Home » තැපෑල 2025 වන විට මහා භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නෑ

තැපෑල 2025 වන විට මහා භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නෑ

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ලෝක තැපැල් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 9 වෙනිදාටය. ශ්‍රී ලංකාවේ 149 වැනි තැපැල් දින සැමරුම් උත්සවය වෙනුවෙන් නව මුද්දරයක් නිකුත් කිරීම හා මුද්දර දැක්මක් පැවැත්වීම ඇතුළු විවිධ කාර්යයන් රැසක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. මෙහි ජාතික උත්සවය 10 වෙනිදා කුරුණෑගල බෝයගනේ යුද හමුදා කඳවුරේදී පැවැත්වේ. එය වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එහිදී තැපැල් දෙපාර්තමේන්තුවේ අංශ රැසක සේවකයන්ද තැපැල් හා උප තැපැල් ස්ථාන ඇගැයීමත් ප්‍රාදේශීය මට්ටමින් පාසල් අතර පැවැත්වූ ඇගැයිම්හි ජයගත් දූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමත් සිදු කෙරේ.

ඒ යටතේ තැපැල් දෙපාර්තමේන්තුව සේවා සපයන ආයතන විසින් තෝරාගත් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 66 දෙනකු වෙනුවෙන් ඇගැයීම් හා තිළිණ ප්‍රදානය එම ආයතන විසින් සිදු කෙරේ. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවට නව ව්‍යාපෘති යටතේ ආදායම් උත්පාදනය කිරීමට දායක වුණු තැපැල් හා උප තැපැල් කාර්යාල 45කට ඇගැයීම් හා උපහාර පිදීමද සිදු කෙරෙන අතර දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යයන් සඳහා දායකත්වය සලසන ලද නිලධාරීන් 20 දෙනකු ඇගැයීමට ලක් කිරීම ද මෙහිදී සිදු කෙරේ.

විවිධ අංශ 82ක් යටතේ ඇති තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විට ලිපි බෙදීමේ පාරම්පරික ක්‍රමවේදයට සීමා නොවී නව තාක්ෂණය හා සබැඳිව ඉදිරියට යාමට කටයුතු කර ඇත. එහිදී විවිධ ආදායම් මාර්ග ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුව ලාබ ලාබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු සලසා ඇත

තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විට සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මිලියන 7000ක් තැපෑලේ අවශ්‍යතා සඳහා ලබා ගන්නේ දෙපාර්තමේන්තුව ලබනා අධික පාඩුව වළක්වාගෙන සේවා සැලසීම වෙනුවෙනි.

ඒ ලෙසින් සේවා සලසන්නේ වැඩිහිටි දීමනාව, පිළිකා රෝගාධාර වැනි සේවාවන් සමාජ සුබසාධක සේවාවන් ලෙසින් නොමිලේ සිදු කරනා අතරේමය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පාරම්පරික සාම්ප්‍රදායික ක්‍රමවේදය හා ඒ හා සබැඳිව සිදු කරන්නා වූ සේවා ජනතාවට අවම බරක් දැනෙන සේ සිදු කිරීම ඇතුළු කාර්යයන් නිසාද තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව මේ ලෙසින් වැඩි වී ඇත.

එම නිසා ජනතාවට ද බරක් නොකර තැපැල් සේවාවද ආදායම් උත්පාදනය කළ හැකි ස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ ද උපදෙස් අනුව නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ විශේෂයෙන්ම පැවසිය යුත්තේ COD (Cash On Delivery) සේවාවයි. එහිදී සිදු කෙරෙන්නේ මෙරට හෝ විදේශීය රටක ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කළ හැකි ඕනෑම පාර්සලයක් ගෙනගොස් බාරදීමයි. එය මේ වන විට ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබේ.

එම සේවාව අනුව උතුරේ සිටිනා අයකුට කිසිදු ගැටලුවකින් තොරව දකුණේ අයකුට ඉතා විශ්වසනීයත්වයෙන් යුතුව තම භාණ්ඩ යැවීමට හැකිය. මෙහි විශේෂත්වය වන්නේ යම් අයකුට තම නිෂ්පාදනයක් පාරිභෝගියකුට යැවීමට අවශ්‍ය වන්නේ නම් අදාළ නිෂ්පාදකයාට තැපැල් කාර්යාලයට එය භාර දුන් පසු අදාළ ලබන්නාගේ අතටම ලබා දීම වන අතර ලබන්නා විසින් කරනු ලබන ගෙවීම භාණ්ඩය යවන ලද තැනැත්තාට ලබාදීමට කටයුතු කිරීමටය. මේ වන විට ජාත්‍යන්තර භාණ්ඩ හා සේවා ලබා දෙන ලෙසින් රට අභ්‍යන්තරයේ මේ ලෙසින් සේවාවන් සිදු කරන්නට තැපැල් දෙපාර්තමේන්තුව මුල් තැනක් ගෙන තිබේ.

