Home » මේ ආර්ථික අර්බුදය ලෝකයේ සෑම රටකටම බලපානු ලබන්නක්

මේ ආර්ථික අර්බුදය ලෝකයේ සෑම රටකටම බලපානු ලබන්නක්

අග්ග මහා පණ්ඩිත අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

නොනැවතී ඉදිරියට යන්න “මා නිවත්ත අභික්ඛම“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මගේ ජීවිතය පුරාම එය මම අනුගමනය කළ ධර්ම පාඨයකි. රටේ අද පවත්නා මේ ආර්ථික අර්බුදය ලෝකයේ සෑම රටකටම බලපානු ලබන අර්බුදයකි. අපි එම අභියෝගයට නොනැවතී මුහුණ දී ජයග්‍රහණය කළ යුතුයි. උදාහරණ ලෙස මැදපෙරදිග රටවල පිරිස තෙල් මිල ඉහළ දමන විට අමෙරිකාවේ සිටින පිරිසට පවා එය ගැටලුවකි. අමෙරිකාව වැනි රටවල ද ඉන්ධන බැරලයක් ඩොලර් හතක පමණ ගණනකින් ඉහළට ගොස් ඇත. එහෙත් එරටේ ජනතාවට ලැබෙන වැටුප ඒ අයට ජීවත් වීමට ප්‍රමාණවත්. එහෙත් මේ රටේ උද්ධමනය නිසා ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවේ.

ජල, විදුලි, ඉන්ධන, ආහාර, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන වියදම්, සමාජ සේවාවලට යන මුදල ආදිය ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවෙයි. අපි ආණ්ඩුවට පමණක් දොස් කීම නොකළ යුතුයි. අපේ රටේ මිනිසුන් හරිම අලසයි. වෙහෙස මහන්සි වී වැඩ කරන බවක් අපට නොපෙනෙයි. ගහක් කොළක් සිටුවීමට අලසයි. තමන්ට හැකි ප්‍රමාණයකින් හෝ යමක් සිටුවා ගැනීම ප්‍රායෝගිකව කළ යුතුයි. ලෝකයේ දියුණු රටවල මිනිසුන් අලස නොවන අතර ඔවුහු ක්‍රියාශීලි සහ කඩිසර වෙති. අපි වැටීමට එක් හේතුවක් වන්නේ අපේ අලසකමයි. වැඩ නොකර තව කෙනකුගෙන් යමක් බලාපොරොත්තු වීම හොඳ ක්‍රියාවක් නොවෙයි. ස්වයංව දියුණුව ගැන හිතන සංකල්පය අප තුළ නැති වීම කනගාටුවකි. මේ අලස බව යට කරගෙන අපි ජාතියක් ලෙස නැඟිටිය යුතුයි‍. එසේ කළ හැකි නම් අපි ලෝකයේ හොඳම ජාතිය බවට පත් වෙනු නියතයි. මහන්සි වී වැඩ කළ හැකි නම් අපිට මේ තත්ත්වය වෙනස් කළ හැකියි. ස්වභාව ධර්මීය වශයෙන් අපි අනෙක් රටවලට වඩා ස්වභාවිකව, කාලගුණිකව හා දේශගුණිකව වාසනාවන්ත රටකි.පාලකයෝ කරන්නේ පොරොන්දු දීම පමණයි. කිසිදු වැඩක් රටට කරන බවක් නොපෙනීම කනගාටුවට කරුණකි.

රටක් ලෙස වැව් කොතරම් පැවැතියත් මේ රටේ ඒ වැව් සුද්ධ පවිත්‍ර කර වර්ෂා කාලයේ ජලය රැස්කර ගැනීමටවත් මේ පාලකයන්ට සැලසුමක් නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ කාලයේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ අඩාළ නොකොට ඉදිරියට යා යුතුයි. මේ රටේ මුදල් සෙවීමට ක්‍රමවේද සකස් කිරීම අවශ්‍යයි.

