුළ නිපදවා ගත යුතුයි. මේ කරුණු ඉටුකර ගතහොත් මේ තත්ත්වයට පහසුවෙන් මුහුණ දිය යැකියි.

ඔබ එසේ පැවැසුවත් ලංකාව 16 වතාවක් IMF ගිය රටක්. මේ යන්නේ 17 වැනි වතාවයි?

16 වතාවම IMF ගනුදෙනු අවසානයකට ගෙන යාමට නොහැකි වුණා. ඒ අයගේ වියදම් මේ රටේ ජනතාවට දරා ගැනීමට එතරම්ම අපහසු වුණා. සෑම ආණ්ඩුවක්ම මේ නියමයන් ක්‍රියාත්මක කළ නොහැකි බව පවසා අතරමඟදි නැවැත්වූවා. දැනටමත් ආණ්ඩුව මේ සඳහා වැරදිකරු වී හමාරයි. ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් කල්පනා නොකර මීට වඩා බරපතළ වැරදි ජනතාගේ ජිවිතවලට එකතු කළහොත් මේ රටේ ජනාවගෙන් විරෝධයක් මතු වේවී.‍

වැටුණු තැනින් රට ගොඩ ගැනීම ලෙහෙසි පහසු කරුණක් නෙමෙයි. ඊට සහය දැක්වීමට වගකීමක් තිබෙනවා?

ඔව්. ඒ සඳහා අපි කළ යුත්තේ කුමක්ද? අපේ ආනයන අපනයන ක්‍රමානුකූල කර ගැනීමෙන් අපේ ගෙවුම් ශේෂය දරාගත හැකි ප්‍රමාණයකට ගෙන ඒමෙන් අපේ රටට ඩොලර් උපයන ආදායම් මාර්ග මෙරටට ගෙන ආ යුතුයි. ඒ සඳහා නීති දැඩි කරමින් මේ රටින් පිට රඳවා තිබෙන අපිට අයිති ඩොලර් ගෙන්වීමට අවශ්‍ය පියවර ගනිමින් ක්‍රියා කළ යුතුයි. එසේ ක්‍රියා කළහොත් ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. දේශීය ආදායම් සොයා ගැනීමේ ප්‍රශ්නයේදී මීට වඩා විශාල බරක් සුපිරි පොහොසතුන්ට භාර ගැනීමට දිය යුතුයි.

ඔබ පවසන්නේ රජය නිවැරැදි ආර්ථික මාවතකට පිවිස නැති බවද?

නැහැ. මේ රජය ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගමනකයි. එය මේ රට අර්බුදයකට ගෙනියන ගමනක්.

ඔබ රජයක් බලයට පත්වුවහොත් මීට වඩා ජනතාවට සහන ලබාදිය හැකිද?

සහන දෙන්න බැරි වුණත් මීට වඩා අමාරුකම් ඇතිවීම නැති කිරිමට පුළුවන්. අපිට සහන දිය හැකි වන්නේ අවුරුදු පහකින් පසුවයි.

මේ වන විට උත්තර ලංකා සභාගය හරහා කී දෙනෙක් සම්බන්ධ වී සිටිනවාද?

දැනට උත්තර ලංකා සභාගයේ අපි ඉන්නවා. එය හැරුනු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව ඡන්දය ලබාදුන් අය තමයි ජාතික නිදහස් සභාව. ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධව ඡන්දය දුන්නා.

උත්තර ලංකා සභාගය හරහා අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට මුල පිරුණත් එහි නියෝජනය පරණ පිරිසක්මයි?

අලුත් දේශපාලන ගමනක් නෙමෙයි ආරම්භ කර තියෙන්නේ. අපි හැම දෙයක්ම කළේ මේ අදහස රටේ ජනගත කිරීමටයි.

ඉදිරි ජනාධිපතිවරණයට ඇති සූදානම කෙබඳු ද? ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉඟියක් ලබා දිය හැකිද?

මේ ආණ්ඩුවේ බලය පරාජය කළ හැකි ඕනෑම වැඩපිළිවෙළකට සහය දෙනවා, ඒ අපේ විවේචනයෙන් යුතුවයි. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ දැනට තීන්දු කර නැහැ. එකතු වී ඡන්දය ඉල්ලනවා ද, නැතිනම් වෙනමම ඡන්දය ඉල්ලනවා ද යන්න කිසිවක් තවමත් තීන්දු කර නැහැ.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division