එමෙන්ම ජනතාවට වඩාත් පහසුකම් ඇති කිරීමේ අරමුණින් වෙනත් ‘කූරියර්‘ සේවා ද මේ වන විට ක්‍රියාත්මකය.

මේ වන විට මෙරට දෙපාර්තමේන්තු අතර සේවකයන් වැඩිම සංඛ්‍යාවක් සිටින ආයතනයන්හි සිවුවැනි තැන හිමිව ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවටය.

තැපැල් දෙපාර්තමේන්තුවට ඉහළින් සේවකයන් සිටින්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, හා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පමණි.

එම නිසා සේවක වැටුප් හා තැපැල් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නඩත්තු කටයුතු හා සේවා සැපයීම වෙනුවෙන් ආදායම ප්‍රමාණවත් නොවන හෙයින් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා ප්‍රතිපාදන ප්‍රමාණය නවත්වා මහා භාණ්ඩාගාරයට බරක් නොවන සේ තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම අරමුණ වී ඇත.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට ඉලක්කගත ආදායමක් ඉපැයීමට මේ වසරේදී අභියෝගයක් ලබා දී තිබේ. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව මේ වසරේ මිලියන 12,000ක් ඉපැයිය යුතුය. පසුගිය අගෝස්තු 31 වන විට එම ඉලක්කයෙන් 71%ක් සපුරා ඇත. ඒ අනුව අදාළ ඉලක්කය අභිභවා යාමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි වනු ඇත. මෙහි ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ 2025 වසර වන විට තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයෙන් යැපීමෙන් තොරව පවත්වා ගෙන යාමයි.

ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විටත් නිර්මාණය කර ඇති අතර ඒ වෙනුවෙන් තැපැල්පතිවරයාගේ සිට ලියුම් බෙදන්නා දක්වා වූ සියලු සේවක සේවිකාවන්ගේ කැපවීමෙන් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් සකසා ඇත.

ඒ යටතේ මුද්දර ආදායමට අමතව තවත් අංශ කීපයකින් ආදායම වැඩිකර ගැනීමට පියවර ගෙන තිබේ. එහෙත් මේ කටයුතු සිදු කිරීමේදී මහජනතාවට කිසිදු ආකාරයක බරක් දැරීමට සිදු නොවන සේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හා භෞතික සම්පත් උපයෝගී කරගෙන ආදායම් උත්පාදනය කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මේ වන විට තැපැල් සේවාව ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ හරහා ලොව ඉහළම තැපැල් සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට පියවර ගැනෙනු ඇත.

ලෝක තැපැල් වර්ගීකණය අනුව රන්, රිදී, ලෝකඩ මට්ටමේ තැපැල් සේවාව ශ්‍රේණිඟත කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවේ තැපැල් සේවාව රිදී මට්ටමේ ශ්‍රේණිගත කර ඇත. රන් මට්ටමේ මේ වන විට සිටිනේනේ අ‍ෙමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් කිහිපයකි.

එම නිසා ශ්‍රී ලංකාව ද රන් මට්ටමට හැකි ඉක්මනින් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ වෙනුවෙන් අපට විශාල අඩුපාඩුවක්ව ඇති පරිගණක තාක්ෂණය ඇතුළු නවීන උපකරණ නොමැතිවීම මඟ හරවා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

ඒ තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස මේ වන විට ලෝක තැපැල් සංගමය හා එක්ව ලක්ෂ 2900ක් වටිනා පරිගණක හා උපාංග තැපැල් කාර්යාල ඇතුළු ස්ථාන 1000ක් වෙනුවෙන් ලබා දී ඇත. ස්මාට් (සුහුරු) තැපැල් සේවාවක් ඒ හරහා දියත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩු 2700ක් පමණ තිබෙන නමුත් නවීන තාක්ෂණය හරහා හැකි උපරිම ලෙසින් සේවාවක් සපයා සේවක බඳවා ගැනීමකින් තොරව මේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ හරහා කාර්යක්ෂමතාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

එසේම පසුගිය කාලයේ තැපැල් දෙපාර්තමේන්තුවේ. අතිවිශාල ලෙසින් අතිකාල ගෙවීමක් සිදුවුවද මේ වන විට ඒ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කර ඇත.