රටේ සංස්කෘතිය සදාචාරය අපි රැක ගත යුතුයි. සංඝයා භේද කිරීමට නිරන්තර උත්සාහයක යෙදෙන බව නොරහසකි. මීට සම්බන්ධව මූලිකව සිටින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ය. ඒ අයගෙන් වැටුප් ලබන සමාජ මාධ්‍ය ජාල පවත්වා ගෙන යන අය මේවා අවුස්සලා කෑමොර දීමෙන් මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න මතුවිය හැකියි.

ඇත්ත වශයෙන්ම අද රටේ පවතින විශාල ගැටලු පිළිබඳවයි අපි අවධානය යොමු කළ යුත්තේ. ඇතැම් කෘෂිකාර්මික ප්‍රදේශවලට ගොවිතැන් කිරීමට ජලය නොලැබීම විශාල ගැටලුවකි. මිනිසුන්ට ආහාර, ජලය ප්‍රමාණවත් පරිදි නොවන අතර වැව් සිඳී ගොස් ඇති බව අපි දනිමු. බොරුවට මාධ්‍ය සංදර්ශන කරමින්, ජාතිවාදය ආගම් භේදය සහ සංඝ භේදය ඇති කරන පිරිස් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි දේ සම්බන්ධවයි. රටේ ජනතාව වෙනුවෙන් යමක් කිරීම අවශ්‍යයි. බොහෝ දේශපාලඥයන්ට, ඇතැම් මාධ්‍ය ප්‍රධානීන්ට අවශ්‍ය බලය පමණයි. මේ අයට අවශ්‍ය වී තියෙන්නේ ජනාධිපති ධූරය ලබා ගැනීමටයි. මෙවර ඡන්දයට ජනාධිපති ධුරය සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වීමට ඉඩ ඇත.

අපි මේ අයට කියන්නේ කවුරු පාලකයන් වුවත් රටට ආදරය කළ යුතු බවයි. ස්වාධීනව ඡන්දය ඉල්ලන්න ඕනෑම කෙනකුට අයිතියක් ඇත. දේශපාලකයන් අතර පක්ෂ අතර කිසිදු සමඟියක් නොමැති වීම ගැටලු සහගතයි. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට රටේ අවුල් වියවුල් විසඳීමට අවශ්‍ය නැත. මේ අයට අවශ්‍ය තමන්ට තැනක් හිමිකර ගැනීමයි. මේ අය ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් පෙන්නුම් කරන්නේ ඡන්දයකට සුදානම් වන කාලයට පමණයි. මේ රටේ අහිංසක මිනිස්සු සියලු දේවල්වලට මැදිවී සිටීම කනගාටුවට කරුණකි. උදාහරණ ලෙස ඊශ්‍රායලය වැනි රටවල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ එකතු වී රටට වැඩ කරන අතර ඉන් පසුව මැතිවරණයකදී ඒ අය එකට වෙනම තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් ඉදිරිපත් වීම සිදු වෙයි. අපේ රටේ ඒ වැනි දියුණු දේශපාලන සංස්කෘතියක් දකින්නට නැත.

රටක විපක්ෂය යන වචනයම වෙනස් විය යුතු වචනයකි. විරුද්ධ පක්ෂ යනුවෙන් වචනයක් අමෙරිකාවේ නොවෙයි. පක්ෂ තිබුණත් විරුද්ධ යන පක්ෂයක් නොවෙයි. විරුද්ධ යන වචනයම වෙනස් වීම අවශ්‍ය බව අවධාරණය කළ යුත්තේ සෑම වෙලාවකම ඒ වචනයත් සමඟ දැනෙන විරෝධයයි. එනම් විරුද්ධ යන මානසිකත්වයයි. ඒ අය පක්ෂ ප්‍රතිපත්ති හදාගන්නෙත් ඒ ආකාරයටමයි. ඊළඟට බලයට එන්න ඉන්න අය සහ බලයේ ඉන්න අය යන කොටස් දෙක හැර විරුද්ධකරු ලෙස රටක පක්ෂ නොතිබිය යුතුයි.

රටේ බුද්ධාගමේ දියුණුව සෑම අතින්ම පිරිහීමක් ඇති බවක් අද රටේ දක්නට ලැබෙයි. ආර්ථීක සාමාජික කාරණා පිරිහෙන විට අපේ සංස්ථාවලත් පිරිහීමක් ඇති වෙයි. එය වැළැක්විය නොහැකියි.

