Home » ඉදිරියේදී පාසල් පද්ධතියට එක්වන්නේ උපාධිධාරි ගුරුවරු පමණයි

ඉදිරියේදී පාසල් පද්ධතියට එක්වන්නේ උපාධිධාරි ගුරුවරු පමණයි

by Mahesh Lakehouse
October 7, 2023 12:31 am 0 comment

– මෙම උපාධිධාරී ගුරුවරුන් සේවයට එක්වන්නේ වැටුප් තල 6 කින් ඉහළ වැටුපක් සහිතවය
– විශ්වවිද්‍යාල මූලස්ථානය පිහිටුවන්නේ මහරගම ජාතික විද්‍යා පීඨයේ
– ඉහළ ඉසෙඩ් අගයකින් සිසුන්ව ඇතුළත් කිරීමට අපේක්ෂිතය
– විද්‍යා පීඨ 19 ඒකාබද්ධ කරමින් උපාධිධාරී ගුරුවරුන් බිහිකිරීමට ‘ශ්‍රි ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයක්’

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට යුහුසුළුව සිදු කරමින් පවතියි. එහි එක් පියවරක් වශයෙන් මනා ශික්ෂණයකින් යුතු ගුරු පිරිසක් සේම ගුණාත්මක බවින් යුතු ගුරුවරයකු පන්ති කාමරයට තිළිණ කිරීම සඳහා ගුරුවරුන්ට උපාධි දක්වා සුදුසුකම් සපුරා ගැනීමට ‘ ශ්‍රි ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ‘ලබන වසරේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. එය විද්‍යාපීඨ 19 ක එකතුවෙන් සැදුම් ලද අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින එකම විශ්වවිද්‍යාලයයි. මේ පිළිබඳ අදහස් දැක්වීමට සිළුමිණ හා එක් වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති නීතිඥ සුසිල් ප්‍රේමජයන්තය.

අධ්‍යාපනය සාර්ථක කළ හැක්කේ ගුණාත්මක බවින් යුතු ගුරුවරයෙකු පන්ති කාමරයට ලබාදුණහොත් පමණි. අප අධ්‍යාපන ඉතිහාසයේ විවිධ සුදුසුකම් මට්ටම් අනුව විවිධ ශ්‍රේණි සඳහා ගුරුවරු බඳවා ගැනීමක් සිදු විය. නමුත් වර්තමානයේ දැනුමේ ශීඝ්‍ර දියුණුව හමුවේ හා කාලය ශීඝ්‍රයෙන් ක්ෂයවීම ඊට සමගාමීව ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩි කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙයින් එක් පියවරක් වන්නේ දැනට ගුරු සේවයේ සිටින ගුරුවරුන්ගේ ගුණාත්මක බව හා අධ්‍යාපන සංවර්ධනය වැඩි කිරීමට අවස්ථාව ලබාදීමයි. දෙවැනි පියවර වන්නේ අලුතෙන් බඳවා ගන්නා ගුරුවරු විශ්වයට ගැළපෙන ආකාරයට සකස් කිරීමයි. ලොව බොහෝ රටවල ගුරුවරුන්ගේ මූලික සුදුසුකම ලෙස නිශ්චිත වී ඇත්තේ උපාධිය හෝ පශ්චාත් උපාධියයි. එම රටවල ගුරුවරු බිහිකිරීම සඳහාම විශ්වවිද්‍යාල පවතියි. අපට ආසන්න ඉන්දියාවේ ද ඒ තත්ත්වය එසේමය.

විශ්වයට ගැළපෙන අධ්‍යාපන රටාවක් ඇති කිරීමට නම් තොරතුරු තාක්ෂණය, නැඟීගෙන එන නව තාක්ෂණයන් ඇතුළත් විශ්ව දැනුමකින් යුත් ගුරු පිරිසක් පාසල්වලට අනුයුක්ත කළ යුතුයි. වර්තමානයේ අපේ පාසල් පද්ධතියට උපාධිධාරී ගුරුවරු බඳවා ගන්නේ උසස් පෙළ පන්ති සඳහාය. 1-11 දක්වා ශ්‍රේණිවල ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වන්නේ අ.පො.ස උසස් පෙළ ඉසෙඩ් අගය මත විද්‍යා පීඨවලින් බිහිවෙන සිසුන්ය. කෙසේ වෙතත් ඉදිරියට යාමට නම් මේ තත්ත්වය වෙනසකට ලක් කළ යුතුය.