අතිකාල එසේ වැඩිපුර ගෙවන්නට සිදුවූයේ තැපැල් සේවා තරග විභාගයන් සමත් වුවත් එම නිලධාරීන්ට අදාළ පත්වීම් ලබා දීමට තිබූ බාධාවන්ය. ආර්ථික අර්බුදය මෙන්ම කොවිඩ් වංසගතය වැනි බාධාවන් මෙන්ම උසස්වීම් හා බඳවා ගැනීම් තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණ නිසා ඒ තත්ත්වය උද්ගතව තිබුණි.

මේ වන විට කැබිනට් අනුමැතියෙන් පත්වීම් 485ක් ලබා දී ඇති නිසා එම ගැටලුව ද විසඳී තිබේ.

බොහෝ තැපැල් සේවකයන් රාජකාරි කටයුතු වෙනුවෙන් තම යතුරුපැදි භාවිත කරන අතර ඔවුන්ට යතුරු පැදි ලබා දීමට මෙන්ම භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් වෙනුවෙන් නව ස්මාර්ට් ත්‍රිරෝද රථ සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටද පියවර ගෙන ඇත. ඒ සඳහාම නිපදවන ලද ත්‍රිරෝද රථ දෙපාර්තමේන්තුවට යොදා ගැනීමට අදහස් කරන්නේ එය පදවා ගෙන යන තැනැත්තාටම අදාළ භාණ්ඩය රැගෙන ගොස් ලබන්නාට ලබා දිය හැකි ලෙසිනි. එහිදී අදාළ නිලධාරියාට නිල ඇඳුමක් ද ලබා දීමට කටයුතු කෙරේ.

අද වන විටත් දුම්රිය හා බස් රථවලින් තැපැල් ප්‍රවාහනයට විශාල දායකත්වයක් ලබා දෙන අතර එම සේවාවන්ද පවත්වා ගනිමින් කඩිනමින් තැපැල් සේවාවේ කටයුතු ඉටු කිරීම වෙනුවෙන් ක්‍රමානුකූල ව්‍යාපෘති ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් බිලියන 10ක දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර රජයට පමණක් එවැනි අතිවිශාල මුදලක් යෙදවීම අපහසු හෙයින් ඒ ව්‍යාපෘති උදෙසා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරී සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කෙරේ.

ලිපි බෙදීමේ සාම්ප්‍රදායික කාර්යය සිදු කරමින්ම නවීන ආදායම් උත්පාදනය තුළින් සේවාව දියුණු කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇත.

ඒ යටතේ මේ වන විට තැපැල් සේවාවේ නියමිත උසස්වීම් ලබා දී ඇති අතර වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමද සිදු කර තිබේ. ඒ උදෙසා වෘත්තීය සමිති අදහස් ද සැලකිල්ලට ගෙන ඇති අතර ඔවුන් හා සාකච්ඡා කර තිබේ.

එසේම තැපැල් ආඥා පනත ලෙස මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1908 වසරේ එනම් වසර 115ක් පමණ පැරැණි ආඥා පනතකි. එය වරින් වර සංශෝධනයන්ට භාජන වුවත් 1952 වසරෙන් පසුව කිසිදු ආකාරයක සංශෝධනයකට ලක්ව නැත. එම නිසා වත්මන් ඇතැම් කටයුතුවලදී මේ පනතේ ඇතැම් වගන්ති නිසා බාධා පැමිණ තිබේ. මේ නිසා නූතනයට ගැළපෙන ලෙසින් පනත සංශෝධනයට ද කටයුතු කර තිබේ.

වර්තමානයේ තැපැල් දෙපාර්තමේන්තුව සතු සංචාරක බංගලා නුවරඑළිය, සීගිරිය හා අනුරාධපුරයේ ස්ථාපිත අතර එයින් අනුරාධපුර බංගලාවේ සැලකිය යුතු නඩත්තු කටයුතු තිබුණු හෙයින් ඒ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කරන්නට සිදු විය. එහෙත් මේ සියලු කටයුතු සිදු කිරීම මහජනතාව වෙනුවෙන් සිදු කරන බව අප සිහි තබාගත යුතුයි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division