අපි සියලු දෙනා සමඟි විය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේ සමඟි වීම අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ නැති කරන්නට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව ඉතා පැහැදිලියි. ලේබල් බෞද්ධකම ඇතිව බොහෝවිට භික්ෂු සංස්ථාව වැරදිකාරයෝ කරන්න උත්සාහ කරන පිරිසක් ද ඇත. ඉතා සුළුතරයක් වරදක් කළත් එය මහා ඉහළින් සමාජ ගත කරන්න උත්සාහ කිරීම වරදකි. මේ විරුද්ධවාදීකම්වලට සංවිධානය වූ පිරිස් ද සමාජ මාධ්‍ය ජාල ද රැසක් වෙයි.

අන්තගාමී අන්‍ය ආගමික ඇතැම් පිරිස් මේ දේවල් කරන බව පැහැදිලියි. සමහර වෙලාවට මේ ගැන කනගාටුයි. ඇතැම්විට ආගමික නායකයන්ගේ හැසිරීම පිළිබඳ කනගාටුයි. මේ සඳහා හොඳ උදාහරණයක් මට මෙහිදී සිහිපත් කළ හැකියි. අමෙරිකාවේ දී මට එක්තරා අවස්ථාවක අන්තගාමිකයකු බැණ වැදීමක් සිදුවූ අතර ඔහු මගේ මූණට කෙළ ගැසීමක් ද සිදු කරනු ලැබිණි. මම එයට සිනහවකින් පිළිතුරු දුන්නෙමි. එහිදී මම බුද්ධ ධර්මය තුළ දුටු මෛත්‍රීය පිළිබඳව සිහිපත් කරනු ලැබුවෙමි. මෙයයි අපි ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය. අප අන්තගාමි ලෙස හැසිරීම නොකළ යුතුයි.

අප සියලු දෙනාගේ වගකීම ආර්ථිකය ගොඩනැංවීමයි. මූලිකවම මිනිසුන්ට දරා ගැනීමට බැරි තරමට ගැටලු අද පවතී. ඒ නිසා එක් එක් වැරදිවලට පෙලඹෙයි. ඒ නිසා රටේ මුල්වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයට සියලු දේම අපි නොකළ යුතුයි. අපිට අනවශ්‍ය විදිහට ආර්ථික න්‍යාය ඉදිරිපත් කළහොත් අපි එය නොකළ යුතුයි.

ජාත්‍යන්තරය කණ්ඩායම් අනවශ්‍ය නීති රීති දැමීම සම්බන්ධයෙන් අපි කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. අපේ රජයට බලපෑම් නොකළ යුතුයි. ජීනිවා මානව හිමිකම් කොමිසම බොරු චෝදනා කළත් අපි එය නොබියව මුහුණ දිය යුතුයි. ජිනිවා සමුළුවේදී ඒ අය වැඩිපුර චෝදනා එල්ල කළේ එල්ල කරන්නේ පහර ගහන්නේ ලංකාව වැනි රටවලටයි. එංගලන්තය, අමරිකාව, ඊශ්‍රායලය වැරදි කළත් ඒ අය අපිට තරම් පහර නොගහන බව අපි දකින සත්‍යයි. යුද්ධය නතර වීමෙන් මේ රටට කොතරම් යහපතක් සිදුවීද? දෙමළ, සිංහල කවුරුත් අද මේ රටේ මරණයට පත් නොවෙයි. මේ අය කරන්නේ ලංකාවට මඩ ගහන එකයි. ඒ නිසා අපිට වෙනත් රටවලින් ආධාර ලබා ගැනීමට නොහැකියි. රටක සාමය ඇති කර එක්සත් කිරීම වරදක් නොවෙයි. මේ දේවල් නතර කළ යුතුයි.