ඉදිරියේදී මේ වෙනස්කම් පියවර දෙකක් යටතේ එනම් දැනට පාසල් පද්ධතියේ සිටින ගුරුවරුන් උපාධි හෝ පශ්චාත් උපාධි ලබා ගැනීමට දක්වා උනන්දු කිරීම හා අවස්ථාව ලබාදීමත්, දෙවැන්න ඉදිරියට මේ බිහිකරන නව ශ්‍රි ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා උපාධිධාරී ගුරු පිරිසක් ගුරු සේවයට මුදා හැරීමත් අපේක්ෂිතය. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ සමස්ත පාසල් පද්ධතියේ සිටින සියලු ගුරුවරු උපාධිධාරී ගුරුවරුන් බවට පත්කිරීම මෙහි අවසන් අරමුණයි.

මේ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දැනට ඇති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 20න් 19 ක් විශ්වවිද්‍යාල මණ්ඩප තත්ත්වයට උසස් කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කෙරෙයි. ලංකාවේ විද්‍යා පීඨ 20 න් මහරගම ජාතික විද්‍යා පීඨය හැර අනිකුත් සියලු විද්‍යා පීඨ මෙයට ඇතුළත් කෙරෙයි. මේ විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තුව වන්නේ අනිකුත් විශ්වවිද්‍යාලවලට සේම උසස් පෙළ විභාගයේ ඉහළ ඉසෙඩ් ලකුණකින් සිසුන් බඳවා ගෙන ඔවුන්ට අධ්‍යාපන විද්‍යාව සම්බන්ධ ප්‍රථම උපාධියේ සිට සියලු උපාධි මට්ටම් දක්වා උසස් අධ්‍යාපනය ලැබීමටත් අනතුරුව ගුරුවරුන් වශයෙන් පත්වීම් ලබා දීමටත්ය.

මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් වෙයි. මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමෙන් අනතුරුව අනිකුත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරන ආකාරයට මෙන්ම තරගකාරි ලෙස ඉහළ ඉසෙඩ් අගයක් ගත් සිසුන්ව ඇතුළත් කිරීම සිදු කෙරෙන අතර, ඊට සෘජුවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා අයදුම් කළ යුතු වෙයි.

වර්තමානයේ විද්‍යා පීඨ සඳහා වසරකට සිසුන් 4,000 කට ආසන්න පිරිසක් බඳවා ගත්ත ද ඉදිරියේදී මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු සිසුන් 6,000 -7,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙයි. 2000/ 2021 එකාබද්ධ කරමින් ආරම්භයේදී 2000ක සිසුන් පිරිසක් ලබන වසරේදී ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. මෙය අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ පවතින එකම විශ්වවිද්‍යාලයයි. මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මූලස්ථානය 20 වැනි විද්‍යා පීඨය වූ මහරගම පිහිටි ජාතික විද්‍යා පීඨයේ පිහිටුවීමට නියමිතය. ඒ සඳහා වූ සියලු කාර්ය යුහුසුළුව පවතියි.

අලුතෙන් ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ව්‍යුහය සකස් වන්නේ සාමාන්‍ය විශ්වවිද්‍යාල ව්‍යුහයක සැකැස්ම අනුවය. එහි පීඨාධිපති, පාලක සභාව, සනාථන සභාව, පීඨ, පීඨාධිපතිවරු ආදි රාජ්‍ය විශ්වවිද්‍යාල ව්‍යුහයම අන්තර්ගත වෙයි. මහරගම විශ්වවිද්‍යාල මූලස්ථානයේ පීඨ හතක් ආරම්භ කිරීමට නියමිතය. අධ්‍යාපනය, තාක්ෂණය, ප්‍රාථමික අංශ, භාෂා, විද්‍යා විෂයන් ඇතුළු අනිකුත් විෂය ධාරාවන්ට මෙම පීඨ ආරම්භ වෙයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ ආයතනයක්, සෞන්දර්ය අධ්‍යාපනය සඳහා ඇකඩමියක් ද මෙහි ආරම්භ වීමට නියමිතය.

මේ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සිටය. මීට අදාළ මූලික සංකල්ප පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගැනීමට යටත්ව මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කඩිනමින් පනතක් ගෙන ඒම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

මේ වන විට සම්මුඛ පරික්ෂණ අවසන් කළ විද්‍යාපීඨ සිසුන් ඇතුළත් කිරීම මේ මස 12 වැනිදා සිදු කරන අතර, ඉන් අනතුරුව ඇතුළත් කර ගැනීමේ ගැසට්ටුව තරමක් ප්‍රමාද වී ඇති අතර, එසේ වූයේ මේ තත්ත්වය පදනම් කරගෙන සුදුසුකම් නීර්ණය කළ යුතු නිසාවෙනි.

මෙම විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේදී ඉහළ ඉසෙඩ් අගයක් අපේක්ෂිතය. මේ විශ්වවිද්‍යාලයෙන් බිහිවෙන උපාධිධාරීන් ගුරු සේවයට එන විට ඔවුන්ට වසර තුනක උපාධියක් හා වසරක ගුරු පුහුණුවක් හිමි වෙයි. ඒ අය එවිට ගුරු ශ්‍රේණිය 2 -11 ට ස්ථාන ගත වෙයි. සාමාන්‍ය තත්ත්වයට වඩා වැටුප් තල 6 ක් ඉහළට පැමිණීමට නියමිතය.

දැනට ගුරු සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට ද කිසිදු කරදරයකින් තොරව ගුරු වෘත්තියේ යෙදී සිටින අයට, ගුරු අධ්‍යාපනඥ සේවයේ, විදුහල්පති මෙන්ම පෞද්ගලික සේවයේ ගුරුවරුන්ට ද තම වෘත්තියභාවය උසස් කර ගැනීමට මෙමඟින් හැකි වෙයි. අනාගතයේ ගුරු වෘත්තියට පැමිණෙන්නේ නම් මේ විශ්වවිද්‍යාලය හරහා පැමිණිය යුතු වෙයි. ලංකාවේ විශ්වවිද්‍යාල තුළ අධ­්‍යාපන විද්‍යාපීඨ 4 ක් ඇත. කොළඹ විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලයේ එම විද්‍යාපීඨ පිහිටුවා ඇත. ඒවායේ දැනට අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය හදාරන සිසුන්ට ද මෙම නව විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකිය. පෞද්ගලික පාසල් ගුරුවරුන්ට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි පරිදි සකස් වෙයි. ඉදිරියේදී මේ විශ්වවිද්‍යාලය හරහා උසස් උපාධි එනම් අධ්‍යාපන ශාස්ත්‍රපති, අධ්‍යාපන ශාස්ත්‍රසූරී, ආචාර්ය, මහාචාර්ය මට්ටම් දක්වාම යා හැකි අතර විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළෙන්නට මේ අවස්ථාව හිමිවේ.

මෙම විශ්වවිද්‍යාල මණ්ඩල ප්‍රතිසංස්කරණය සඳහා දැනටමත් රුපියල් මිලියන 936 ක් වෙන්කර ඇත. මෙය කාලීන අවශ්‍යතාවකි. මෙය ආරම්භ කිරීමට තිබුණේ මීට වසර කිහිපයකට පෙරය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව ඉදිරි මාස කිහිපයේදී අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙයි. ලබන වසර මුල සිට පරිපාලන ප්‍රතිසංස්කරණ, විෂයමාලා ප්‍රතිසංස්කරණ ආදිය සැලසුම් කර ඇති පරිදි ඉදිරියට කරගෙන යාමට බලාපොරාත්තු වෙයි. ජනවාරි මස මේ නව විශ්වවිද්‍යාලය විවෘත කිරිමට බලාපොරොත්තු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division