රටේ සියලුම ආගම්වලට අපි ගරු කළ යුතුයි. ඉන්දියාවේ කොඩියේ ඇති ධර්ම චක්‍රය ධර්මාශෝක මහරජතුමා විසින් භාරනසියේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පෙන්නුම් කෙරෙන ධර්ම චක්‍රයයි. ඉන්දියාවේ ධජයට එරට කිසිදු ජාතියක් විරෝධය නොපායි. බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගැනීම සිදු වෙයි. නමුත් මේ රටේ අවුරුදු 25000කට පෙර ධර්මාශෝක රජතුමාගේ කාලයේදීම ථූපාරාමය පුරාවිද්‍යා ලාංඡනය චෛත්‍යයේ දැමීම ගැන ජාතිවාදී ඇතැම් පිරිස් විරෝධය පෑම සිදුවිය. කිසිදු කෙනකුගෙන් එයට නිසි පිළිතුරක් ලැබුණා යැයි මම විශ්වාස නොකරමි. රටක සංස්කෘතික උරුමය මුළු රටටම උරුමයි. වෙහෙර විහාරස්ථාන ජාතික වස්තු ලෙසයි අපි සැලකිය යුත්තේ. රටක ඇති සංස්කෘතික අංග සිංහල බෞද්ධයාට පමණක් අයිති නොවෙයි. මුළු ජාතියට ම අයිති ජාතික වස්තු ලෙසයි අපි සැලකිය යුත්තේ. මෙවැනි ප්‍රශ්න අපි නිරාකරණය කළ යුත්තේ සාමකාමීවයි.

මෙයට හොඳම උදාහරණයක් මා හට සැපයිය හැකිය. එනම් මම ස්වාමීන්වහසේ නමක් වුවත් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ක්‍රිස්තියානි ආගම පවා හැදෑරීම සිදුකරනු ලැබූ අතර මා ඒ පිළිබඳ අවබෝධය ද ලබා ගතිමි. 1976 ජූලි මාසයේ 4 දින අමෙරිකාවට වසර දෙසීයක් සපිරෙන දිනයේදී ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපොළෙන් එරටට ගොඩ එම උත්සවයක් සඳහා සහභාගී වීමටය. ඒ රටේ බුදු පිළිමයක් පෙරහරේ ගෙන යෑම එක්තරා සම්ප්‍රදායකි. එම බුදු පිළිමය රැගෙන යෑමේ භාග්‍ය මට හිමි විණි. එය විශාල උත්කර්ෂවත් අවස්ථාවකි. ලක්ෂ ගාණක් ඒ සඳහා සහභාගි වෙයි. ජාතිවාදී සහ ඇතැම් අන්තගාමී පිරිස් මේ දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව ක්‍රියා කරන බව අපි දකින සත්‍යයි. රටක් ලෙස ස්වාධීනව ජනාධිපතිවරයා ජර්මනියේදී කළ කතාවට අගය කළ යුතුයි.

කුරුන්දික විහාරය අපේ විහාරස්ථාන කිහිපය අතර ප්‍රධාන විහාරස්ථානයකි. එහි මූලාරම්භයේදී දෙමළ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කර ඇත. දෙමළ හිමිවරුන් හා හින්දු පූජකවරුන් යනු හැමදාම සහෝදරත්වයෙන් සිටි පිරිසකි.

ඉන්දියාවේ සෑම හින්දු නිවෙසකම බුදු හිමිගේ පිළිරුවක් වෙයි. දස අවතාරයේ අන්තිම අවතාරය ලෙස ඔවුන් එය සලකයි. ඒ වැනි දැඩි භක්තියක් බුදු හිමියන් ගැන ඔවුන් තුළ වෙයි. ආත්මාර්ථකාමී ඇතැම් පිරිස් බොහෝ විට ජාතිවාදය පතුරන්න උත්සාහ කරන බව අපි දනිමු. ඒ අයට ඇතැම් බලයේ සිටින පිරිස යට වූ බවකුත් අපිට දක්නට ලැබෙයි. නමුත් සියලු ජාතීන්ගේම බොහෝ පිරිසක් රට ගැන සිතා වැඩ කරන පිරිස් වෙති. රට ගොජනැඟිමට රට ගැන සිතා කටයුතු කළ යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division